Thursday, October 9, 2014

දැන්නම් ආශ්චර්‍ය ඔන්න මෙන්න (විදේශ කටයුතු පාදඩ කරණය)


ඕනෑම ශිෂ්ඨ යැයි සම්මත සමාජයක රාජ්‍ය නිළධාරීයෙකුට හෝ රාජ්‍ය නියෝජිතයෙකුට එරෙහිව බරපතල චෝදනාවක් එල්ල වූ විට ගන්න ක්‍රියාමාර්ගය වන්නේ, ඔහුගේ/ඇයගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඒ ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වරද ඔප්පු වුවහොත් වරදේ ස්වභාවය අනුව දඩුවම් ලබා දීමයි.

මහා බ්‍රිතාන්‍යයේ 'හිටපු' ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට පහර දීම සම්බන්ධයෙන් සිදු වූ සිදුවීම් ශිෂ්ඨ යැයි සම්මත සමාජයකට කොතරම් දුරට ගැලපේදැයි අපට නැවත සිතා බැලීමට අවැසි නොවේ.

තමන්ට සිදු වූ අසාධාරණය පිළිබදව, සෘජුවම තමන් දරණ තනතුරට තමාව පත් කළ ජනාධිපතිවරයාට පැමිණිලි කිරීම සහ ඒ ගැන පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඩුවම් කරන තුරු තම තනතුරෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට අපිට චෝදනා කළ නොහැක්කේ, එය සම්මත ක්‍රියාවලියට පිටින් යෑමක් නොවන නිසාය.

නමුත් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මේ ගැන ක්‍රියා කලේ කෙසේද? ජනාධිපතිවරයා කලේ චුදිතයාට දඩුවම ලෙස රාජ්‍ය තාන්ත්‍රික නිල සවාරියකට ආරාධනා කිරීම සහ පැමිණිලිකරුගේ ඉල්ලා අස්වීම ස්වාධීන පරීක්ෂණයකින් තොරවම පිළිගැනීමයි. කෙටියෙන් පැවසුවහොත් ' පැමිණිලිකරුට දඩුවම් කිරීමයි'
සම්මත සදාචාරයට ගරු කරන නායකයෙකු නම් අඩු තරමේ පරීක්ෂණ පවත්වා අවසන් වන තුරු හෝ වෛද්‍ය ක්‍රිස් නෝනිස්ගේ ඉල්ලා අස්වීම පිළි නොගැනීමටවත් ක්‍රියා කළ යුතුව තිබිණි. ඒ වෙනුවට ඉල්ලා අස්වීම පිළිගෙන ඔක්තෝම්බර් මස 3 දින සිට ක්‍රියාත්මකවන පරිදි ඔහුව තනතුරින් ඉවත් කර ස්වාධීන පරීක්ෂණයක් කිරීම සදහා පත් කර ඇත්තේ චූදිත සජින් වාස් අධීක්ෂණ මන්ත්‍රීධුරය දරණ, මේ පරහදීමට මුල් වූවා යැයි පැවසෙන ක්ෂෙනුකා සෙනෙවිරත්න ලේකම් ධූරය දරණ විදේශ කටයුතු අමාත්‍යාංශයටම වීම අප ශ්‍රී ලාංකීය ජනතාවට කළ බලවත් නින්දාවකි.

අඩුම තරමේ චූදිත මන්ත්‍රීවරයාගේ අධීක්ෂන මන්ත්‍රීධූරයවත් අත්හිටවූ නැති ජනාධිපතිවරයා හදිසියේම ක්‍රිස් නොනිස් මහතාගේ ඉල්ලා අස්වීම පිළිගත්තේ ඇයි? චූදිත සජින් වාස් මන්ත්‍රීවරයාට වතිකානයේදී ශුද්ධ වූ පාප් වහන්සේ මුණ ගැසීමේ අවස්ථාව වැලැක්වීමට මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ මැදිහත් වී ඇත. ඊට හේතුව වී ඇත්තේද මෙම පහරදීම බව දැනගත් ජනාධිපතිවරයා, ඒ පිළිබද ක්‍රිස් නෝනිස් මහතාගෙන් විමසා ඇති අතර, එහිදි ක්‍රිස් නෝනිස් මහතා පවසා ඇත්තේ තමා පැමිණිලි කලේ ජනාධිපතිවරයාට පමණක් වන බවත්, කාදිනල්වරයා එම සිදුවීම පිළිබද විමසූ නිසා තතු පැවසූ බවතය. මේ පිළිබද උරණ වූ ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්වීම පිළිගත් බවද දැන් නොරහසකි.

සමහර විටෙක මෙරට රාජ්‍ය පාලකයෝ මල්වතු, අස්ගිරි නායක මාහිමිවරුන් බැහැදැක, අමූලික බොරු පොරොන්දු, ප්‍රකාශ සිදු කරනවා මෙන්, ක්‍රිස් නෝනිස්ද වෙලාවේ හැටියට බොරුවක් ගොතා කාදිනල් හිමියන්ව 'ඇන්දෙව්වේ' නැත්තේ ඇයිදැයි ජනධිපතිවරයා සිතුවා දැයි අපි නොදනිමු.

කෙසේ වෙතත් මේ හදිසි, අනිසි තීරණයේ පසු අරමුණ, තම මිත්‍ර මන්ත්‍රීවරයාට වතිකානයෙදී සිදු වූ අකරතැබ්බය වෙනුවෙන් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සමග එකට එක කිරීමක්ද යන්න අපිට නිතැතින්ම එන සැකයකි.

මේ තත්වය යටතේ කොන්දක් ඇති කිතුණුවන් සහ රටේ මානව හිමිකම් උල්ලංඝන දකිමින්, මාධ්‍ය මර්ධනයන් දකිමින්, ඒවා නැතැයි ලොවට හඩා ගා කියූ දෛවයේ සරදමකට ලක්වූ ක්‍රිස් නෝනිස් ආදි රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් තව දුරටත් මේ දූෂිත, අශිෂ්ඨ පාලනය සමග එක්ව රට වනසනවාද යන්න තීරණය කළ යුතු තීරණාත්මක හෝරාව දැන් උදා වී තිබේ.

ඒ තීරණය ගන්නට කලින් තවත් සජින් වාස්ලාගෙන් පා පහරවල් කනවාද නැද්ද යන්න ගැන තීරණය කිරීමද ඔවුන් සතුය.

Thursday, July 17, 2014

නිදහස් අධ්‍යාපනය තවදුරටත් නිදහස්ද? (උන්ගේ උරුමය අපේ කරුමය වූ හැටි)

(ඡායරූපය උපුටා ගැනීම http://indikacartoon.blogspot.com බ්ලොග් අඩවියෙනි)


මේ කතා කරන්න හදන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන නෙමේ. ඒ ගැන මුලින්ම කිව්වේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන එකම තැන ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය පමණක් නිසා, නිදහස් අධ්‍යාපනය එතැනට විතරක් ලඝු කිරීම අපි නොදැනුවත්වම සිද්ධ වෙන නිසා.


මේ අද වෙච්ච එක හුදකලා සිද්ධියක්. ගෙවල් පැත්තේ තියන සපත්තු හදන තැනට මම අද ගියේ මගෙ කැඩිච්ච බෙල්ට් එක හදාගන්න. බොහොම මහන්ස
ියෙන් හිටපු එතැන අයිති (සහ එකම සේවක ) අයියා රේඩියෝවේ යන බන්දුල ගුණවර්ධන එක්ක තියන සාකච්ඡාවක් උනන්දුවෙන් අහනවා. වෙනදට වඩා ගොඩක් රෑ වෙලා නිසා මම ඇහුවා දැන්ම යන්නේ නැද්ද කියලා.

'නෑ මල්ලි. මගේ දුවගේ වයස අයට දැනටමත් උ/පෙළ පන්ති පටන් අරන්. ඒත් මගේ කෙල්ලට ඉස්කෝලයක් නෑ. මොකක්ද චක්‍රලේඛයක් ගහපු නිසා සා/පෙළ හොදටම පාස් වුන කෙල්ලව ආණ්ඩුවේ එක ඉස්කෝලෙකටවත් දාන්න බැරිලු'


මම දිගටම විස්තර ඇහුවා....

මේ මනුස්සයා ගමේ කෙනෙක් නෙමේ. ගමට අලුතෙන් ආපු නිසා පොඩි කාලේ ගමේ ඉස්කොලෙට ළමයා දාගන්න බැරිවෙලා. දේශපාලකයෝ පස්සෙන් හිගාකන්න අකමැති නිසාම බොහොම මහන්සියෙන් හම්බ කරන සල්ලි වලින් තමන්ගේ එකම ළමයව මේ පැත්තේ තියන සාපේක්ෂව අඩු වියදම් ජාත්‍යන්තර පාසලකට (එන්සෙෆ් ජාත්‍යන්තර පාසල ) ඇතුලත් කරලා. දුව දැන් අ.පො.ස. සා/පෙළ දේශීය විෂය නිර්දේශයෙන් ඉහළින් සමත්. උ/පෙළ කරන්න ඒ ජාත්‍යන්තර පාසල් වල අවශ්‍ය පහසුකම් නැති නිසා වගේම ඒ දේ වෙනුවෙන් වියදම් කරන්න මේ මනුස්සයට අමාරුකම නිසත් (උ/පෙළ සදහා ජාත්‍යන්තර පාසල් ගාස්තු අධිකයි ) ඇයට සුදුසුකම් මත කොළඹ ආනන්ද බාලිකාවට ඇතුලත් කරන්න හොයලා බැහුවහම ඇය ඒ සදහා සුදුසු බවත්, ආනන්ද බාලිකාවෙන් ඇය ඇතුලත් කරගන්න කැමති බවත් දන්වලා. නමුත් ඒ සදහා අධ්‍යාපන ලේකම් අවසර දීලා නෑ. හේතුව මෑතකදී බන්දුල ගුණවර්ධන විසින් නිකුත් කරපු චක්‍රලේඛයක් නිසා.

ඒ චක්‍රලේඛයට අනුව ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගත්ත දරුවන් (සැ.යු. මේ ශ්‍රී ලංකා පුරවැසියන් වේ)රජයේ පාසල් වලට ඇතුලත් කරගැනීම සම්පූර්ණයෙන් තහනම්.

රේඩියෝ එකෙන් බන්දුල ඒ ගැන පැහැදිලි කරද්දි කිව්වේ, ජාතයන්තර පාසල්වලට ගිය දරුවන් පස්සේ කාලෙක ඉංග්‍රීසි මාධ්‍යයෙන් උ/පෙළ සදහා රජයේ පාසල්වලට ඇතුළත් කරගැනීමෙන් අනුරාධපුරේ අහිංසක ගොවියගේ දරුවට අවස්ථාව අහිමිවෙනවා කියලා.
'බැලූ බැල්මට ඒකත් ඇත්තනේ'...කියල පේන අයට මම මේ ටික කියන්නම්. මම මේ දේවල් දන්නේ මෑතක ඉදලා ප්‍රාථමික අධ්‍යාපන ආයතනයක් එක්ක බොහොම කිට්ටුවෙන් වැඩ කරන නිසා, ඔවුන්ගේ ප්‍රායෝගික ගැටළු අපිට තේරෙන නිසා.

1. නිදහස් අධ්‍යාපනය කියන්නේ තරාතිරම, මූල්‍යමය හැකියාව, පෙළපත ආදිය මත පදනම් නොවන අධ්‍යාපනයක් නම් ඒ අධ්‍යාපනයේ අයිතිය දුප්පත්, පෝසත් සියළු ශ්‍රී ලාංකීය දරුවන්ට තිබිය යුතු නොවේද?

2. මෙය ජාත්‍යන්තර පාසලක ඉගෙනගත් දරුවෙකු (පවා) සතු, අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් නොවේද?

3. එක ශ්‍රේණියේ සිට රජයට බරක නොවී 11 ශ්‍රේණිය දකවා දරුවන් වෙනුවෙන් තම මුදලින් අධ්‍යාපනය ලබා දීම, එම දෙමව්පියන් කරන වැරැද්දක් ලෙස අර්ථ දැක්විය හැකිද?

3.1 එසේ වේ නම් ජාත්‍යන්තර පාසල් තව දුරටත් පවත්වාගෙන යෑමට අවසර දෙන්නේ ඇයි?

4. ජාත්‍යන්තර පාසලක ඉගෙන ගත් දරුවකුගේ ඉංග්‍රීසි දැනුම සාපේක්ෂව ඉහළ වීමෙන් අනුරාධපුර ගොවියාගේ දරුවාට අසාධාරණයක් සිදුවන්නේ, රජයේ පාසල් වල අධ්‍යාපන තත්වයේ අඩුවක් නිසා මිසක් ජාත්‍යන්තර පාසලේ දරුවාගේ වැරැද්දක් නිසා නොවන බව බන්දුල නොදන්නවාද?

4.1 එසේ දන්නවා නම් කළ යුත්තේ රජයේ පාසල්වල ඉංග්‍රීසි අධ්‍යාපනය ඉහළ නැංවීම මිස ජාත්‍යන්තර පාසක් වල ඉගෙන ගත් දරුවන්ට වැට බැදීමද?

5. මැදපෙරදිග රැකියා කොට නැවත් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ලංකාවට පැමිනෙන රටවිරුවන් යයි රජය ඉහළින් අගය කරන විදෙස් ශ්‍රමිකයන්ගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය අහිමි කිරීමට බන්දුලට ඇති අයිතිය කුමක්ද?

6. ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ආරම්භ කළද, පසුකලෙක මූල්‍යමය අපහසුතා නිසා ජාත්‍යන්තර පාසල්වට දරුවන් යැවිය නොහැකි තත්වයක් උදා වූ බදු ගෙවන ශ්‍රී ලාංකීය පුරවැසියාගේ දරුවාට නිදහස් අධ්‍යාපනය අකැපද?

7. අනුරාධපුර අහිංසක ගොවියා ගැන කතා කරන බන්දුලගේ පුතා ඉගෙන ගන්නේ ඇමෙරිකාවේය. අවුරුදු 52ක් වයස අගම්පොඩි රංජිත්ව කහ ඉර උඩදී හප්පන වෙලාවේ චතුර පසන් ගුණවර්ධනට ලංකාවේ වලංගු රියදුරු බලපතක් තිබ්බෙත් නැත. ඒත් ඔහුගේ දඩුවම වූයේ රු.එක් ලක්ෂ හය දහසක දඩයකි. අත්හිටපූ සිර දඩුවමක් ලැබුණද...යළිත් ඇමෙරිකාවට පියෑඹූ පසන්ට කිසිසේත් එය අදාල වන්නේද නැත.

ලයිසන් නැති ඔබ මම කහ ඉර උඩදී ඝාතනයක් කළා නම් අපට කුමක් සිදු වේද? එවිට බන්දුලලාට අහිංසකයන්ගේ අයිතිවාසිකම් මතක් වන්නේ නැත.මේ මතක් වෙලා ඇත්තේත්, ඒ අහිංසකයන් නොමග යවන ප්‍රකාශ සිදුකරන්නේත් උ/පෙළ පංතිවල ළමුන් අඩුවන බවට මැසිවිලි නගන ජාත්‍යන්තර පාසල් හිමිකරුවන්ගේ දුක් ගැනවිල්ලට හිත උණුවෙලාදැයි අපිට සිතෙන්නේ මන්ද?

නිදහස් අධ්‍යාපනය යනු බන්දුලලාගේ සහ එස්බීලාගේ බූදලයක්ද?

(ඡායරූපය උපුටා ගැනීම http://indikacartoon.blogspot.com බ්ලොග් අඩවියෙනි)



Wednesday, July 2, 2014

'ලැට් වල' යනු ධනාත්මක තැනකි ( සුරපුරෙහි ධනාත්මක පැතිකඩ )

ඡායරූපය http://in.reuters.com වෙබ් අඩවියෙනි
අපි මොනවා කිව්වත් මේ ආණ්ඩුව තරම් ජනතාවට ඉතා සුබවාදී ආදර්ශ දුන්න තවත් රජයක් නැති තරම්.

කාලයක් අධිකරණය කියන වචනේ දැක්කහමත් වරදක් කළ නොකළ සියළු දෙනාම සීරුවෙන් හිටගත්තා. අධිකරණයේ තීන්දු ගැන අපහාසාත්මකව කතා කළා කියලා අපේ රටේ ප්‍රසිද්ධ ඌරෙක් හිරේ ගියා. අධිකරණට අහිතක් වෙන වචනයක්වත් මාධ්‍ය වලින් වගේම කට වචනයෙන්වත් පිටවුනේ නෑ. අපි එච්චරම බයෙන් හිටියේ. අධිකරණය උතුම් කියලත් කවුදෝ කොහේදෝ කියලා තිබුණා.

ඒත් අධිකරණයේ ඉහළම තනතුරේ හිටපු ඇත්තිට බේබි නෝනා, හෙර, වංචාකාරී වගේ නම්බුනාම ප්‍රසිද්ධියේම කියලා, නින්දා කරලා පන්න ගන්න මේ ආණ්ඩුව පුදුමාකර උනන්දුවකින් ක්‍රියා කළා. අන්තිමේදී අධිකරණයටත් වඩා දියවන්නාවේ සත්තුවත්ත උතුම් කියලත් තීන්දුව දුන්නා. ලංකාවේ ඉන්න වලත්ත, හොර, තක්කඩි, මැරයෝ ඔක්කොම ඉන්න තැනටත් වඩා අධිකරණය පහළ වැටුනා කියලා දැනගත්තහම පුදුමාකාර සැහැල්ලුවක් දැනුනේ. දැන් ඉතිං හිතුමතේ අධිකරණයේ බලු තීන්දු ගැන  (බල්ලන් ගැන තීන්දු හොදේ) විවේචනය කරන්න ඇහැකි. අපි ගැන නොහිතන ආණ්ඩුවක් වුනා නම් මෙහෙම කරයිද?


ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ ඕනෑම වරදක් දුටු තැන අවම බලය පාවිච්චි කරලා ස්වර්ගමෝක්ෂ සම්පත්තිය බලන්න ෆ්‍රී ටිකට් අරන් දෙන උතුම් ආයතනයක්. වලහෙකුට ගුටි දීලා ඌ හාවෙක් බවට පාපොච්චාරණය කරවන්න පුළුවන් තරම් හැකියාවක් තියන ස්ථානයක්. එහෙව් පොලිසියේ ට්‍රැෆික් මහත්තයෙක් (ඔව් ඔව් අර වංගුවල ගස් මාරු සෙල්ලම් කරන, ඉනවටේ බදින එක කරවටේ දාගෙන ඉන්න අය තමා) එහෙම දැක්කහම අපේ ඩ්‍රැයිවර් උන්දැලගේ කකුල් දෙකම බ්‍රේක් එක උඩ නැගෙනවා. දස සිල් ගත්ත ඒබරං ආතා වගේ කොන්ද කෙලින් වෙනවා. සීට් බෙල්ට් ඉන වටේ එතෙනවා. සීට් එකේ මුත්‍රා නොයන ටික විතරයි.

මෙච්චර කල් එහෙම තිබ්බ පොලිසිය ගැන දැන් අපිට බය වෙන්න දෙයක් නෑ. දැන් ට්‍රැෆික් කොස්සෙක් හරි සාජෙක් හරි දැක්කහම (ඔන්න දැන්ම මහත්තයා කෑල්ල හැලුවා) සත  විසිපහකට ගණං ගන්න එපා. පුළුවන්නම් සීට් එකෙන් නැගිටල (ගරු කරන්න නෙමේ හොදේ) හීනියට අධෝමුඛයට ප්‍රාශ්වාස කරන්නත් ඉඩ දෙතැහැකි. ගෙම්බර් පාට් එකක් දැම්මොත්, දඩ කොළයක් එහෙම දික් කාලොත් සුද්ධ සිංහලෙන්ම උගේ උභය කුළයම පාරිශුද්ධ කරතැහැකි. ඒ විතරක් නම් මදෑ..උගේ ගෙවල් දොරවල් ඔක්කොම කුඩු සංසාර් වෙන්න ගිනි තිබ්බැහැකි. බල්ලෙක් වගේ රස්සාවෙන් දොට්ට දැම්මැහැකි. දැන් ඉතිං උන්ට බයේ නිකං පීචං වෙන්න ඕන නෑ. ජනතාවට හිතැති ආණ්ඩුවක් නොවුනනම් මෙහෙම තත්වයක් ඇති කරයිද?


අපිටත් ඕන වෙලා තිබ්බේ තජුහීද් ජමාත්, බොදු බලා සේනා වගේ තහනම් කරන්න තරම් කොන්දක් තියන මේ වගේ ආණ්ඩුවක්! (හෑ....එහෙම වුනේ නැද්ද තාම?)


සුබ අනාගතයක් !!!

(ඊයේ ලියපු එකක් නොදාන්නත් හිතලා, මාතලන් මාමා බුකියේ දාපු හෑල්ලක් දැකලා දාන්නම හිතුවේ. මෙන්න තැන්කියු එක මාතලන් මාමේ)

Friday, April 18, 2014

සරම අස්සෙන් මතු වුණ බිත්තරේ කාගෙද? (ආශ්චර්‍යමත් නාවික කේන්ද්‍රය)

පින්තූරය www.ada.lk වෙබ් අඩවියෙනි 

එජාප මන්ත්‍රීවරුන් හම්බන්තොටදී පහර කෑමට ලක්වීම හෙළා දකිමින් පළවන නොයෙකුත් ප්‍රකාශ දුටු විට මා හට සිනහ පහළ විය.

මේ ප්‍රහාරයට සමබන්ධ වූයේ දකුණේ ලේ ඇති වීර දේශමාමකයින් පිරිසක් මිස අන් කවුරුත් නොවෙති. මේ ප්‍රහාරය සැලසුම් සහගතව කළ ප්‍රහාරයක් ලෙස අර්ථ දැක්වීම පදනම් විරහිත චෝදනාවක් වේ.

හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ යනු හම්බන්තොට ජනතාවගේ ජීවිතයයි. ඒ බව මේ එජාප මන්ත්‍රීවරු නොදන්නවා නොවේ. ඒ බව දැන දැනම දිනකට සිය ගණනක් නැව් යන (කි.මී.20 පමණ ඈත මුහුද දෙසින්) හම්බන්තොට වරාය සහ දහස් ගණනක් මගීන්ට දිනපතා සෙත සලසන මත්තල ගුවන් තොටුපළ (මත්තල ගුවන් ප්‍රදර්ශනාගාරය නැරඹීමට දිනපතා 'බස්' මගීන් දහස් ගණනක් එන බව රහසක් නොවේ) පහත් කොට සැලකීමෙන් එජාප මන්ත්‍රීවරුන් කලේ රාජපක්ෂ පරම්පරාවම නින්දාවට පත් කිරීමකි.

පින්තූරය www.lankadeepa.lk වෙබ් අඩවියෙනි 

අනෙක් අතට කිසිසේත් මෙය සැලසුම් සහගත ප්‍රහාරයක් විය නොහැක. එසේ වූවානම් ප්‍රහාරකයන් සතුව ගිනි අවි තිබෙන්නට ඉඩකඩ වැඩිය. අඩුම තරමේ හම්බන්තොට නගරාධිපති අතවත් කැටපෝලයක් වත් තිබුනේ නැත. ඔවුන් සිදු කලේ ඔවුන්ගේ සරම් අස්සේ තිබූ අන්තිම බිත්තරය (කලින් තිබූ බිත්තර දෙකෙන් එකක් නාමල් මහත්තයාට ඡන්දය දුන් පසු හැලී ගියබව ඔවුන්ම පවසති ) එජාප මන්ත්‍රීන් වෙනුවෙන් පාවිච්චි කිරීම පමණි.

අනෙක් අතට හම්බන්තොට වරාය අයිති එහි වල හෑරූ රාජපක්ෂලාටය. ගල්බෝර දමා ගල කැඩූ ජයසේකරලාටය. වතුර නැතිව විවෘත කළ ලොව ප්‍රථම වරාය බවට පත් කළ ආචාර්‍ය වික්‍රමලාටය. මේ ඔවුන්ගේ පරම්පරාගත නින්දගම්වලින් ලැබුණු ආදයම් මිසක් ජාත්‍යන්තර ණය මුදල් නොවේ. එහෙව් තැනක් බලන්නට යන්නට තරම්, ශ්‍රේෂ්ඨාධිකරණයටත් වඩා උතුම් යැයි ආණ්ඩුව විසින් ප්‍රත්‍යක්ෂයෙන්ම දෙසා වදාළ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඇත්තේ කුමන හයිකාරකමක්ද?

'මා රටේ අයිතිකාරයා නොවේ, තාවකාලික භාරකාරයෙක් පමණයි' යැයි කවුදෝ හීනියට කොදුරනවා මට හීනෙන් මෙන් ඇසෙන්නේ ඇයි?

Monday, February 24, 2014

ඔබාමා ගේ අවධානය පිණිසයි ! ( ජිනීවා වලින් බේරීමට රහසිගත උපක්‍රම )



ඇමරිකාවට ශ්‍රී ලංකාව සමග කිට්ටු ඇසුරක් පැවැත්වූවා නම් සලසා ගත හැකිව තිබුනු වාසි රැසක්-

1. කලුවර අඳුන මතුරා මැරීන් සෙබලුන් අදෘෂ්‍යමාන කොට වියට්නාමයේ කැලෑ වලට බස්සා ගරිල්ලා අරගලය ජයග්‍රහණය කරන්නට හැකිව තිබිණි…

2. සෝවියට් සංගමය වට්ටන්නට 1991 වෙන තෙක් ඩොලර් කෝටි ගණන් වැය කොට අවුරුදු ගණනක් කුමන්ත්‍රණය නොකොට මාතර ගුරෙක් ලවා කොඩිවිනයක් කරවා, මහා කාලිට කැප කල හූනියමක් සෝවියට් දේශ සීමාවේ වළලා, එරට මීට ක
ළින් විනාශ කර ශීතල යුද්දය ජයගත හැකිව තිබීම…

3. සදාම් හුසේන්ට “රූප කටු ගැසීමක්” කරවා අඩපණ කර, ආක්‍රමණය නොකරම මරා දැමීම…

4. ඉරානයේ න්‍යෂ්ඨික බලාගාරය තිබෙන තැනට “භූමි පාලුවක්” කර එම ව්‍යාපෘතිය අඩාල කර දැමීම…

5. ඔසාමා බින් ලාඩන් සොයා කෝටි ගණන් වටිනා කැමරා සහිත මිලිටරි චන්ද්‍රිකා, ගුවන් ඡායාරූප, ඩ්‍රෝන් ආදිය යෙදවීම විශාල මුදල් නාස්තියකි… දක්ෂ ගුරුන්නාන්සෙ කෙනෙක් ලවා “කනප්පුවක් ඇවිද්දවා” කනප්පුව පිටිපස්සෙන් ඇමරිකන් හමුදාව ගියා නම් ඔසාමා සිටින තැනට පහසුවෙන් යාමට හැකිව තිබිණි…






6. උතුරු කොරියානු නායකයාට කඩවර යක්ෂයා බන්දා තුන් වරුවෙන් ධවල මන්දිරය ඉදිරියට අවසිහියෙන් නට නටා එන්න සැලැස්වීම…

7. ජප කරන ලද මිනී අලු සහ පුච්චා වරුවෙන් ගන්නා ලද ජප කල මිනී ඇට චීනයේ බෙයිජිං අගනුවරට ඉස, චීන නායකයන් අසමගි කොට නයි පොළොන්ගු සේ උනුන් කා කොටා ගන්නට සලස්සා අනාගත අභියෝගය වූ චීනය විනාශ කර දැමීම..

8. හුලවාලි වශියක් කර ව්ලැඩ්මිර් පුටින්ගේ හිත දිනාගෙන එඩ්වර්ඩ් ස්නෝව්ඩන් නැවත ඇමරිකාවට පිටුවහල් කරවා ගැනීම …

9. “වැල් පැන්නුමක්” කර සිරියානු නායක අසාද් සහ රුසියාව අතර මිතුදම කඩා දමා සිරියාව තනිකර ගැනීම…

ඩොලර් කෝටි ගණනක් සමග පරීක්ෂණ රාශියක් සඳහා ගිය කාළයද, විශේෂ බලකායන්ගේ සහ සී.අයි.ඒ බුද්ධි අංශ ඒජන්තයන් රැසකගේද ජීවිත ඉතිරි කර ගැනීමට තිබිනි…




උපුටා ගැනීම දමිත් කේතක ගේ වත්පොත් බිත්තියෙනි.

*****අවසාන වශයෙන් ඔබේ එදිනෙදා පුහුණුවට*****



Tuesday, February 18, 2014

මම ජ.වි.පෙ. ට ඡන්දය නොදීමට හේතු සහ තවත් කතා....


අද මහරගම රැස්වීම පවත්වන්නේ පහුගිය දෙවැනිදා ජ.වි.පෙ. 7වන ජාතික මහා සමුලුව පවත්වලා මේ රට මුහුණ දුන් අර්බුද පිළිබඳව සාකච්ඡා කරලා මීට වඩා හොඳ උසස් සමාජයක් නිර්මාණය කිරීම සඳහා වැඩපිළිවෙලක් සම්මත කරගෙන ඒ සඳහා පක්‍ෂයට නව නායක මණ්ඩලයක් පිහිටුවීමෙන් අනතුරුවයි. 7වන ජාතික සමුළුවේදී සිදුවුණේ හුදු නායක මණ්ඩලවල වෙනසක් පමණක් නොවේ. ජනතාව මුහුණ දෙන අසීරුතාවයන් හඳුනාගෙන ඒ වෙනුවට ජනතාවාදී පාලනයක් හදන අලුත් වැඩපිළිවෙලක්ද සම්මත කරගත්තා.

අපේ රටේ ජනතාව මොකක්ද කියමින් ඉන්නේ? ගොවිජනතාව තමන් ලබාගත් අස්වැන්නට නිසි මිලක් නැහැ කියලා අඳෝනාවක් තියෙනවා. ධීවර ජනතාව තමන් නෙලා ගන්නා මාළු සම්පතට නිසි මිලක් නැහැ කියලා අඳෝනාවක් කියනවා. වැඩ කරන ජනතාවට තමන් ලබන වැටුප ජීවිතය ගැටගහගන්න බැහැ කියලා අඳෝනාවක් තිබෙනවා. ව්‍යාපාරික ප‍්‍රජාව ව්‍යාපාර කරගන්න බැරි තත්වයක් උදාවෙලා. තරුණයින්ට රස්සාවක් සොයාගන්න බැරි අර්බුදයක්, සිංහල, දෙමළ, මුස්ලිම් අසමගිය වර්ධනය වුණු වටපිටාවක්, ජාත්‍යන්තරය හමුවේ රට මහත් අර්බුදයකට පත්වුණු කාලයක් උද්ගතවෙලා. හැම දෙනාගෙම හඬ වෙලා තිබෙන්නේ මේ රටට මෙහෙය යන්න දෙන්න එපා එය වෙනස් කරන්න ඕනෑ කියන හැගීමයි. ඔබගේ එම සිතුවිලි යථාර්ථයක් කරන දිනය වැඩි ඈතක නොවේ. ඔබ කුස තුළ ඉන්න දරුවන්, ඇකයේ ඉන්න දරුවන්ට, අතේ එල්ලී කිරි බොන දුවා දරුවන්ට හොඳ රටක් ඕනෑ. රනිල්ට, මහින්ද රාජපක්‍ෂට මේ රට හදන්න බැහැ. අවුරුදු 66ක් තිසිසේ වසර 33 ගානේ රට පාලනය කරලා ඒ පක්‍ෂ දෙකම රට අඟලක්වත් ඉදිරියට ගන්න බැහැ කියලා ඔප්පු කරලා තිබෙනවා.

මහින්ද රාජපක්‍ෂ ප‍්‍රධාන කේන්ද්‍ර 5ක් ගැන කිව්වාව. දැනුමේ කේන්ද්‍රය, බලශක්ති කේන්ද්‍රය, නාවික කේන්ද්‍රය, ගුවන් කේන්ද්‍රය, වෙළඳ කේන්ද්‍රය. පහුගිය චොගම් සමුළුවේදී සංචාරක කේන්ද්‍රය කියලා තව එකකුත් එකතු වුණා. අපේ රටේ බලශක්ති කේන්ද්‍රය හදන්නේ හදල මාස 32ක් ඇතුළත 26 වතාවක් කැඩුණු නොරොච්චෝලේ තියාගෙන. විදුලිබල මණ්ඩලය 2011-2012 වර්ෂ දෙකේ පාඩුව රුපියල් කෝටි 8042යි. ගොවීන්ට විශ‍්‍රාම වැටුප දෙන්න යන්නේ කෝටි 100යි. රෝහල්වලට බෙහෙත්ටික දෙන්න වෙන්කරලා තිබෙන්නේ කෝටි 900යි. සමෘද්ධියට වෙන් කරන්නේ කෝටි 1,400යි. බලශක්ති කේන්ද්‍රය හදන්න යන විදුලිබල මණ්ඩලයේ පාඩුව කෝටි 8,042යි. තෙල් සංස්ථාව පසුගිය වසර දෙකට කෝටි 18,415ක් පාඩු ලබලා තියෙනවා. ජනතාවට බදු ගහල දඩ ගහල ගන්න මුදල් ගිලින බහිරවයන් බවට පත්වෙලා. අපේ රට බංකොලොත් කරලා. ගුවන් කේන්ද්‍රයක් කරන්න තිබෙන ආයතන දෙක තමයි මිහින් ලංකා සහ එයාර් ලංකා. පහුගිය වසර කිහිපය තුළ කෝටි ගණන් පඩුයි.

මත්තල ගුවන් තොටුපොල ගුවන්යානා බස්සවන්න ශත පහක් අයකරන්නේ නැති ගුවන් තොටුපොලවල් බවට පත්වෙලා. කටුනායක ඩොලර් 5,000ක් අයකරනවා. මත්තල ඩොලර් 2,500ක් අයකරමින් සිටියා. ඒකත් මහින්ද රාජපක්‍ෂලා ගැසට් ගහලා ඉවත් කරනවා. දැන් මේක හුලං කේන්ද්‍රයක් බවට පත්වෙලා. කුඩු, එතනෝල්, කැසිනෝවලින් කේන්ද්‍රයක් හදලා තිබෙනවා. දැනුමේ කේන්ද්‍රයක් කරනවා කියලා මහ ලොකුවට කථා කළාට 2005දී දළ ජාතික නිෂ්පාදිතයෙන් 3.59%ක් අධ්‍යාපනයට වෙන් කරපු ආණ්ඩුව 2013දී එය 1.4%ක් දක්වා කප්පාදු කරනවා. දැනුමේ කේන්ද්‍රයක් හදන්නේ මේ විදියට සාමාන්‍ය ජනතාවගේ දරුවෝ අධ්‍යාපනයෙන් පළවා හැරලද? නාවික කේන්ද්‍රයක් කරන්නේ නැව් එන්නේ නැති හම්බන්තොට වරායෙන්ද? කොළඹ වරායේ අලුත් ජැටියක් හදුවා. ඒක 2042 වෙනකම් අයිතිය තිබෙන්නේ චීන රජයට. ඒ නිසා මේ රාජපක්‍ෂගේ කේන්ද්‍ර බුබුලු කේන්ද්‍ර බවට පත්වෙලා. ඒ වෙනුවට අර්බුද පහක් රට හමුවේ ගොඩනැගිලා. ආර්ථික අර්බුදය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසිවීම, කුඩු, කැසිනෝ, එතනෝල් ව්‍යාප්ත වීම, වංචා, දූෂණ, ජාතික ප‍්‍රශ්නය, ඒ අර්බුද පහයි. අවසානයේ රාජපක්‍ෂලා කේන්ද්‍ර පහක් වෙනුවට අර්බුද පහක් නිර්මාණය කරලා තිබෙනවා.

ආණ්ඩුවේ මාධ්‍යයක් තිබෙනවා නයි ටී එන් එක කියලා. උදේ 7ට, 12ට ඒකට එන ඇමතිවරු අපේ රටේ ආර්ථික වර්ධනය ඉහළ ගිහිල්ලා කියලා මහා බරපතල වචන දාලා කියනවා. රට හැටට හැටේ නැගලා යනවා කියනවා. රටක ආර්ථිකය ඉහළ යනවානම් කඩේ බිස්නස් ටික වැඩිවෙන්න ඕනෑ. තරුණ තරුණියන්ට රස්සා බිහිවෙන්න ඕනෑ. බඩුමිල අඩුවෙන්න ඕනෑ. අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් වැඩිවෙන්න ඕනෑ. රෝහල්වලට, බෙහෙත්වලට වෙන් කරන මුදල් වැඩිවෙන්න ඕනෑ. නමුත් දැන් කඩේ බිස්නස් අඩු වෙලා. රස්සා අඩුවෙලා. අධ්‍යාපනයට මුදල් කපලා. මරණාසන්න ලෙඩාටත් රෝහලේ බෙහෙත් ටික නැහැ. ඒත් මහින්ද කියනවා ආර්ථිකය නැගලලු කියලා. ලංකා ඉතිහාසයේ ඉතා නරකම ආකාරයට ආර්ථිකය කඩා වැටෙන යුගයක් මේක. රට ණය උගුලක හිරවෙලා. පහුගිය 2012දී රටේ ආදායම රුපියල් බිලියන 1,051යි. දඩ ගහලා, බදු ගහලා තරුණ තරුණියන්ගේ කසාදෙටත් රුපියල් 5,000ක් අයකරලා ආණ්ඩුව උපයා ගත්තේ එච්චරයි. නමුත් ඒ වර්ෂයේ ණය වෙනුවෙන් රුපියල් බිලියන 1,074ක් ගෙවන්න වුනා. රටේ මුලු ආදායම ණය පොලී වාරිකය ගෙවන්න මදි. ඉතිරි සියල්ල කරන්න සිදුවෙලා තිබෙන්නේ ණයට. රාජ්‍ය අංශයට වැටුප් දෙන්නේ ලංකා බැංකුවෙන් ණය අරගෙන. මුලු රටම දුවන්නේ බැංකු අයිරාවකින්.

ආණ්ඩුව ජනතාවගේ ආහාරපානවලට බදු ගහනවා. පහුගිය අයවැයෙන් කොත්තමල්ලි කිලෝවකට රුපියල් 202ක බද්දක් ගැහුවා. සූදුරු කිලෝ එකකට රු. 52ක් සීනි වලට රු.30ක්, සුදු ලූණුවලට රු.40ක්, පරිප්පුවලට රු.22ක්, ලොකු සැමන් ටින් එකකට රු.105ක් ගානේ ජනතාව ආණ්ඩුවට බදු ගෙවනවා. රාජපක්‍ෂලාට සල්ලි හොයන්න වෙලා තිබෙන්නේ ජනතාවගේ එදිනෙදා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට බදුගහලා. ඒ විතරක් නෙවෙයි, ආණ්ඩුව අධ්‍යාපනයට, සෞඛ්‍යයට වැය කරන වියදනුත් කපනවා.

මේ මහින්ද රාජපක්‍ෂ කියන්නේ මාධ්‍යවලින් ගොඩනගන ලද ප‍්‍රබන්ධයක් පමණයි. සුනාමි ව්‍යසනය වෙලාවේ මුදල් වංචා කරපු නායකයෙක්. 2004දී ජනතාව මහා ව්‍යසනයකට පත්වෙලා ඉද්දී පිටරටවලින් එවපු සල්ලි තමන්ගේ අක්කගේ නමට හරවලා කොල්ල කාපු නායකයෙක්. බලයට ආපු ගමන් මාධ්‍ය ආයතනවලට පහර දුන්නා. මහින්ද රාජපක්‍ෂට එරෙහිව මාධ්‍ය වාර්තා පළවෙන්නේ නැහැ. සමහර නාළිකාවල මහින්ද රාජපක්‍ෂගේ නම වෙනුවට ඇහෙන්නේ බීප් ශබ්දය. රෝහණ විජේවීරගේ මස්සිනා යකා නටයි කියලා පත්තරවල මුල් පිටුවේ පළ කළාට ඇත්තටම පිස්සු කෙලින ශී‍්‍ර ලන්කන් එයා ලයින් සමාගමේ නිශාන්ත වික‍්‍රමසිංහ මහින්ද රාජපක්‍ෂගේ මස්සිනා කියලා ලියන්නේ නැහැ. සිරස මාධ්‍ය ආයතනයට දෙපාරක් බෝම්බ ගැහුවා. ඉරුදින, සන්ඩේ ලීඩර් මුද්‍රණාලයට ගිණි තැබුවා. අධි ආරක්‍ෂිත කලාපයේ තිබුණු සියතට බෝම්බ ගැහුවා. ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිණි තිබ්බා. යාපනයේ උදයන් කාර්යාලයට කිහිප සැරයක් වෙඩි තබා ගිණිබත් කළා. ලසන්ත වික‍්‍රමතුංග ඇතුලු මාධ්‍යවේදීන් 11ක් ඝාතනය කළා. පොද්දල ජයන්තගේ කකුල කැඩුවා. උපාලි තෙන්නකෝන්ට තර්ජනය කළා. මේවට සම්බන්ධ කිසිවෙකු අත්අඩංගුවට ගත්තේ නැහැ. ඒ සියල්ල පිටුපස සිටියේ ආණ්ඩුවයි. මාධ්‍ය ආයතන බිය ගන්වලා පාලනය කරනවා. සමහර මාධ්‍ය ආයතන සල්ලි දීලා අරගෙන තිබෙනවා. සමහර මාධ්‍ය ආයතනවල කර්තෘවරුන්ගේ දරුවන් ජනාධිපතිවරයාගේ මුදල්වලින් පිටරට ශිෂ්‍යත්වවලට ගියා. ඉතින් ඒ අය මහින්ද රාජපක්‍ෂට විරුද්ධව ලියනවද? අපේ රටේ ඇත්ත මාධ්‍යවලින් වාර්තා වෙන්නේ නැහැ.

අපේ රටේ මිනිස්සු ගෙවල් කඩන්න එපා කියනකොට සුදු වෑන් වලින් උස්සනවා. අගවිනිසුරුතුමිය දිවිනැගුම පනතට එරෙහිව තීන්දුවක් දුන්නු නිසා එළවලා දානවා. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් අභියෝගයට ලක්වෙලා. අපේ රට ජාත්‍යන්තරයට හොඳ වේදිකාවක් වෙලා. සමහරු රනිල් එක්ක එකතු වෙලා මානව හිමිකම් රකින්න වේදිකාවවලට නගිනවා. අපි ඉතා වගකීමෙන් කියනවා මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් ආරක්‍ෂා කරන්න පුලුවන් ජනතා විමුක්ති පෙරමුටණට පමණයි කියලා. අපේ රට කුඩු, එතනෝල්වලින් පිරිලා. අද කුඩු එන්නේ ගෝණි ගණන්. මේ කුඩු ගෙනාවේ අපේ දරුවන්ට පොවන්න. පකිස්ථානයේ කාමින් ගම්පොල තියෙන අගමැතිවරයාගේ ගෙදර දන්නේ කොහොමද? ඒ නිසා පැහැදළි සම්බන්ධයක් මේ අය අතර තිබෙනවා. එතනෝල් කන්ටේනර් ගණන් ගේනවා. එක කන්ටේනරයකින් ලක්‍ෂ 1100ක් පමණ උපයනවා. නාන්න තරම් රටට අරක්කු ගේන්නේ කවුද? දැන් අරක්කු මුදලාලිලා කුඩු මුදලාලිලා ආණ්ඩු කරන තත්වයට පත්වෙලා. වයඹ ස්කාගාරය ජොන්ස්ටන් ඇමතිවරයාගේ. හිඟුරාන අරක්කු ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ. කුඩු කැසිනෝ රේස් බයි රේස් කාරයන්ගෙන් හැදුනු සන්ධාන ආණ්ඩුවක් මේක. සුදු පිරුවට ඇඟලාගත් අය හොරු එක්ක ලගිමින් කුඩු නැතිකරනන් කථා කරනවා.

මහින්ද රාජපක්‍ෂලාගේ කල්ලිය කෝටි ප‍්‍රකෝටි ගණන් හොරකම් කරනවා. පහුගිය දවසක මහින්දානන්දගේ බිරිඳ දික්කසාද වෙන්න ලක්‍ෂ 5000ක වන්දියක් ඉල්ලුවා. බිරිඳ දන්නවා මහින්දානන්දට ඒ තරම් ධනයක් තිබෙනවා කියලා. මේ තරම් ධනය කාගේද? මේවා මහජන මුදල්. මහින්දානන්ද කියන්නේ ලොකු හොරෙක් නෙවෙයි. පොඩි හොරු මෙහෙමනම් ලොකු හොරු කොහොම ඇත්ද? මහින්ද රාජපක්‍ෂගේ තුන්වැනි පුතා රෝහිත රාජපක්‍ෂ පුවත්පතකට කියලා තිබුණා මොනවාහරි ගන්න හිතුනාම මිල ගණන් බලන්නේ නැහැ කියලා. ඔහු පළඳින්නේ ලුවී විටෝන් සපත්තු කියලා කියලා තිබුණා. ලුවී විටෝන් සපත්තු ජෝඩුවක් ලක්‍ෂ එකහමාරක් විතර වෙනවා. එහෙම වියදම් කරන්න මේ අයට ධනය ලැබුණේ කොහොමද? 2012.12.12. නාමල් රාජපක්‍ෂගේ කාල්ටන් කී‍්‍රඩා සමාජයේ ලැම්බෝ ගිණි වර්ගයේ රේසින් කාර් 19ක් ගෙනාවා. බදුරහිත වටිනාකම රුපියල් ලක්‍ෂ 933ක්. පුතා රේසින් කාර් ගේනකොට තාත්තා අයවැයෙන් රේසින් කාර්වල බදු අඩුකරනවා. නාමල් රාජපක්‍ෂට ලක්‍ෂ 933ක් කොහෙන්ද? මන්තී‍්‍රකමට පත්වෙලා අවුරුදු හතරයි. ඒ අවුරුදු 4 ඇතුළත නොකා නොබී හම්බ කළත් ඉතිරි කරන්න පුළුවන් වෙන්නේ ලක්‍ෂ 48ක් විතරයි. එයා ලංකා එකේ සභාපති මහින්ද රාජපක්‍ෂගේ මස්සිනා. අධ්‍යාපන සුදුසුකම සා.පෙළ අසමත්. එයා ලංකා එකේ පාඩුව කෝටි 7000ක් පමණ වෙනවා. මෙවර අයවැයෙන් එයා ලංකා එකට කෝටි 2600ක් වෙන් කරලා. සි.ටී.බී. එකට වෙන් කරන්නෙත් කෝටි 50යි. ගොවි විශ‍්‍රාම වැටුපට වෙන් කරන්නෙත් කෝටි 100යි. තමන්ගේ මස්සිනාට කෝටි 2,600ක් වෙන්කරනවා. මහජන මුදල් කෝටි ප‍්‍රකෝටි ගණන් අයථා ලෙස උපයා ගත් හැම මුදලක්ම රටේ ජනතාව අතට පත්කරන ජනතාවාදී පාලනය ගොඩනගන්න අවශ්‍ය වෙන්නේ ඒ නිසයි.

මේ වනවිට ජාත්‍යන්තරයෙන් විශාල අභියෝග රැසක් එල්ල වෙලා තිබෙනවා. සමහරු මහින්ද සිප වැළඳගෙන දෙපතුල ලෙව කකා ඇමරිකාවට තඩි බානවා. සමහරු ඇමරිකාව බදාගෙන මහින්දට තඩි බානවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ බෙදුම් රේඛාව හරියටම හඳුනාගෙන තිබෙනවා. මහින්ද රාජපක්‍ෂත් ඇමරිකාවත් එක පැත්තකට දාලා ජනතාව එක පැත්තක සිට ගන්න ඕනෑ. මේ මහින්ද රාජපක්‍ෂට ඕනෑ ලංකාවට එරෙහිව යෝජනා සම්මත වෙන්නයි. එතකොට තමයි එයාට පපුවට ගහගන්න පුළුවන්. ඇත්තටම යෝජනාව පරාජය කරන්න ඕනැ නම් හොඳ තානාපති සේවයක් හදන්න ඕනෑ. ඇමරිකාවේ තානාපතිධුරයට එව්වේ තේ කොළ මුදලාලි කෙනෙක්. රුසියාවට යැව්වේ මහින්ද රාජපක්‍ෂගේ පුංචි අම්මගේ පුතා. ඉතාලියට යැව්වේ නාවලගේ බැනට් කුරේ. මියන්මාරයේ ඉන්නේ දික්වැල්ලේ එච්. ආර්. පියසිරි. එයා 88-89 මානව හිමිකම් ආරක්‍ෂා කරපු විදිය අපි හොඳට දන්නවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්නේ කටුනායක පෞද්ගලික අංශයේ සේවකයින්ට වෙඩි තිබ්බා කියලා වරද පිළිගත්ත හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය. එයා කොහොමද මානව හිමිකම් ගැන කථා කරන්නේ?

ඒ නිසා මේ රටට ප‍්‍රබල විපක්‍ෂයක් ඕනෑ. පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් මේ ආණ්ඩුවට එරෙහිව සටන් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි. එ.ජා.ප.යට මේ රටේ විපක්‍ෂය වෙන්න පුළුවන්ද? එ.ජා.ප.යේ ප‍්‍රශ්නය නායකත්ව අර්බුදය නෙවෙයි. ඒ අයට තිබෙන ලොකුම ප‍්‍රශ්නය ප‍්‍රතිපත්තිවල අර්බුදයයි. මොකද මේ ආණ්ඩුව කි‍්‍රයාත්මක කරන්නේ යූ.ඇන්.පී, එකේ ප‍්‍රතිපත්ති. ඒ නිසා තමයි එජාපය පෞද්ගලික විශ්වවිද්‍යාල හදනකොට හදන තැන හරි නැහැ කියන්නේ. කැසිනෝ ගේනකොට යූ.ඇන්.පී. ආණ්ඩුව තියෙනවනම් මේ තරම් බදු සහන දෙන්නේ නැහැයි කියන්නේ. රවී කරුණානායකට, දයා ගමගේට ජෝන් සෙනෙවිරත්නට ආණ්ඩුවට එරෙහි වෙන්න බැහැ. ජනතාව සමග අත්වැල් බැඳගත් ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්නය වෙනුවෙන් අරගල කරන පක්‍ෂය ජනතා විමුක්ති පෙරමුණ. අපි රට හදන වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. එය කරුණු පහකින් සමන්විතයි. ජනතාවාදී පාලනයක්, උසස් මානව සම්පතක්, නවීකරණය හා කාර්මීකරණය වූ රටක්, සාධාරණ සමාජයක්, නිවහල් මිනිසෙක් ගොඩනගන්න ඕනෑ. දැන් තිබෙන්නේ ජනතා මුදල් කොල්ල කන පාලනයක්. මේ රටේ විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතුයි. විධායක ජනාධිපති ධූරයේ ඉන්න මහින්ද රාජපක්‍ෂගේ සංකල්ප තමයි මේ රටේ නීතිය බවට පත්වෙන්නේ. රටේ මුලු ධනයෙන් 52%ක් තිබෙන්නේ මහින්දගේ අතේ. රටේ වැදගත් ආයතනවලින් 80%ක් පාලනය කරන්නේ මහින්ද රාජපක්‍ෂ. ඒ වගේම අපේ රටේ අමාත්‍යාංශ සීමා කළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් තුළ ඇමති මණ්ඩලය 25කට සීමා කරනවා. අපි ආණ්ඩුවේ ඉන්නකොට කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, පශු සම්පත් සියල්ලම තිබුණේ එක අමාත්‍යාංශයක් යටතේ. දැන් අමාත්‍යාංශ කෑලි කෑලිවලට කඩලා.

ලෝකයේ උසස් තාක්‍ෂණය, උකහා ගනිමින් දියුණු ශී‍්‍ර ලංකාවක් හදන්න ඕනෑ. ලෝකයේ උසස් සිනමාව කලාව, සාහිත්‍යය මේ රටට කැඳවාගෙන එන්න ඕනෑ. එය ඔස්සේ රටේ ජනතාවගේ චින්තනයක් ගොඩනගන්න ඕනෑ. අද අන්තර් ජාලය, සන්නිවේදනය, දියුණු වෙලා තිබෙනවා. නමුත් අපේ රටේ රූපවාහිනීවල පෙන්වන්නේ ගෙවල්වල ප‍්‍රශ්න විතරයි. නවීන තාක්‍ෂණය මත පදනම් වූ සාධාරණ ප‍්‍රතිපත්ති මත ගොඩනැගුනු සාධාරණ සමාජයක්, මීට වඩා නවීනත්වයෙන් රටක් ගොඩනගන්න පුලූවන්. ඒ සඳහා දැක්ම, පරිත්‍යාගය, කැපවීම තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි. මේ රටේ වෘත්තීයවේදීන්ට, ව්‍යාපාරිකයින්ට, තරුණයන්ට, කාන්තාවන්ටශිෂ්‍යයන්ට වමේ ව්‍යාපාරය හැරගිය අයට අපේ පක්‍ෂයෙන් ඈත් වී නිද්‍රාශීලීව ඉන්න අයට අපි ආරාධනා කරනවා ඒ සඳහා හොඳ පිම්මක් මේ පළාත් සභාවේදී ගමු. වැඩකරන ජනතාව හැටියට අපිට අපි හැමදෙනාටම ඒ දේ කරන්න පුළුවන්.

............................................................................................................

ඒ අතරතුර අපේ බුකි මිතුරු රවීෂ තිලකවර්ධන ඔහු ජ.වි.පෙ. ට ඡන්දය නොදීමට හේතුවන කාරණා ගැන ඉතා තර්කානුකූල විග්‍රයක් සිදුකර තිබිණි.

මා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය නොදීමට හේතු

1. මාක්ස් ලෙනින්වාදී න්‍යායික පදනමක් සහිත ජවිපෙ ජාතිකවාදී සහ වෙනත් දේශපාලන න්‍යායන් අවශෝෂණය කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වී තිබෙන ව්‍යාකූල තත්ත්වය තුළ ජවිපෙ න්‍යායික පදනම ස්ථාන ගත වන්නේ කුමන ආස්ථානයකද යන්න පිළිබඳ ඇති අවිනිශ්චිතතාවය

2. විජේවීරයන් විසින් ට්‍රොට්ස්කිවාදී දෘෂ්ඨිකත්වයක්ද සහිතව මාක්ස් ලෙනින්වාදීව නිර්මාණය කරන ලද න්‍යායන් කාලානුරූපීව විකාශනය නොවීම. යම් විකාශනයක් සිදු වූවා නම් එය ඉල්ලුම් සැපයුම් න්‍යාය මත පදනම්ව සිදු වූවක් මිස විද්‍යාත්මකව සිදු වූවක් නොවීම

3.බෝල්ෂෙවික් හැඩයේ සාම්ප්‍රදායික කොමියුනිස්ට් ලක්ෂණ පෙන්නුම් කරන ජවිපෙ ගෝලීය ධනවාදය සමග දක්වන ප්‍රතිරෝධයන් සමග නවීන ප්‍රවණතා කළමණාකරණය පිළිබඳ ඇති අවිනිශ්චිත බව

4.බලය රහිතව සිටියදී දූෂණය වංචාවෙන් තොර චාම් ජීවිත ගත කරන ජවිපෙ නායකයන් බලය ලැබුණු පසු ක්‍රියා කරන ආකාරය පිළිබඳව ඇති සැකය

මෙකී කරුණු සහ තවත් අවශේෂ කරුණු කිහිපයක් නිසා මා ජවිපෙට ඡන්දය නොදෙනු ලබන්නේ

1. සිමෙන්ති කොට්ට ගණං හෙරොයින් ගෙනා විට ඒවා නිදහස් කරන්න යැයි අගමැති කාර්‍යාලයෙන් ලියුම් නිකුත් වෙන රටකය

2. අවුරුද්දකට හැටදාහක් තරුණයන් වකුගඩු රෝගයෙන් විඳවා මිය යෑම ගැන අබමල් රේණුවක දෙයක් නොකරන පාලකයන් රටේ මුදල් මිලියන ගණනින් වියදම් කර දෙලොවටම වැඩක් නැති සැටලයිට් අභ්‍යාවකාශගත කරන රටකය

3. සංගක්කාර ට්‍රිපල් සෙන්චරිය ගසා ස්ටේඩියම් එකට බැට් එක උස්සනවා වගේ ගෑණු සීයක් දූෂණය කළ ප්‍රීතිය සැමරීමට පාටි දමන දේශපාලකයන් කිසිදු අරෝවකින් තොරව යෙහෙන් වැජඹෙන රටකය

4. මත්කුඩු සම්බන්ධ පාලකයන් එළවීමට ලෙහි අත් ගසා ශපථ කර පසුව එම පාලනයම යළිත් ස්ථාපිත කිරීම සඳහා මහජනතාවගෙන්ම මුදල් හිඟා කන ජඩ දේශපාලකයන් සිටින රටකය

මේ කොයි එක වුනත් මම තියා මගේ බල්ලාවත් මේ සම්මජ්ජාතියේ ජවිපෙට ඡන්දය දෙන එක නං වානාය.