Wednesday, November 13, 2013

තොප්පි සිමයියාව ඕවර්ටේක් කළ රේස් ජේමියා (චුයිංගම් ආතල්)



අපේ ගංතුලානේ තියන 'මරා'ණාධාර සමිතියේ මේ සැරේ රැස්වීමේ හරි හරි වැඩ වුනා. සමිතියේ මොන මංගල්ලෙටත් කඩා පාත් වෙන, සමිතියේ ඇත්තන්ට අධෝවාතයක් ගියත් සරම උස්සන් කෑගාන අල්ලපු ගමේ චන්ඩියා වෙන තොප්පි සිමයියා මේ සැරේ රැස්වීම කර ඇරලා. ගම්මු කියන්නෙනං සිමයියගේ ගෙදර උන්දෑ ලලිතක්කා මේ සැරේ රැස්වීමට ආවොත් කකුල් කඩනවා කියල කොරපු තර්ජනේට බයේ තමා උන්දෑ නාවේ කියල.



ඔය අස්සේ ගගෙන් එගොඩ ගමේ රේස් ජේමියට මේ සැරේ 'මරා'ණාධාර රැස්වීමට එන්න කියල බෝතල් අඩි පීරයියා පංයිඩයක් යවලා. අහල හං හතේම ප්‍රසිද්ධ සූදු කාරයෙක්, බජව් කාරයෙක් ඉතරක් නෙමේ වේසකං වලට අතහිත දෙන ඈයෙක් වෙච්ච ජේමියා මේ සැරේ රැස්වීමේ කතාවකුත් කොලාලු.

අපිනං හිතා උන්නේ ජේමියා එන එකට ගමේ උන් දෝස්මුරයක් තියයි කියල. අනේ මොන! ජේමියා පැත්තක ඉදිද්දී සමිතියේ වෙච්චි ආරවුලක් ගැන කට කතා පතුරෝපු හාදයෝ දෙන්නට නම් ගමෙ උන් පන්න පන්න දෙසනවා ඕන් අද දැක්කා. 



ඒත්  රේස් ජේමියා වගේ එහෙකුට මේ ගං තුලාවේ ඔච්චර රගන්න දෙන්නේ ඇයි කියන පුරස්නේ අපේ හිතේ තියනවා. අනිත් කාරනේ තමා අර හාදයෝ දෙන්න වෙනුවෙන් විස්සෝප වෙන ඇත්තෝ එකෙක්වත් ජේමියා ආපු එකට මීක් නැති වෙච්චි එක. ඒ විතරක් නම් මදෑ, ඔය උන් ඔක්කොම  බොන්න වතුර ඩිංගක් ඉල්ලපු ගමේ උන් ටිකට සමිතියේ ලොක්කො ටික ගිනි පිම්බ වෙලේ කටේ බෙට්ට හිරවුනා වගේ උන්නා.


රටේ ඔක්කොම බවුද්දයෝ ටික වෙනුවෙන් ඉන්න සම්මේලනේද මොකක්ද එකේ, ලොකු පුටුවෙත් රේස්කාරයෙක් ඉන්න එකේ, ජේමියා ආව එක මොන කෙංගෙඩියක්ද කියල නොහිතෙනවත් නෙමේ ආයිබෝං.

පංචසීල පද පහට සූදුව නොවැටුනේ, ඒ කාලෙ උන්න උත්තමයෝ මේවා ගැන ඉර්දියෙන් දැකල වෙන්ටැ මයේ හිතේ.
   

Wednesday, September 4, 2013

චේතිය පරපුරේ කබ රාලගේ වික්‍රම (ඔබේ මුදල් හැට්ට අස්සේ හෝ සරම අස්සේ ගසා ගැනීමට කාලයයි)


ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක නගනු ලබන ප‍්‍රශ්නය - 2013.09.04

සෙන්ට‍්‍රල් ඉන්වෙස්මන්ට් ඇන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී නැමති මූල්‍ය සමාගම බංකොලොත් වීම හේතුවෙන් 6000කට වැඩි තැන්පතුකරුවන් සංඛ්‍යාවක් අපහසුතාවයට පත්ව තිබීම පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරමි. 

සෙන්ට‍්‍රල් ඉන්වෙස්මන්ට් ඇන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී (CIFL නැමති මූල්‍ය සමාගම පසුගිය 2012 දෙසැම්බර් මාසයේ සිට තමන්ගේ තැන්පත්කරුවන් වෙත ඔවුන්ගේ තැන්පතුවලට අදාල පොලිය හෝ කල් පිරුණු තැන්පතු ආපසු ලබා දීම අත්හිටුවා තිබෙනවා. මේ හේතුවෙන් එම තැන්පතුකරුවන් බලවත් අර්බුදයකට මුහුණ පා ඇති තිබෙනවා. ඇතැමෙක් ජීවිතයේ සැඳෑ සමයේ ජීවනෝපාය සඳහා, ශල්‍යකර්ම ආදී හදිසි සෞඛ්‍ය වියදම් පියවා ගැනීම සඳහා, දරුවන්ගේ ආවාහ විවාහ කටයුතු සඳහා වූ වියදම් අපේක්ෂාවෙන් තමන්ගේ ඉතුරුම් මුදල් තැන්පත් කළ අයයි. මේ තත්වය තුළ ඔවුන්ට ජීවත්වීම සහ අනෙකුත් වියදම් සඳහා තමන්ගේ දේපළ විකිණීමටත් උකස් තැබීමටත් සිදුව තිබෙනවා.

CIFL ආයතනය තමන්ගේ ප‍්‍රචාරණ කටයුතු මගින් සහ මෙම සමාගම 2011 අංක 42 දරන ව්‍යාපාර පනත යටතේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ බලපත‍්‍රලාභී මුල්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි කරනු ලැබ ඇති බව සඳහන් කිරීම මගින් CIFL සමාගම වෙනුවෙන් 6000කට වැඩි තැන්පත්කරුවන් ප‍්‍රමාණයක් ආකර්ෂණය කරගන්නා ලද අතර එම සමස්ත ආයෝජනය රුපියල් බිලියන 3.4ක් පමණ වෙනවා. 

කෙසේ වුවද සමාගම මූල්‍ය දුෂ්කරතාවයකට මුහුණ පා ඇති බව සඳහන් කරමින් පසුගිය දෙසැම්බර් මාසයේ සිට තැන්පත්කරුවන්ට පොලී මුදල් ගෙවීම අත්හිටවනු ලැබුවා. මේ වන විට ගෙවිය යුතුව ඇති එම පොලී මුදල පමණක් රුපියල් මිලියන 150 ඉක්මවනවා. නමුත් අධ්‍යක්ෂ මණ්ඩලය හා විධායක නිලධාරීන් විශාල වැටුප් හා දීමනා ලබමින් සිටි අතරතුර ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් තැන්පත්කරුවන් රාජ්‍ය බලය උපයෝගී කරගනිමින් තමන්ගේ තැන්පතු මුදල් නිදහස් කරගැනීමට කටයුතු කළා. තත්වය මෙසේ තිබියෙදීත් මහ බැංකුව මෙම මූල්‍ය සමාගමේ අධික්ෂණ කටයුතු නොසලකා හැර තිබූ අතර 2013 මැයි මාසය වන තෙක්ම ඊට අදාල පියවරක් ගැනීමට මහ බැංකුව අසමත් වුණා. අනතුරුව මැයි මාසයේ මහ බැංකුව විසින් රොස්කෝ සහ ස්වර්ණා මෙලෝනි යුවලට ආයතනයේ පරිපාලනය භාරදෙනු ලැබුවා. රොස්කෝ මෙලෝනි එහි සභාපති ධූරය සඳහා පත්වෙන්නේ සමාගමේ කිසිදු මුදලක් ආයෝජනයක් නොකරයි. සභාපති සහ උප සභාපති ලෙස ඔවුන් දෙදෙනා විසින් පිළිවෙළින් මැයි 22දාතමින් හා ජුනි 20 දාතමින් තැන්පතුකරුවන්ට දන්වා සිටින්නේ අදාල පොලී මුදල් සහ තැන්පතු මුදල් ලබාදීමට කටයුතු කරන බවත් ඉවසීමෙන් තමන් සමග රැඳී සිටින ලෙසත්ය.

මේ කිසිදු මැදිහත්වීමක් තුළින් තැන්පත්කරුවන්ට විසඳුමක් නොලැබීම තුළ තැන්පත්කරුවන් සිය ගණනක් ආයතනය වෙත පැමිණ විරෝධය පෑමට කටයුතු කළා. ඒ අනුව මහ බැංකුව, CIFL ආයතනය ගොඩනැගීම සඳහා පිළියම් වාර්තාවක් ලබාදෙන ලෙස පීපල්ස් ලීසිං පීඑල්සී සමාගමට භාර කළා. කෙසේ වුවද එය විසින් කරන ලද නිර්දේශ මොනවාදැයි මේවන තුරුත් තැන්පතුකරුවන්ට කිසිවක් දැනුම්දීමට පියවර ගෙන නැහැ. එසේම අසරණභාවයට පත් තැන්පත්කරුවන් විසින් පිහිටුවාගත් සංගමය විසින් බලවත් ලෙස ඉල්ලීම් කිරීමෙන් අනතුරුව මහ බැංකු අධිපතිවරයා විසින් සාකච්ඡාවක් ලබාදී තිබුණා. එහිදී ඔවුන් තමන්ට සාධාරණයක් වේ යැයි අපේක්ෂා කළත් කිසිවෙකුටත් අදහස් ප‍්‍රකාශ කිරීමට ඉඩදී නොමැති මහ බැංකු අධිපතිවරයා තමන් කියන දේ පමණක් අසා සිටින ලෙසට තැන්පත්කරුවන් වෙත තර්ජනය කර තිබෙනවා. ලෝකයේ මෙවැනි ආයතනවලට ලබාදී ඇති විසඳුම් පරිදිම තැන්පත්කරුවන්ට රුපියල් ලක්ෂයක් හෝ දෙකක් ලබාදී ආයතන වසා දැමීමට තමන්ට බලය පාවිචිචි කළ හැකි බවට ඔහු තර්ජනාත්මකව පවසා සිටිනවා.

එහෙත් මුදල් මණ්ඩලය යටතේ බලපත‍්‍රලාභී මුල්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි කරනු ලැබීමෙන් අනතුරුව මෙසේ ආයතන කඩාවැටීමට ඉඩහැරීමට ඉඩදීමට මහ බැංකුවට නොහැකියි. මෙම කඩා වැටීමෙන් පෙන්නුම් කෙරෙන්නේ රජයේ පාර්ශවයෙන් සිදුවිය යුතු අධීක්ෂණය නිසි ලෙස සිදු නොවී ඇති බවයි. එසේම ආයතනය ස්වභාවිකව මරණයට පත්වන්නට ඉඩහැර කොමිස් මුදල් වෙනුවෙන් CIFL ආයතනය තවත් ආයෝජකයෙකු යටතට පැවරීමට මහ බැංකුව සූදානම් වන්නේදැයි සහ බංකොලොත් වූ ආයතනයේ කොටස් මිලදී ගැනීමට තමන්ට බලකෙරෙනු ඇත්දැයි තැන්පතුකරුවන් දැඩි බියට පත්වී සිටිනවා. මහ බැංකුවේ අධීක්ෂණ කටයුතු නිසි ලෙස සිදු නොවීමේත් ආයතන පරිපාලනයේ දූෂණ ක‍්‍රියා හා වැරදි කළමනාකරණය වෙනුවෙන් තමන් වගකිවයුතු නැති බව තැන්පතුකරුවන් දැඩිව අවධාරණය කරනවා. 

මේ තත්වය තුළ පැන නගින පහත ගැටලූවලට පිළිතුරු අදාල අමාත්‍යවරයා විසින් ගරු සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.
     
    01. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ බලපත‍්‍රලාභී මුල්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමෙන් තැන්පතුකරුවන් වෙත ලබාදී ඇති රැුකවරණය කුමක්ද?

    02. මෙමආයතනය කඩාවැටෙන තුරු අදාල ක‍්‍රියාවලිය මහ බැංකුව විසින් අධීක්ෂණය නොකළේ මන්ද?

    03. අගෝස්තු 26 දාතමින් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් යොමු කරන ලද ලිපියේ තැන්පතුකරුවන් 60%ක කොටස් ගත යුතු බවට අධ්‍යක්ෂ මණ්ඩලයට යෝජනා කරනු ලැබ ඇත්ද?

    04. තැන්පතුකරුවන්ට අදාල තැන්පතු මුදල් හා නියමිත පොලී මුදල් ගෙවීමේ සැලැස්ම කුමක්ද?

    05. ආයතනයේ කඩාවැටීමට වගකිවයුතු අධ්‍යක්ෂ මණ්ඩලයට හා නිලධාරීන්ට එරෙහිව ගනු ලැබ ඇති පියවර කවරේද?


Friday, August 9, 2013

ලයිසන්ලත් සක්විතිලාගේ හෙන ගහන CIFL වංචාව (ශ්‍රී ලංකා මහ බැංකුවේ බබා පාට්)


දුක් මහන්සියෙන් යමක් ඉතුරු කරගත් මිනිසුන්, ඉන් පසු ඒ ඉතිරිය තවත් වර්ධනය කරගන්න පෙළඹීම ස්වාභාවිකය. සක්විතිගෙන්, කොතලාවලගෙන් මට්ටු වූ මිනිසුන් මේ ඉතිරිය තැන්පත් කරන්නේ හොදින් සොයා බලාය. සොයා බලන්නට මිනිස්සුන්ට තියන හොදම ක්‍රමය මහ බැංකුවය. ශ්‍රී ලංකා මහ බැංකුව කලින් කලට ප්‍රසිද්ධ මාධ්‍ය වල, මහ බැංකුවේ අනුමත බැංකු සහ මූල්‍ය සමාගම් වල ලැයිස්තුවක් පළ කරයි. එම ආයතන වල කටයුතු, ක්‍රියාකාරීත්වය සොයා බලන්නට වෙනම දෙපාර්තමේන්තුවක් පවා ඇත.

CIFL (Central Investments & Finance PLC) යනු එලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත මූල්‍ය ආයතනයකි. 1966 ආරම්භ කර 2005 දෙසැම්බර් මස ලියාපදිංචි මුදල් සමාගමක් බවට පත් වී ඇති ආයතනය මේ වනවිට රටේ අසාර්තකම මූල්‍ය ආයතනය පමණක් නොව නූතන සක්විති බවට පත් වී ඇත.



Registration Certificate under the Finance Companies Act



CIFL හි මුදල් තැන්පත්කරුවන් හට දැනට මාස 7ක පමණ කාලයක් තිස්සේ තැන්පතු වලට අදාල පොලී මුදල් සහ කල්පිරුනු ස්ථිර තැන්පත්වල මුලික මුදල පවා ගෙවාගත නොහැකි තත්වයකට පත්ව ඇත.

මින් වසර 2කට පමණ ඉහත සිට ලෝ ප්‍රකට ක්‍රිකට් තරුවක් වන සනත් ජයසූරිය ඔවුන්ගේ අධ්‍යක්ෂ කෙනෙක් ලෙසත්, ඔහු CIFL ආයතනයේ සන්නාම තානාපති ලෙසත් ක්‍රියාකරන බව පවසමින්, එසේම ආයතනයේ නීතිමය වලංගුභාවය ඔප්පු කරමින්, තරමක් ඉහළ පොලී අනුපාත ලබා දෙන බව පවසමින් මෙම ආයතනය ඉතා සිග්‍රයෙන් මුදල් තැන්පත්කරුවන් තමන්ගේ ග්‍රහණයට නතු කරගැනීමට සමත් වූහ.



Sanath Jayasuriya As CIFL Brand Ambassador


ජීවිතයේ සැදෑ සමය ගෙවීමට තමන් උපයාගත් අර්ථ සාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් මෙහි තැන්පත් කර එහි පොළියෙන් ජීවත්වන වැඩිහිටි පුරවැසියන් සේම, තම ඉඩ කඩම් විකුණා ගත් මුදල් අනාගත අයෝජනයක් වෙනුවෙන් යොදවනතෙක් තැන්පත් කර ඇති තැන්පත්කරුවන් දක්වා 5000කට අධික තැන්පත්කරුවන් CIFL ආයතනයේ අත්තනෝමතික මූදල් පාලනය හේතුවෙන් මේ වනවිට අන්ත අසරණ තත්වයකට පත්ව ඇත. 

සක්විති වෙත මුදල් ලබා දුන් ජනතාව මෙන් නොව, මොවුන් මේ මුදල් තැන්පත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව කෙරෙහි තිබෙන විශ්වාසය මත පදනම්ව බව මේ තැන්පත්කරුවන් සමග කතාබස් කිරීමේදී මැනවින් පසක් වේ. නමුත් මේ පිළිබදව විමසීමට මහ බැංකුවට ගිය සමහර තැන්පත්කරුවන්ගෙන් මහ බැංකු නිළධාරීන් අසා ඇත්තේ 'ඇයි ඕගොල්ලො ඔතන සල්ලි දැම්මේ?' කියාය.


මේ වනවිට මේ ගැන සොයා බැලීමට මහ බැංකුව නිළධාරියෙක් පත් කර ඇති නමුත්, මෙහිදී මහ බැංකුව වගකීම් පැහැර හරිමින් ක්‍රියා කළ ආකාරයක් පැහැදිලිව පෙනේ. එමෙන්ම නිර්ලජ්ජිත මහ බැංකු නිළධාරී CIFL ආයතනයේ කළමණාකාරීත්වයේ වෙනසක් සහ කොටස් හිමිකාරීත්වයේ වෙනසක් මෙම කඩාවැටීමට හේතු වූ බවත්, නව කොටස් හිමියන් සහ නව ආයෝජන පිළිබදව එම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව නොමග යැවූ බවත් ප්‍රකාශ කොට අත සෝදා ගැනීමට සූදානම් වෙති. අපට ඇති ප්‍රශ්ණය වන්නේ ශ්‍රි ලංකා මුදල් මණ්ඩලයේ පිළිගත්, ලියාපදිංචි මුදල් සමාගමක මූල්‍යමය ශක්තිය මෙවන් තත්වයක් දක්වා බිද වැටෙනතෙක් මහ බැංකුව සිටියේ බක්න්නිලාගෙන, බඩ උලාගෙන, බට කලියාගෙනදැයි කියාය.

තවත් මෙය දුරදිග ගොස්, තවත් වැලිවේරියක් පුරහල CIFL ආයතනය ඉදිරිපිටි ඇති නොවේවායි අපගේ ඒකායන පැතුමයි. ඒ පැතුම ඉටු කිරීමට උරදීම ශ්‍රී ලංකා මහ බැංකු නිළධාරීන්ගේ පරම යුතුකමයි.



(මෙය හිතුමතේ හෝ CIFL ආයතනයේ නමට හානිකිරීම පිණිස වෙළද අරමුණකින් පළ කළ ලිපියක් නොව වගකීම් සහගතව සොයා බලා පළ කළ ලිපියකි. එසේම මේ ආයතනය නිවැරදි මාර්ගයට පැමිනේවි යැයි මාස 6කට අධික කාලයක් ඉවසා බලාසිට ලියන ලද ලිපියක් බව වගකීමෙන් පවසමි.)

මේ අසාධරණය නිසා අසරණ වූ තැන්පත්කරුවන් එකතු වී 'CIFL තැන්පතු හිමියන්ගේ සංගමය' (CIFL Deposit Holders Association) නමින් නීතිමට වලංගුභාවයක් සහිත සංගමයක් පිහිටුවාගෙන ඇත. එහි බ්ලොග් අඩවියේ සබැදිය පහත දැක්වේ.


http://cifldha.blogspot.com




Thursday, May 9, 2013

මාළු ලෑල්ලෙන් ඉගෙන ගැනීම (පාඩම් අංක 1)



දවස් කීපයක ඉදල අපේ පැත්තට මාළු අරන් එ සීයා ආවේ නෑ. අසනීප බවක් කිය කිය හිටපු නිසා අදත් නොඑයි කියල උපකල්පනය කරලා චූටියගේ තරමක් දුරින් තියන මාළු ලෑල්ලට ගියා. කාලයක් මුණ ගැහුනේ නැති නිසා චූටියා එක්ක ආගිය තොරතුරු කතා කරන අතරේ විදුලි බිල ගැන කතාවත් ඇදුනා.

'ගිය මාසේ කරන්ට් බිල 3000යි බන්. මෙතන ලයිට් තියෙන්නේ සී.එෆ්.එල්. විතරයි. ඒවත් දාන්නේ දවසට පැය තුනයි. තිබ්බ ඩීෆ්‍රිෂර් එකත් ගෙදෙට්ට ගිහින් දැම්මා මෙතන බිල වැඩි නිසා. දැන් ලබන මාසේ තව 1000න් විතර බිල වැඩි වුනහම ඉතිං මාළු ගන්න එන මිනිස්සුන්ගේ පිටින් තමා ඕක යවන්න වෙන්නේ'

ආයෙත් පුහු ව්‍යාපාරික ටෝක් අපි අතරේ වැඩක් නැතිබව දන්න චූටියා කෙලින්ම කියල දැම්ම. මාළු ඉදල හිටල හරි කන, අපි නොකෑවත් පොඩි එකාට කන්න දෙන මං වගේ සාමාන්‍ය මිනිස්සු ගැන ඇතිවුනේ දුකක් වගේම තරහක්.

චූටියගේ නොදන්න කම ගැන මම පුදුම වුනේ නෑ. ගල් බෝතලයක, මාළු කිලෝ එකක, අයිස් කිලෝ 10ක ගණං ඇරුණු කොට වෙන මොන කෙංගෙඩියකවත් ගණං මිනුං වගේම රටේ තොටේ වෙන දේවල් ගැනත් ඌ දන්න දෙයක් නෑ.

'බලං හිටහං රුපියල් දාහෙන් ෂේප් වෙන්න, ලබන මාසේ ඉදල අඩුම තරමේ රුපියල් පන්දාහක් වත් ලෑස්ති කරගනිං කරන්ට් බිල ගෙවන්න' 

'ඇයි යකෝ..එහෙම වෙන්නේ කොහොමද?.. මහින්දය කරන්ට් බිල අඩු කලානේ'

මම චූටියට දුන්න උත්තරේ ඇතුලේ ජාතික භාෂාවේ තියන මිහිරිම වචන කීපයක් තිබ්බ නිසා ඒක මෙතන දාන්න බෑ.

එක අතකින් චූටියට එහෙම බැනලා වැඩක් නෑ. අපේ රටේ වැඩිපුරම ඉන්නේ මේ චූටියල තමා. ඒ චූටියලට මේ රටේ ඉන්න පාලකයොත් හරි ආදරෙයි. නසරාණි වෙන්න වහින කාලෙත් අපෙන් කෙලවෙන ඉන්ධන ගැලපුම් ගාස්තුව, මුලු විදුලි පරිභෝජනයට අය කරන මුදලෙන් 40% බව වත්, ලොක්කා මැයි දවසේ දුන්න කැරට් අලයෙන් කලේ ඒකෙන් 25% ක්, වඩාත් පැහැදිලිව කිව්වොත් අලුතෙන් හැදෙන වැඩිවෙච්ච බිලෙන් 10% විතරක් අඩු කල එකවත් මේ චූටියල දන්නෙත් නෑ. ලොක්කා දෙන කැරට්වල ලස්සන නිසා මුන්ට තේරෙන්නෙත් නෑ. ඒ ඔක්කෝටම වඩා මුන්ට තේරිලා තියෙන්නේ ලොක්කා කරන්ට් බිල අඩු කලා කියල විතරයි, 80% වඩා වැඩි ප්‍රතිශතයකින් වැඩි කරලා කියල තේරෙන්නේ නෑ.

යමක් කමක් තේරෙන්නෙ නැති තත්වෙක හිටියනම් හොදා කියල මට හිතුන බොහොමයක් වාර වලට මේ සිද්ධියත් එක හේතුවක් වුණා. මොකෝ අපි කරන්ට් බිල එනකම්මත්, ඒක ගෙවනකම්මත්, ඊටත් පස්සෙත් ඉන්නේ ලේ කෝප වෙලා. ඒත් චූටියා බිල එනකම් ආතල් එකේ ඉන්නවා. බිල ආවහම මාළුවල ගාණ වැඩි කරනවා. ඒකෙන් මාස් පඩි කාරයා වෙච්ච මං ගන්න මාළු ටිකටත් කෙල වෙන බව ඇත්ත. ඒත් වැඩේ හරිම සිම්පල්.

මමත් ඉගෙන ගත්තා හොද පාඩමක්. අනිත් දවසේ ඔය බඩු මිල, බදු වැඩි වුනහම ඕව ගනං ගන්නේ නෑ. වැඩි කරනවා මගේ පඩිය......හෑ..... "&#$@!&*@!#*!(#%@!

හා...බලන්න හොද නැද්ද විසදුම....

සැ.යු. ඉහත පින්තූරයේ සිටින මාළු වෙලෙන්දා අපේ චූටියා නොවන අතර, රෙද්ද උස්සා පෙන්වන්නේ 'අපවිත්‍ර' කාන්තාවක් නොවන බව සලකන්න.

Saturday, April 20, 2013

පවිත්‍රා මගේ කටට එබූ ඒ සුන්දර අත ( කෝ මගේ හක්කේ දත )



සමාවෙන්න අවුරුද්දට කලින් හම්බවුන සල්ලි වලට වෙච්ච දේ ගැන හොයල බලන්නවත් වුනේ නෑ රෙද්දේ රෙවෙන්න දීලා තියනවා අපේ දේශප්‍රේමී ආණ්ඩුව. පෝස්ට් එකක් ලියන්න වෙලාවක් නෑ. ලයිට් ඔෆ් කරල, ලැපත් ඔෆ් කරල මෛත්‍රී භාවනාව කරන්න තියෙනවා.

මේකත් පිළි අරගෙන ආණ්ඩුවට බැනල අපේ ලේ පුච්චගෙන නිකං ඉමුද? නැත්නම් දැන්වත් දැනෙන්න මොනව හරි කරමුද? හැමදාමත් බලා හිටියහම අපි ගැන දුක හිතෙයි කියල හිතුවද?



(කාටුන් එක ලක්බිම පත්තරෙන් ඉස්සුවේ, ඒකේ ගහලම තියනවා දැක්කනේ)

Friday, March 22, 2013

අහෝ...ජිනීවා (ලබන මාර්තුව තෙක්)



ජිනීවා තියෙන්නේ දියවන්නාව පැත්තේ යැයි සිතෙන තරමට එ.ජා. මානව හිමිකම් කමිටු යෝජනාව පැන යා හැකි මාතෘකාවක සීමාවෙන් ඔබ්බට ගමන් කර ඇත. සුමාන දෙකකට පසු සහ ලබන පෙබරවාරි අවසන වනතෙක් යලි කරලියට නොඑන මාතෘකාවක් බව දැන දැනම මේ නීරස මාතෘකාව ගැන පසු විවරණයක් කිරීමට සිත් විය.

මුලින්ම මේ යෝජනාවේ අන්තර්ගත කරුණු වලින් ප්‍රධානම කාරණය වන LLRC කමිටු වාර්තාව ගන විමසා බලමු. මෙය රටේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවක් වන අතර මෙය ආරම්භයේ පටන්ම රටේ ඇති වූ හෝ ඇති විය හැකි ජනවාර්ගික ගැටළුවලට පිළිතුරක් සෙවීමේ අභිලාෂයෙන් සකස් වූවක් නොවේ. එසේ වූවා නම් ඕනෑම අයෙකුට සාක්ෂි ලබා දිය හැකි යයි රෑ ප්‍රවෘත්ති වලින් සංදර්ශණ කිරීමෙන් ඔබ්බට ගොස් මෙය සැබෑ වශයෙන්ම ජනතාව අතරට ගොස්, ජනතා අත්දැකීම් සහ අදහස් වලින් නිර්මිත වාර්තාවක් විය යුතුව තිබිණි. උතුරු නැගෙනහිර ජනවාර්ගික ප්‍රශ්ණයට පිළිතුරු සොයන මේ වාර්තාව අඩංගු වැඩිමනක් කරුණු වලට සාක්ෂි ලබා ගැනීමේ කටයුතු වලින් 80% සිදු වූයේ කොළඹ පිහිටි ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ ආයතනයේදී වීමම මෙහි වලංගු භාවය ප්‍රශ්ණයට නැගෙන අවස්ථාවකි.

ඇත්තට මුහුණ දිය යුතුය. මේ වාර්ථාව හදිසියේ සම්පාදනයට හේතු වූයේ දරුස්මාන් වාර්තාව හරහා ජාත්‍යන්තරව නැගෙමින් පැවති විරෝධය යටපත් කිරීමේ අවස්තාවාදී අරමුණ මිසක් ජනවාර්ගික ගැටළුවට පිළිතුරු සෙවීමේ අවස්ථානෝචිත අරමුණ නොවේ.

කෙසේ හෝ මෙම වාර්ථාව ජාත්‍යන්තර අවධානය දිනාගත් වාර්තාවක් බවට පත් විය. එසේ නොවුනත් එය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වාර්ථාවක් බවට පත් වූ බැවින් එය අඩු ලුහුඩුකම් පැවතියද එය ක්‍රියාත්මක කිරීමේ වගකීමක්, යුතුකමක් සහ අයිතිවාසිකමක් රජය සතු වේ. එය ඇමෙරිකාව, ඉන්දියාව හෝ යුරෝපය පමණක් නොව විපක්ෂයවත් බල කරන තෙක් කල් මැරීමට අවශ්‍ය නොවේ.

මේ වාතාවරණය තුළ ඇමෙරිකාව ප්‍රමුඛ අධෝ මුඛ කැසීම් ඇති බටහිරවාදීන්ට රටේ ස්වෛරීභාවය ප්‍රශ්ණ කිරීමට උඩගෙඩි දීමේ වටපිටාවක් ඇති කිරීමට මේ අදූරදර්ශී පාලනය 'සමත්' විය. මාධ්‍ය මර්ධනය, නිතිය හෑල්ලුවට ලක් කිරීම, ප්‍රසිද්ධ මැර ක්‍රියා, දේශපාලන පලිගැනීම් මෙන්ම එළිපිට සිදු කරන වංචා ආදිය ගැන ITN එකෙන් එහා ලෝකයක් ඇති බව දන්නා කිසිවෙකුට හෝ අප විසින් පැහදිලි කීරීම අවශ්‍ය නොවන බව දනිමි.

ඇමෙරිකාව හෝ යුරෝපයට පමණක් නොව ඉන්දියාවට පවා මේ ප්‍රශ්ණය පිටින් තම රටේ පෞද්ගලික න්‍යාය පත්‍ර සාක්ෂාත් කර ගැනීමට එහා ගිය අරමුණක් නැති බව පැහැදිලිව පෙනේ. ඇමෙරිකාව තම සුපුරුදු හෙළුවෙන් සිට හූ කියා චන්ඩි පාට් දැමීමේ න්‍යායට අවතීර්ණව ඇති අතර, ඇමෙරිකාව් බෙට්ටත් සුවද යැයි අදහන යුරෝපයට දෙමළ ඩයස්පෝරාවේ මුදල් සහ පාවෙන ඡන්ද මේ තීරණය ගැනීමට අමතර උපකාරයක් වූ බව නොරහසකි. දකුණු ආසියාව තුළ ආධිපත්‍යය පැතිරීමේ අමන ආසාවෙන් මුසපත් වී ඇති ඉන්දියාවට තමිල්නාඩුව තුළ ඇති ඡන්ද පදනම මිසක, තමිල්නාඩු ජනතාවගේ සැබෑ අදහස මේ තීරණය බලපෑම් කළ බවක් නොපෙනේ.

කෙසේ හෝ LLRC වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සහ එහි සාර්ථකභාවය පිළිබද වාර්තා කිරීමෙදී මේ රජය ජාත්‍යන්තරය නොමග යැවූ අවස්ථා අතේ පත්තු වීම හරහා ඇමෙරිකාව මතුකරන කාරණා වලට නිසැකයෙන්ම පිළිගැනීමක් ඇති වී තිබීම පිළිබදව හොදම උදාහරණය නම් යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් වෙනිසියුලාව පවා කමිටු වාර්තාවේ යෝජනා හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයට දැනුම් දීමයි.

කෙසේ වෙතත් ඇමෙරිකාවේ මේ නින්දිත උත්සහය ගිය වර මෙන්ම මෙවරද නිකම්ම නිකම් ඡන්දයක් පමණක් විනා,මේ දුර්දාන්ත පාලනය හේතුවෙන් තැලී පොඩිවී සිටින අහිංසක ශ්‍රී ලාංකිකයාට වින කරන තවත් ප්‍රයත්නයක් නොවේවායි ශ්‍රී ලාංකිකයෙක් ලෙස හදවතින්ම පතමි.

ප.ලි. කොච්චර මේ මගුල් දේශපාලන මාතෘකාවලින් එළියට පනින්න හැදුවත් බැරි හැටි...ලබන සැරේ නම් දානව වෙන සීන් එකක්..ඕං කිව්වා...

Friday, March 1, 2013

පෑගෙන්න කලින් රස බලන්න....(නූතන අසූචියේ පූර්වකථනය)



මුලදිම කියන්නම්, මේක ඊක්කා කතාවක්. ඔක්කාරෙට එන අය, මනෝ රූප ඉක්මනින් මැවෙන අය මෙතනින්ම කැපෙන්න. නැවත හමුවෙමු. බා...යි....

මෙන්න බා..යි....එක පැන්න ඔහෙලට කියන දේ...මේ ඊක්කා කතාව මම ගොතපු එකක් නෙමේ. කොහොමත් මං කියල ඔහොම ඈක්කා කතා ලියන එකෙක් ඈ.. අනාදිමත් කාලයක ඉදල හෙළයේ ජනවහරේ එන කතාවක්. මම කිව්ව කියල වෙනසක් නෑ. ඒත් වෙනස තමා මේකේ අද තියන, සමහර විට අදටත් වඩා හෙට තියන වලංගුබව. කොටින්ම අහවල් එක කන්නේ දැන්.

මෙන්න වැඩේ...

අපේ ගමේ හිටියා පට්ට ෆිට් පොරවල් දෙකක්. ඕනම අඩව්වකට එකට සෙට් වෙන්නේ. හලාල් වෙන්නෙත් එකට. (හලාල් යන්නෙහි සිංහල තේරුම 'අනුමත' යන්න බව මෛත්‍රියෙන් සලකන්න). මුන් දෙන්නගේ ගෙවල් තිබ්බේ එක ළග. කොටින්ම ළග ගෙදර සිවාට දුවන්න දෙන කොටත් මුන් දෙන්නා හුරේ දැම්මේ එකට.

මුන්ගෙන් එකෙක් වෙන ගමක ඉදල කාලෙකට කලින් මේ ගමට ආපු එකෙක්, මූ කිව්වට මූම නෙමේ, මුගේ සීයා තමා මෙහෙ ඇවිත් අනිත් එකාගේ ආච්චිගේ නංගිට ලයින් දාල අල්ලගත්තේ. මුගේ සීයා වෙලෙන්දා, හරි සල්ලිකාරයලු. පට්ට තොප්පි පාරක් ගමට බැස්සුවෙත්, පික්ෂු හැදෙන රැවුල් කට් එකක් මාකට් කලෙත් පොරලු.

මූ...අරූ...කිව්වට නම් කිව්වේ නෑනේ...කමක් නෑ.. ඕනේ නෑ..දිගටම මූ...අරූ...කියලම ගමු.

අරූ හිතා ඉන්නේ ඌ පට්ට වැඩ්ඩ කියල. නිකං බොරු මොකෝ මාත් වැඩිය කැමති ඌ වැඩ්ඩ කියල පිළිගන්න. අරූ ගමේ එකා කියල පොර ටෝක් දුන්නට ඌ දන්නැති, සද බැබලෙන සීන් කෝන් එක තමා පොරගේ සීයත්, සීයාගේ සියා එක්ක කොක්කක් දාගෙන මේ බජාර් එකට බැස්ස එකෙක් බව.

හරි දොරේ..මෙන්න ඔරිම..ජිනල් සීන් එක, ෂේප් එකයි පාරයි දාල කියන්නේ දැන් තමා..තොරණේ විස්තරේට කලින් පිං විකුණන එක අපේ සිරිත නොවැ.

අල වගේද ගෝවා.

මූ යනව දවසක් අරූ එක්ක හලාල් වෙන්න. මොනවද සීල් නෙමේ දොරේ..ගමේ එව්වා. අරූ තමා කිව්වේ ගන්න අපේ දේ කියල, වෙලේ සුදාගේ කස්ටා පොට් එකට සප් එකක් දෙමු කියල. 

'අම්ම ගහයි බැට් එකෙන්..මෙන්න පාර මැද්දේ 'ගොම් බෙට්ටක්' (ඈක්කා.....හ්) මූ කිව්වා...

'පල ඩෝහ් යන්න මේ ගොම් බෙට්ටක් නෙමේ..මේ මඩ තලියක්' අරූ කිව්වා...

'පික්ෂු පීකුදු...කිව්වලු..උඹට මෝල්ද ඩෝහ්...මේ ගොම් බෙට්ටක්' මූ ආයෙත් කිව්වා.

'අනේ උඹේ දන්න ආච්චිගේ ක්ලොත් එක, මේ මඩ තලියක් ඩෝ...බොරුනම් බලමුද පොඩ්ඩක් දිවේ ගාලා' අරූ කිව්වා...

'හරී....ම්ම්....ම්ම්ම්ම්.....මේ නම් ගොම් බෙට්ටක්...මට පට්ට ෂුවර්, උඹත් කාල බලපං' මූ කිව්වා...

'ම්ම්ම්.....ම්ම්ම්ම්ම්..පල පල ...මේ මඩ තලියක්' අරූ තෙපර බෑවා...

මූ - 'අහ්...ආයෙත් ටිකක් කාල බලමු....ම්ම්ම්... මේ ගොම් බෙට්ටක් බොල'

අරූ තව ටිකක් කාල - 'නෑ...නෑ....මේ මඩ තලියක්'

මූ තව ටිකක් කාල - 'මට ෂුවර් මේ ගොම් බෙට්ටක්'

හුටා දැන් ගොම් බෙට්ටක්, හරි මඩ තලියක් හරි වේවා..මේ බෙට්ට ඉවර වෙන්න ළගයි. අන්තිම ටික තියෙන්නේ. මුන් දෙන්නගේ කටවල් වලින් එන අජූත ගද එක්ක ගත්තහම, සුදාගේ වෙල් ෆැන්ටා තව හොදා...

මොනව කොරන්නද, අවුල චකබ්ලාස් කරන්නත් ඕන නිසා අරූ අන්තිම ටිකත් හූරගෙන කෑවා...

මොනව්ද බලමු අරූ කියන්නේ දැන්...

'අඩ්ඩඩ්ඩා...දැන්නේ ඩෝ තේරුණේ මේ ගොම් බෙට්ටක්වත්, මඩ තලියක්වත් නෙමේ.....මේ බලු බෙට්ටක්' (ඊ...ක්කා....ද?)

හරි දැන් බලමු මූ කොහොමද වර්ඩින් දෙන්න කියල...

'මටත් මුල ඉදල ටිකක් සැකේ තිබ්බා ඩෝ...ඒත් කමක් නෑ හොද වෙලාවට උඹට තේරුණේ දැන්...තව ටිකෙන් අපි දෙන්නට පෑගෙනවා ඕක, දැන් අවුලක් නෑ' (ම්ම්මාහ්හ්හ් - කිස් එකකි)

හරි...චැප්ටර් ක්ලෝස්... දැන් පලයව් යන්න....

ඇ....මොකක්ද...කවුද මුං..කියල ඇහුවද?

ආ නම් කිව්වේ නෑනේ නේද...
මුගේ නම - මොහමඩ්
අරූගේ නම - ධර්මපාල

තාම තේරුණේ නැත්ද ...ඉතිං මට මොකෝ...


හැබැයි ටක්කෙටම කියන්නම් උඹලට තේරෙන දවස ගැන..

දවසක් 'පොරක්' ඔය බලු බෙටි අනුභවය කරලා බඩේ රුදාවට පුක විකාගෙන ඉන්න අරූ ගාවටයි මූ ගාවටයි ඇවිත්, කටිනුයි පුකෙනුයි ලේ යන්නම බඩ විරේකයක් දෙයි. දීලා කියයි ලෙඩේ කම්මුතුයි කියල. එදාට හුරේ දාපං..කියපං ඌ තමා අප බේරාගත් වීරයා කියල. ආයෙත් බලු බෙට්ටක් කනකං, දැවිල්ල යන්නත් එක්ක ඌට පුක පූජා කරපං.

ඌ නාවත් ඔය ගද පුක කොල්ලකන්න, ගගෙන් එහා ගමේ බැරැක්ක මාමා නෑවිදින් අරින එකක් නෑ.

එදාට ගහපල්ලා අත්පුඩි...තාලේ අමතකනම් මෙන්න.

''එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා''


ප.ලි. කමෙන්ට් කීපයක් කියවගෙන යද්දී හිතුනා පෝස්ට් එක බර වැඩිද කියල. ඒක නිසා කියන්න පුළුවන් අමුම අමුවෙන් නොවුනත් පෝස්ට් එකට හානියක් නොවෙන්න මෙහෙම කියන්නම්.

මොහමඩ්, ධර්මපාල, සිවා....මේ හැමෝම දන්නවා උං මේ කන්නේ ජරාව කියල. හැබයි උං හිතා ඉන්නේ මේක ගොම් බෙටි, මඩ වගේ 'අහිංසක ජරාවක්' කියල. මේ 'අහිංසක ජරාව' කෑවගෙන් පස්සේ එන ප්‍රථිපලේ පුංචි බඩේ රුදාවක් බව දන්න මුං, ඒකට භය වෙන්නේ නෑ. දිගටම කනවා. ඒත් ගමටම පෙන්නන්නේ හැම ජරාවක්ම ඈ..ක්කා...කියල. කොටින්ම පාගන්නවත් හිරිකිතයි කියල.

ඒත් මුං නොදැන හෝ දැනගෙන කන්නේ 'අහිංසක ජරාව' නෙමේ, බලු බෙට්ටක්. ගිය සැරේ බලු බෙට්ටක් කාලා ඇතිවුණ බඩේ රුදාව මාමා ඇවිත් ලේ බඩ යන්න නන්දිකඩාල් හොස්පිටල් එකේදී බෙහෙත් දීලා ගොඩ දැම්මා. ඒත් මේ සැරේ.....මාමටත් බැරි වෙයි ගොඩ දාන්න....කෝකටත පරිස්සමෙන්...

අනේ මන්ද මීට වඩා කොහොම කියන්නද කියල. අමුවෙන්ම කියන්න මට නම් අම්මප හිරිකිතයි...

Sunday, February 10, 2013

සාරභූමිය (දේශපාලනාර්ථයෙන් ඔබ්බට දේශමාමකත්වය)




ජීවිතය යනු බ්ලොග් අඩවියකට තරම් නොවෙන සංකීර්ණ මාතෘකාවකි. එහෙත් එම සංකීර්ණ ජීවිතයේ අප නොපතන, නොසිතන අත්දැකීම් වලට අප මුහුණ දෙන්නේ නොදන්නා මොහොතකය. ජීවිතයම වෙනස් නොවූවද අහඹු අත්දැකීම් නිසා අප ජීවිත තුළ සිදුවන සුළු යැයි අප සිතන වෙනස්කම්, තව දුරටත් ලඝු කළ නොහැකි අවස්ථා අපට කොතෙකුත් අත්දැකීමට සිදුවනු ඇත. එවැනි වෙනස්කමකට භාජනය වීමි. මහ පොළව මත ජීවත් වන බව කොතෙක් පාරම් බෑවද අප ජීවත් වන්නේ ඒ සරු පස මත නොවන බව, ඒ සරු සාහිත්‍ය තුළ නොවන බව අපට පසක් වන්නට පටන් ගෙන ඇත. මා ඇමෙරිකානු ජාතික ලේඛිකා පර්ල් එස්. බක්ගේ, The Good Earth නව කථාවට අසීමිත ලෙස  පෙම් බදිමි. ඒ වාංලූන් කෙරෙහි  උපන් ඊර්ෂ්‍යාව මැඩ පවත්වා ගනිමිනි. ඔහු ඊර්ෂ්‍යා හිතෙන තරම් භූමියට පෙම් බදියි. නමුත් ජීවිතය දෙස බලන කෝණය වෙනස්වන්නට ආසන්නතම හේතුව වූයේ එය නොවේ. එය කෙනෙකුට එළි වන්නත් තවත් කෙනෙකුට එළි නොවන්නත් පුළුවන. එබැවින් ඔබ අපේක්ෂා භංගත්වයට පත් කරන්නට මා බලාපොරොත්තු නොවෙමි. එය මා නොපවසමි.

දිගු නිහැඩියාවකින් පසු අකුරු කරන්නට තැත් කරන්නේ ඔබ මාගෙන කිසිසේත් බලාපොරොත්තු නොවූ මාතෘකාවකි. මේ කෙටි ලිපිය හා සබැදි ලිපි කිහිපයක් ඉදිරියේදී අතරින් පතර ඔබට මුණ ගැහෙනු ඇත. ඒ ලිපි සියල්ල ඔබ බොහෝ දෙනාට, දේශපාලනාර්තයෙන් ඔබ්බට ගිය උතුම් වූ මාතෘභූමිය පිළිබද හැගීමක් ජනිත කෙරේවා යනු මගේ ප්‍රාර්ථනයයි.

මෙය දිගු කාලින පර්යේෂණයක එක් ප්‍රථිපලයකි.




කොබ්බෑ කොසොඹ දැති...කටු පිල නික දෙමට දැති...
ඉන් දැති පසක් ගෙන...ගොවියෝද වැඩ කරති...
ගවයෝද වැඩ කරති...දෙවියෝ ද රැක වරති...
මිහිකත වරම් ගෙන ...සැම දෙවි සරණ ලැබගෙන...
කොළ මඩින මේ කමත...සරු බැතෙන් පුරවමින...
මෙදා වර අස්වැන්න...සරු වෙන්න වර දෙන්න...
බත හදන බැත හැලුණ...පිදුරු ඉවතට ලන්න...
පිට කමත් කර ලන්න...වරම අප හට දෙන්න...



මගේ ගමේ ගොයි මහත්තුරු තමන්ගේ මේ කන්නේ අස්වැන්න කොළ මැඩීම කොරන අතරතුරේ කරන ගොයිකමකි ඔය. යාදින්නාවක් ස්වරයෙන් කියන මේ හෑල්ල අවසන 'වරම අප හට දෙන්න' යැයි ප්‍රධාන ගොයි ඇත්තං කියන විට සෙස්සෝ 'ආචීස් හබේස්' හඩගා කියනා වගා මා දැන ගත්තේ වයස අනූවටත් කිට්ටුකොට සිටින ගමේ පැරණි ගොයි සීයා කෙනෙකුන්ගෙනි. ඒත් එහි තේරුම පහදන්නට සීයාටද බැරි විය.

කොළ මැඩීමේදී, වට කැඩීමට හිමි වන තැන සුවිශේෂීය. මේ වෙනුවෙන් ගමේ ඉන්නා වැඩිහිටි නමුත් හයි හක්තිය ඇති කාර්‍යශූර ගොවියන් කිහිප දෙනෙක් එකතු වීම මගේ ගමේ සම්ප්‍රදාය වී ඇත. දෙදෙනෙකු වට කඩන තෙක්, හලා බෑම අවසන් කළ උදවිය මැඩුවන් ගොඩකට පිටදී සීපදයක් කියමින් මහ මැඩුවම තෙක් කල් මැරීම මේ උද්යෝගය බිදකුදු අඩු කරන්නට හේතු නොවිණි. කවුරු විවේක ගත්තද අම්බරුවන් දැක්කීම නම් නොනවත්වා සිදු වේ.


බටපොතු පෙට්ටියක් හිසේ දරාගෙන එන ගොයි හාමිනේට හුළු අත්තෙන් මහ එළි කරන්න බොහෝවිට උදව් වන්නේ පවුලේම ගැටිස්සියෙකි. ඇඹුල රැගෙන එන ගොයි හාමිනේ කමත්වාසීන්ගේ නෙතට රස දසුනක් බව මා කිය යුතු නොවේ.


කළයක් ගෙන අසළ ලිදකින් ගගුල පුරාවාගෙන ඒම බොහෝ විට සිදු වන්න කොලු ගැටයෙක්ගේ අතිනි. කොටසක් කොටා බෑමට නිදහස් වුවද තව කොටහක් දිගටම මැඩුවම කරගෙන යන්නේ පුදුම හිතෙනසුළු ජවයකිනි. බැත ගොඩ ගැසීම නම් බොහෝ විට භාරගන්නේ ප්‍රධාන ගොවිතැන විසින්මය. කොටා බෑම අවසන් කළ කොටස හැන්දෑවට පැගිරි භෝග ඒදනවා නම් ඊට කාලවේලා නොගන්නේ තවමත් මැඩුවම කරන ගොයි උදවියට කොටා බෑමට ඉඩදිය යුතු නිසාය.


කමත් චාරිත්‍ර වල විශේෂත්වය වන්නේ ඒ සදහා ස්ත්‍රී පාර්ෂවයේ සහභාගීත්වය ඇඹුල සැකසීමට පමණක් බොහෝ විට සීමා වීම නිසාය. කොටින්ම බෝලත්ත ගෙන බෝල තිබීමේ සිට, යතුර ගෙන යතුරු බෑම වැනි කාරියක්ද, පාවර කෑ බැත ඉවත් කිරීම වැනි වෙහෙසකර නොවන වැඩක් පවා කෙරෙන්නේ පුරුෂ පාර්ශවයේ මහන්සියෙනි.


දැන් කාලයේ මෙන් බිම් සකස් කිරීමේ සිට වී ටික ගෙට ගන්නා තෙක් සියළු ගොවිතැන් කටයුතු යන්ත්‍ර සූත්‍රවලට පවරා නොතිබූ පුරාතන යුගයේ වී ගොවිතැන කෙරී ඇත්තේ චිරාගත සම්ප්‍රදායානුකූලව, පාරම්පරික සිරිත් වීරිත් අනුගමනය කරමින්, ගරු සරු පෙරදැරි භක්තියකිනි.

විශේෂයෙන් කොළ මැඩීමේදී (ගොයම් පෑගීමේදී) වඩාත් සුවිශේෂී වත් පිළිවෙත් චාරිත්‍ර විධි අනුගමනය කර ඇත. කමතේදී කතා කර ඇත්තේද වෙනම භාෂාවකි. උපයෝගී කරගන්නා බඩු බාහිරාදියද හදුන්වා ඇත්තේ ඒවාට ගැමි වහරේ භාවිතාවන සාමාන්‍ය නමින් නොව වෙනත් නම් වලිනි. එකල මෙන්ම මෙකලද බහුලව භාවිතාවන 'යකෝ' යන වදනත් 'හූ' කීමත් කමතේදී සපුරා තහනම් වූ බව දැන ගන්නට ලැබිණි.

මේ ලිපිය පුරා භාවිතා කරන ලද කමත් භාෂාවේ එන වචන බොහොමයක් බ්ලොග් ලියන, කියවන බොහොමයක් නොදන්නා බව දනිමි. එය අතිශයින් සාධාරණ වන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය තුල එවැන්නක් දැන ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථා අවම වීමයි. වුවමනාවෙන්ම හොයා බැලීමට ප්‍රථම මේ වචන මා දන්නා භාෂාව අසලකවත් නොතිබිණි. එහෙයින් ඉහත සදහන් නුපුරුදු වචන වල තේරුම සොයා මෙහි කමෙන්ටුවක් ලෙස පල කිරීමට ආරධනා කරමි. කෙසේ වෙත්ත දින දෙකකට පසු ඒවායේ තේරුම් ඔබ වෙත පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි.

දිවයිනේ වෙනත් පලාත්වල වෙනත් වචන, වෙනස් සිරිත් විරිත් පවතින්නට, පැවතී තිබෙන්නට හැක. එසේම මා නොදන්නා බොහොමයක් කමත් වචන ඔබ සමහරක් දන්නා බවද විශ්වාසය. එම නිසා ඔබේ වටිනා අදහස් හරහා එම දැනුම සයිබර් පාඨකයන් සමග බෙදා ගන්නා ලෙස ඇරයුම් කර සිටිමි.


ආයු බොහෝ වේවා!



Wednesday, January 16, 2013

ඉහි ඉහි...මම විතලක් නෙමේ හොලකං කොලේ, නංගිත් හොලකං කොලා (විශේෂ ස්තුතිය නලීන් අයියාට)



හිතවත් බ්ලොග්කරුවකු වන නලීන් දිල්රුක්ෂ සහෝදරයා විසින් මාතලන් ගේ බ්ලොග් අඩවියේදී පළ කරන ලද අදහසක් දුටු විට මා හට මගේ කුඩා අවදියේ සිදුවීමක් මතක් වුණි. එය එම බ්ලොග් අඩවියේ අදහසක් ලෙස ඉදිරිපත් කිරීමට සිත් වුවද, අවසානයේ නතර වුයේ මෙහි ලිපියක් ලෙසිනි.

ප.ලි. කිහිප දෙනෙක් මෙය තේරුම් ගැනීමේදී දුෂ්කාරතාවට පත් වූ බව හැගී ගිය නිසා, තේරුම් ගැනීමේ පහසුව සදහා මෙම පෝස්ටුව කියවීමට ප්‍රථම මාතලන්ගේ පෝස්ටුව සහ කමෙන්ට් තීරුව කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.


......................................................................................................

මම පොඩි කාලේ, අපේ නංගී තාත්තගෙ පර්ස් එකෙන් නංගිගේ කැටේට දාන්න සත පනහක් උස්සන්න සපෝට් ඉල්ලනවා, මම බොක්කෙන් සප් එක දෙනවා. මොකෝ මම අම්මගෙනුයි තාත්තගෙනුයි සල්ලි මාටියා ගහන කොට මට සප් එක දෙන්නේ නංගි බබානේ. දවසක් මම දැක්ක තාත්තගේ පර්ස් එකේ කොළ පාට සල්ලි කොලයක් තියනවා, ලස්සන මොණරෙකුත් කොලේ ඇදල තිබ්බා. මම ඒක ඉස්සුවා. 

නංගි කිව්ව 'අනේ අයියේ ඕක ගන්න එපා, ඔය ලොකු සල්ලි කොලයක්' 

මම එයාව සත පහකට මායිම් කලේ නෑ. මම ඉස්සුවා, දිගටම ඒ වගේ කොළ ඉස්සුවා.

'ආයෙ එහෙම ඔහොම හොරකම් කලොත් මම අම්මට කියනවා' නංගි මට තර්ජනය කලා.

දෙන්නම් වැඩක් කියල මම වැඩේට බැස්සා. දිගටම මොණර කොළ ඉස්සුවා. ඒ එක්කම නංගි සත පනහ උස්සපු එක තාත්තට කිව්වා. ඒත් නංගි මම මොණර කොල උස්සපු එක තාත්තටවත් අම්මටවත් කිව්වේ නෑ. දැන් මට තවත් බයයි.

මම මෙච්චර දෙයක් කරලත් ඇයි එයා මාව අහු කරල දුන්නේ නැත්තේ කියල. නයාට බයට අපි නයාට ගහනවා වගේ මමත් නියම වැඩක් කලා, බය වැඩි කමට.

'මේ හොර නංගිව ගෙදරින් එළවමු' මම අම්මටයි තාත්තටයි කිව්වා. ඒත් මගේ හොරකම් ගැන තාත්තා දැනගෙන හිටිය බව, මම දැන ගත්තේ මේ වෙලාවෙදි.

'මේ උඹ මගෙන් මුකුත් අහගන්න එපා, උඹේ හොරකම් මම නොදන්නවා නෙමේ, එදා ගෙදරට හොරු පැන්න වෙලේ උඹ බය නැතිව පොලිසියට කියල අපිව බේරගත්ත නිසා මම ඉවසනවා, නැතිනම් දනී මං කරන වැඩේ' තාත්තා ගෝරනාඩු කලා.

තාත්තගේ සද්දේ නිසා මගේ සායම දිය වෙලා ගියා, අහල පහල හැමෝම මගේ කාඩ් එක දැන ගත්තා. අර එහා ගමේ ඉන්න 'එලිසබෙත් ආච්චි' විතරක් නෙමේ, ගගෙන් එහා පැත්තේ ගමක ඉන්න, 'ස්ටීවන්' බාප්පත් මේ ගැන ආරංචි වෙලා මට දෝෂාරෝපනය කලා.

මේක දැන ගත්ත අම්ම කිව්වේ මෙහෙම 'තෝ දැන ගනිං පුතේ, උඹල ඔය හොරකම් කරන්නේ, තාත්තයි අම්මයි බඩේ ගින්දරේ නොකා නොබී, දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි, ඔය අමාරු සල්ලි බයිසිකල් රේස් පදින්නයි තොගේ යාළු හැත්ත බුරුත්ත එක්ක ජෝගි නටන්නයි ගත්තට තොට හෙන වදියි' කියල.

ලැජ්ජාවෙන් බේරෙන්න මම නියම වැඩක් කලා, මම ගම පුරා ගැහුවා 'මඩ පත්තරයක්'. මට මේකට සප් එක දුන්නේ 'වැව ගාව ගෙදර' ඉන්න නදීයා.

මඩ පෝස්ටරේ මෙහෙම තිබ්බා....

'ඉහි ඉහි...මම විතලක් නෙමේ හොලකං කොලේ, නංගිත් හොලකං කොලා, මට විතලක් බයින එක නාකයි, නංගිටත් බනින්න'.

ඉස්ස ඉස්සෙල්ලම මේක ගැහුවේ හොරකම ආරන්චි වෙලා මට කොචොක් දාන 'මාතලගේ' ගේ ඉස්සරහ.

මොනව වුනත් මම පව්. නොදන්න කමටනේ හොරකං කලේ. නංගි වගේ ඈ..

තාම මම ගෙදර ඉන්නේ, නංගිව නම් පන්නලා දැම්මා..අපේ තාත්තයි, අම්මයි සංවේදි වැඩිද, නැත්නම් මෝඩද කියන්න මම දන්නේ නෑ. තාමත් මම එයාලගේ පොඩි පුතා.

මට හෙන වදියිද මගේ රත්තරං අයියේ..



මෙය හුදෙක් කථාවක් පමණක් බවත් මෙහිදී  නලීන් දිල්රුක්ෂ නම් සහෝදර බ්ලොග්කරුවාට පෞද්ගලික විරෝධතාවක් නොදක්වන බවත් මතක් කර සිටිමි. එසේම මෙහිදී ඇනෝ දැමීම සම්බන්ධව විරෝධතාවක් නොමැති මුත් සිදු වන පෞද්ගලික මඩ ප්‍රහාර මා හට ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් දන්වා සිටිමි.

Thursday, January 10, 2013

සැබෑ අවශ්‍යතාවන් සදහාවන අරගල පරදින්නේ මන්ද? (නීති විද්‍යාල ප්‍රවේශ විභාග ප්‍රශ්ණයේ යතාර්ථය)





 රගල  - අපේ රටේ පමණක් නොව ලොව පුරා මේ දිනවල කථා වන මාතෘකාවකි. ලෝක දේශපාලනය මෙන්ම අර්ථ ක්‍රමය තුළද සිදුවන බොහෝ සාධාරණ අරගල සාධණීය අවසානයකට ලගා විය. එසේම රටේ සමස්ථ සමාජයට බොහෝ වෙනස්කම් සිදු කරවීය.

පුදුමයකට මෙන් ශ්‍රී ලංකාව තුළ සිදුවන බොහෝ අරගල, සාධාරණ හෝ අසාධාරණ කුමක් වුවත් අවසන් වන්නේ අරගලයට හේතු වූ ප්‍රස්තුථය තිබුනාටත් වඩා පහළ අඩියකට ඇද දමමින්ය.

මෙය අදෘශ්‍යමාන බලවේගයක් නිසා සිදු වන්නක්ද? රට රකින සිව් වරම් දේව බලය නිසා ඇති වූවක්ද? එසේත් නැතිනම් නාථ දේව බල මහිමය නිස සිදුවන්නක්ද? මහරජගේ මහ බල පරාක්‍රමය නිසා හෝ රාජකීය වාසනා මහිමය නිසා සිදුවන්නක්ද?

තවත් පැතිකඩකින් විදෙස් කුමන්ත්‍රණ හෝ දෙමළ ඩයස්පෝරාවේ බලපෑම මත සිදුවන අරගල බැවින් සියළු අරගල වෙත පොදු මහජනයා වෛර කරන නිසා සිදුවන්නක්ද?

මෙම සිතුවිල්ල කරා යොමු වීමට ආසන්නතම හේතුව වූයේ 2012 ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ සිදු වූවායැයි සැක කරන (මමද තදින්ම සැක කරමි) වංචාව අරඹයා සිදුවන සිදුවීම් මාලාවයි.

මෙහිදී මතක් කළ යුතුම කාරණය නම්, දෙමළ මාධ්‍යය සමත් ප්‍රතිශතය අසාමාන්‍යය ලෙස 2011 සහ 2012 වසර වල වැඩිවීම සාධාරණ සැකයකට බදුන් වීමයි. මේ වනවිට වැල්ලවත්ත, දෙමළ මාධ්‍යයෙන් නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සදහා ඉගැන්වූ උපකාරක පන්තියක සිසුන් හට ප්‍රශ්ණ පත්‍රය කලින් ලැබුණු බව සමහර මාධ්‍යයවල පළවී ඇත. එහි ඇත්ත නැත්ත නොදනිමි. කෙසේ වුවත් මෙතෙක් කල් ප්‍රථිපල ලේඛණයේ සදහන්ව තිබූ 'නම, විභාගයට පෙනී සිටි මාධ්‍යය සහ ලකුණු' වෙනුවට මෙවර 'නම, ස්ත්‍රි/පුරුෂ භාවය සහ ලකුණු' දක්වා තිබීමට සමගාමීවම දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි ඉතා ඉහළ ප්‍රතිශතයක් සමත් වී තිබීම අතිශය සැක උපදවන තත්වයක් නිර්මාණයකර තිබේ. (ප්‍රථිපල ලේඛණය මෙතනින් බාගත කළ හැක)



මේ තත්වය මාධ්‍යවල පළවීමත් සමග මෙයට එරෙහිවන පිරිසට 'ජාතිවාදී' සහ 'අන්තවාදී' ලේබලය ඇලවීමට තවත් පිරිසක් නින්දිත උත්සහයක් ගත් අතර, ඊටම සරිලන ලෙස මෙම සත්‍යය වංචනික ක්‍රියාව තම පැවැත්ම තහවුරු කිරීමේ උපකාරකයක් ලෙස භාවිතා කිරීමට තවත් පිරිසක් මෙයට 'ජාතිවාදී' සහ 'අන්තවාදී' මුහුණුවරක් දෙන්නට ඉදිරිපත් විය.

ගැටළුව ආරම්භ වන්නේ මෙතැනදීය. මෙය සත්‍යය වශයෙන්ම අරගලයක් කොට හෝ පාලකයන්ගේ අවධානය දිනා ගත් යුතු අවස්ථාවකි. මේ අසාධාරණයට ලක් වූවෝ හුදු සිංහලයින් පමණක් නොව, සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යවලින් විභාගයට පෙනී සිටි මුස්ලිම් මෙන්ම දමිළ සිසුන් රාශියක්ද මෙහිදී අසාධාරණයට ලක් විය. හොදම උදාහරණය නම් අසාධාරණයට ලක් වූ සිසුන් එක් වී පිහිටුවා ගත් 'නීති ප්‍රවේශ ශිෂ්‍යය එකමුතුව ' නම් සංවිධානයේ සභාපති වරයාද මුස්ලිම් ජාතික 'රම්සි බාවා' නමැති අයෙකු වීමයි.

නමුත් වැරැද්ද සිදුවන්නේ මේ පණිවිඩය වෙනුවට මෙය බෞද්ධ අන්තවාදී ගැටුමක් යන මතයක් මාධ්‍යයතුළින් මෙන්ම විශේෂයෙන් අතිශය මානුෂවාදී යයි කියාගත් පිරිසක් බුකියතුළින්ද ප්‍රචාරය කිරීම තුළින්, බහුතර මහජනයා මෙන්ම පාලකයන්ද තුළද මේ සටන තුට්ටු දෙකේ අන්තවාදී ගැටුමක් යන ප්‍රතිරූපය ඇති වීමයි.

මෙම අතිශය සාධාරණ අරගලයේ අවසානය අන් සියළු අරගල වල අවසානය මෙන්ම පරාජිත අරගලයක් වීමේ ප්‍රධානතම ලක්ෂණය නම් එයට අන්තවාදී මුහුණුවර ලැබී, මහජන පිළිකුලට භාජනය වීමයි. මෙයට මෙහි සංවිධායකයන් මෙන්ම ඕනෑ දේ දහසකුත් පැත්තක තිබියදී අනවශ්‍යය දේට අත පොවන 'බොදු බල සේනා' සංවිධානයද වගකිව යුතුය. මම පෞද්ගලිකව බොදු බල සේනා තම දායකත්වය සැපයූ සමහර අවස්ථා අනුමත කරමි. (උදා. වදුරඹ සිරිවර්ධන පැන්නිම, රුවන්වැල්ලේ සෝභිත පැන්නීම, ශ්‍රමණවේශදාරී හොරු ඇල්ලීම, බෞද්ධ පුරා විද්‍යාස්ථාන රැක ගැනීමට කටයුතු කිරීම) නමුත් මෙය නම් 'අනවශ්‍යම අවස්ථාවකි'. 

මෙම අනවශ්‍ය අත පෙවීමේ උච්චතම අවස්ථාව උදාවූයේ පසුගියදා නීති විද්‍යාලයේදී ඇති වූ ගැටුමත් සමගයි. අතපය පමණක් නොව කුඩ, කඩු ලෙස හසුරවමින් භික්ෂූන් වහන්සේලා (ශ්‍රමණ ප්‍රතිරූපකයන් යන්න වඩාත් ගැලපේ යැයි සිතන්නේ මම දන්නා බුදු දහම, අවිහිංසාවාදයේ උත්තරීතර සංඛේතයක් නිසාය) ක්‍රියා කිරීම පිළිකුල් සහගත් ක්‍රියාවකි. එයින් නොනැවතී මෑතකදී නීති අධ්‍යාපනය නිම කළ නීතිවේදියෙක් හා ඇති වූ ගැටුම සාධාරණීකරනය කිරීමටද, 'මුස්ලිම් නීතිවේදියා භික්ෂූන්වහන්සේට පහරදෙයි' යන සිරස්තල යටතේ 'බොදු බල සේනා' හි නිල ෆේස්බුක් අඩවිය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන්, එයටද ආගම්වාදී ස්වරූපයක් එක් කිරීමට තැත් කිරීම ව්‍යර්ත වූයේ එම නීතිවේදියා, මුස්ලිම් ජාතිකයකු නොව, පිරිසිදු සිංහල බෞද්ධයකු (අමිල ඉන්දික නම් ඔහුගේ ෆේස්බුක් ගිණුම මෙතනින් බලන්න) බවට ඔප්පු වීමෙනි.


නමුත් මෙයට වත්මන් අධිකරණ ඇමති 'රාවුෆ් හකීම්' ගේ නම සම්බන්ධ වීම වලක්වා ගත් නොහැක්කේ ඔහුගේ අතීත ක්‍රියා කලාපය හොද නැති වීම නිසාය. මොහුගේ ක්‍රියා කලාපය ගැන දන්නා කවරෙකුට වුවද මෙවැනි සැකයක් පහළ වීම අතිශයින් සාධාරණය. එහෙත් එය හුදෙක් 'රාවුෆ් හකීම්' නැමති දේශපාලකයා සැක කිරීමකට පමණක් ලඝු විය යුතු සහ ඔහු මෙයට අත පෙවීමක් සිදුකර ඇත්නම්, එම නින්දිත ක්‍රියාකලාපයට එරෙහිව අතවශ්‍යයෙන් සටන් වැදිය යුතුය. නමුත් මෙය ඔහුට එරෙහිව සටනක් මිස කිසියම් ජාතිවාදී/ආගම්වාදී ගැටුමක් ලෙස නොගත යුතුය. මෙය කොහෙත්ම ආගම්වාදී ගැටළුවක් බවට පත් කර අන් සියළු අරගල වලට අත් වූ ඉරණම මේ අරගලයට අත් වීමට ඉඩ නොදිය යුතුය.



මෙයට සර්වසමාන නොවූවද විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන් සැබැ අවශ්‍යතාවයක් වන 'අධ්‍යාපනය වෙනුවෙන්  6%'  වෙනුවෙන් ගෙනගිය අරගලයද අනවශ්‍යය පුද්ගලයන්ගේ, එනම් මේ අරගලය මුවාවෙන් තම බඩ වඩා ගැනීමේ, පටු දේශපාලන අරමුණු මුදුන් පමුණවා ගැනීමේ මෙන්ම පෞද්ගලික තරහ මරහ පිරිමසා ගැනීමේ පරමාර්ථයෙන් සහය දැක්වීමට ඉදිරිපත් වූවන්ගේ 'අනවශ්‍යය' අතපෙවීම මධ්‍යයේ සිදු වූයේ මෙවර අධ්‍යාපනය වෙනුවෙන් රජය වෙන්කළ ප්‍රතිශතය ගිය වසරටත් වඩා අඩු වීමයි.

එසේ හෙයින් නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගැටළුව වැනි සැබෑ අවශ්‍යතා සදහාවන අරගල පරාජය වීම රට රකින දේව බලයක් නිසා සිදු වන්නක්, රාජකීය වාසනාව නිසා සිදුවන්නක් හෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණ නිසා සිදුවන්නක් බවට අප වරදවා වටහා ගතයුතු නොවේ. ඒවා පරාජය වීමේ වගකීම එම අරගලවල ස්වරූපය, අරමුණු, ආමන්ත්‍රණය මෙන්ම සහභාගීත්වය තීරණය කරන සංවිධායකයන් දැරිය යුතුය.