Sunday, February 10, 2013

සාරභූමිය (දේශපාලනාර්ථයෙන් ඔබ්බට දේශමාමකත්වය)




ජීවිතය යනු බ්ලොග් අඩවියකට තරම් නොවෙන සංකීර්ණ මාතෘකාවකි. එහෙත් එම සංකීර්ණ ජීවිතයේ අප නොපතන, නොසිතන අත්දැකීම් වලට අප මුහුණ දෙන්නේ නොදන්නා මොහොතකය. ජීවිතයම වෙනස් නොවූවද අහඹු අත්දැකීම් නිසා අප ජීවිත තුළ සිදුවන සුළු යැයි අප සිතන වෙනස්කම්, තව දුරටත් ලඝු කළ නොහැකි අවස්ථා අපට කොතෙකුත් අත්දැකීමට සිදුවනු ඇත. එවැනි වෙනස්කමකට භාජනය වීමි. මහ පොළව මත ජීවත් වන බව කොතෙක් පාරම් බෑවද අප ජීවත් වන්නේ ඒ සරු පස මත නොවන බව, ඒ සරු සාහිත්‍ය තුළ නොවන බව අපට පසක් වන්නට පටන් ගෙන ඇත. මා ඇමෙරිකානු ජාතික ලේඛිකා පර්ල් එස්. බක්ගේ, The Good Earth නව කථාවට අසීමිත ලෙස  පෙම් බදිමි. ඒ වාංලූන් කෙරෙහි  උපන් ඊර්ෂ්‍යාව මැඩ පවත්වා ගනිමිනි. ඔහු ඊර්ෂ්‍යා හිතෙන තරම් භූමියට පෙම් බදියි. නමුත් ජීවිතය දෙස බලන කෝණය වෙනස්වන්නට ආසන්නතම හේතුව වූයේ එය නොවේ. එය කෙනෙකුට එළි වන්නත් තවත් කෙනෙකුට එළි නොවන්නත් පුළුවන. එබැවින් ඔබ අපේක්ෂා භංගත්වයට පත් කරන්නට මා බලාපොරොත්තු නොවෙමි. එය මා නොපවසමි.

දිගු නිහැඩියාවකින් පසු අකුරු කරන්නට තැත් කරන්නේ ඔබ මාගෙන කිසිසේත් බලාපොරොත්තු නොවූ මාතෘකාවකි. මේ කෙටි ලිපිය හා සබැදි ලිපි කිහිපයක් ඉදිරියේදී අතරින් පතර ඔබට මුණ ගැහෙනු ඇත. ඒ ලිපි සියල්ල ඔබ බොහෝ දෙනාට, දේශපාලනාර්තයෙන් ඔබ්බට ගිය උතුම් වූ මාතෘභූමිය පිළිබද හැගීමක් ජනිත කෙරේවා යනු මගේ ප්‍රාර්ථනයයි.

මෙය දිගු කාලින පර්යේෂණයක එක් ප්‍රථිපලයකි.




කොබ්බෑ කොසොඹ දැති...කටු පිල නික දෙමට දැති...
ඉන් දැති පසක් ගෙන...ගොවියෝද වැඩ කරති...
ගවයෝද වැඩ කරති...දෙවියෝ ද රැක වරති...
මිහිකත වරම් ගෙන ...සැම දෙවි සරණ ලැබගෙන...
කොළ මඩින මේ කමත...සරු බැතෙන් පුරවමින...
මෙදා වර අස්වැන්න...සරු වෙන්න වර දෙන්න...
බත හදන බැත හැලුණ...පිදුරු ඉවතට ලන්න...
පිට කමත් කර ලන්න...වරම අප හට දෙන්න...



මගේ ගමේ ගොයි මහත්තුරු තමන්ගේ මේ කන්නේ අස්වැන්න කොළ මැඩීම කොරන අතරතුරේ කරන ගොයිකමකි ඔය. යාදින්නාවක් ස්වරයෙන් කියන මේ හෑල්ල අවසන 'වරම අප හට දෙන්න' යැයි ප්‍රධාන ගොයි ඇත්තං කියන විට සෙස්සෝ 'ආචීස් හබේස්' හඩගා කියනා වගා මා දැන ගත්තේ වයස අනූවටත් කිට්ටුකොට සිටින ගමේ පැරණි ගොයි සීයා කෙනෙකුන්ගෙනි. ඒත් එහි තේරුම පහදන්නට සීයාටද බැරි විය.

කොළ මැඩීමේදී, වට කැඩීමට හිමි වන තැන සුවිශේෂීය. මේ වෙනුවෙන් ගමේ ඉන්නා වැඩිහිටි නමුත් හයි හක්තිය ඇති කාර්‍යශූර ගොවියන් කිහිප දෙනෙක් එකතු වීම මගේ ගමේ සම්ප්‍රදාය වී ඇත. දෙදෙනෙකු වට කඩන තෙක්, හලා බෑම අවසන් කළ උදවිය මැඩුවන් ගොඩකට පිටදී සීපදයක් කියමින් මහ මැඩුවම තෙක් කල් මැරීම මේ උද්යෝගය බිදකුදු අඩු කරන්නට හේතු නොවිණි. කවුරු විවේක ගත්තද අම්බරුවන් දැක්කීම නම් නොනවත්වා සිදු වේ.


බටපොතු පෙට්ටියක් හිසේ දරාගෙන එන ගොයි හාමිනේට හුළු අත්තෙන් මහ එළි කරන්න බොහෝවිට උදව් වන්නේ පවුලේම ගැටිස්සියෙකි. ඇඹුල රැගෙන එන ගොයි හාමිනේ කමත්වාසීන්ගේ නෙතට රස දසුනක් බව මා කිය යුතු නොවේ.


කළයක් ගෙන අසළ ලිදකින් ගගුල පුරාවාගෙන ඒම බොහෝ විට සිදු වන්න කොලු ගැටයෙක්ගේ අතිනි. කොටසක් කොටා බෑමට නිදහස් වුවද තව කොටහක් දිගටම මැඩුවම කරගෙන යන්නේ පුදුම හිතෙනසුළු ජවයකිනි. බැත ගොඩ ගැසීම නම් බොහෝ විට භාරගන්නේ ප්‍රධාන ගොවිතැන විසින්මය. කොටා බෑම අවසන් කළ කොටස හැන්දෑවට පැගිරි භෝග ඒදනවා නම් ඊට කාලවේලා නොගන්නේ තවමත් මැඩුවම කරන ගොයි උදවියට කොටා බෑමට ඉඩදිය යුතු නිසාය.


කමත් චාරිත්‍ර වල විශේෂත්වය වන්නේ ඒ සදහා ස්ත්‍රී පාර්ෂවයේ සහභාගීත්වය ඇඹුල සැකසීමට පමණක් බොහෝ විට සීමා වීම නිසාය. කොටින්ම බෝලත්ත ගෙන බෝල තිබීමේ සිට, යතුර ගෙන යතුරු බෑම වැනි කාරියක්ද, පාවර කෑ බැත ඉවත් කිරීම වැනි වෙහෙසකර නොවන වැඩක් පවා කෙරෙන්නේ පුරුෂ පාර්ශවයේ මහන්සියෙනි.


දැන් කාලයේ මෙන් බිම් සකස් කිරීමේ සිට වී ටික ගෙට ගන්නා තෙක් සියළු ගොවිතැන් කටයුතු යන්ත්‍ර සූත්‍රවලට පවරා නොතිබූ පුරාතන යුගයේ වී ගොවිතැන කෙරී ඇත්තේ චිරාගත සම්ප්‍රදායානුකූලව, පාරම්පරික සිරිත් වීරිත් අනුගමනය කරමින්, ගරු සරු පෙරදැරි භක්තියකිනි.

විශේෂයෙන් කොළ මැඩීමේදී (ගොයම් පෑගීමේදී) වඩාත් සුවිශේෂී වත් පිළිවෙත් චාරිත්‍ර විධි අනුගමනය කර ඇත. කමතේදී කතා කර ඇත්තේද වෙනම භාෂාවකි. උපයෝගී කරගන්නා බඩු බාහිරාදියද හදුන්වා ඇත්තේ ඒවාට ගැමි වහරේ භාවිතාවන සාමාන්‍ය නමින් නොව වෙනත් නම් වලිනි. එකල මෙන්ම මෙකලද බහුලව භාවිතාවන 'යකෝ' යන වදනත් 'හූ' කීමත් කමතේදී සපුරා තහනම් වූ බව දැන ගන්නට ලැබිණි.

මේ ලිපිය පුරා භාවිතා කරන ලද කමත් භාෂාවේ එන වචන බොහොමයක් බ්ලොග් ලියන, කියවන බොහොමයක් නොදන්නා බව දනිමි. එය අතිශයින් සාධාරණ වන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය තුල එවැන්නක් දැන ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථා අවම වීමයි. වුවමනාවෙන්ම හොයා බැලීමට ප්‍රථම මේ වචන මා දන්නා භාෂාව අසලකවත් නොතිබිණි. එහෙයින් ඉහත සදහන් නුපුරුදු වචන වල තේරුම සොයා මෙහි කමෙන්ටුවක් ලෙස පල කිරීමට ආරධනා කරමි. කෙසේ වෙත්ත දින දෙකකට පසු ඒවායේ තේරුම් ඔබ වෙත පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි.

දිවයිනේ වෙනත් පලාත්වල වෙනත් වචන, වෙනස් සිරිත් විරිත් පවතින්නට, පැවතී තිබෙන්නට හැක. එසේම මා නොදන්නා බොහොමයක් කමත් වචන ඔබ සමහරක් දන්නා බවද විශ්වාසය. එම නිසා ඔබේ වටිනා අදහස් හරහා එම දැනුම සයිබර් පාඨකයන් සමග බෙදා ගන්නා ලෙස ඇරයුම් කර සිටිමි.


ආයු බොහෝ වේවා!