Sunday, February 10, 2013

සාරභූමිය (දේශපාලනාර්ථයෙන් ඔබ්බට දේශමාමකත්වය)




ජීවිතය යනු බ්ලොග් අඩවියකට තරම් නොවෙන සංකීර්ණ මාතෘකාවකි. එහෙත් එම සංකීර්ණ ජීවිතයේ අප නොපතන, නොසිතන අත්දැකීම් වලට අප මුහුණ දෙන්නේ නොදන්නා මොහොතකය. ජීවිතයම වෙනස් නොවූවද අහඹු අත්දැකීම් නිසා අප ජීවිත තුළ සිදුවන සුළු යැයි අප සිතන වෙනස්කම්, තව දුරටත් ලඝු කළ නොහැකි අවස්ථා අපට කොතෙකුත් අත්දැකීමට සිදුවනු ඇත. එවැනි වෙනස්කමකට භාජනය වීමි. මහ පොළව මත ජීවත් වන බව කොතෙක් පාරම් බෑවද අප ජීවත් වන්නේ ඒ සරු පස මත නොවන බව, ඒ සරු සාහිත්‍ය තුළ නොවන බව අපට පසක් වන්නට පටන් ගෙන ඇත. මා ඇමෙරිකානු ජාතික ලේඛිකා පර්ල් එස්. බක්ගේ, The Good Earth නව කථාවට අසීමිත ලෙස  පෙම් බදිමි. ඒ වාංලූන් කෙරෙහි  උපන් ඊර්ෂ්‍යාව මැඩ පවත්වා ගනිමිනි. ඔහු ඊර්ෂ්‍යා හිතෙන තරම් භූමියට පෙම් බදියි. නමුත් ජීවිතය දෙස බලන කෝණය වෙනස්වන්නට ආසන්නතම හේතුව වූයේ එය නොවේ. එය කෙනෙකුට එළි වන්නත් තවත් කෙනෙකුට එළි නොවන්නත් පුළුවන. එබැවින් ඔබ අපේක්ෂා භංගත්වයට පත් කරන්නට මා බලාපොරොත්තු නොවෙමි. එය මා නොපවසමි.

දිගු නිහැඩියාවකින් පසු අකුරු කරන්නට තැත් කරන්නේ ඔබ මාගෙන කිසිසේත් බලාපොරොත්තු නොවූ මාතෘකාවකි. මේ කෙටි ලිපිය හා සබැදි ලිපි කිහිපයක් ඉදිරියේදී අතරින් පතර ඔබට මුණ ගැහෙනු ඇත. ඒ ලිපි සියල්ල ඔබ බොහෝ දෙනාට, දේශපාලනාර්තයෙන් ඔබ්බට ගිය උතුම් වූ මාතෘභූමිය පිළිබද හැගීමක් ජනිත කෙරේවා යනු මගේ ප්‍රාර්ථනයයි.

මෙය දිගු කාලින පර්යේෂණයක එක් ප්‍රථිපලයකි.




කොබ්බෑ කොසොඹ දැති...කටු පිල නික දෙමට දැති...
ඉන් දැති පසක් ගෙන...ගොවියෝද වැඩ කරති...
ගවයෝද වැඩ කරති...දෙවියෝ ද රැක වරති...
මිහිකත වරම් ගෙන ...සැම දෙවි සරණ ලැබගෙන...
කොළ මඩින මේ කමත...සරු බැතෙන් පුරවමින...
මෙදා වර අස්වැන්න...සරු වෙන්න වර දෙන්න...
බත හදන බැත හැලුණ...පිදුරු ඉවතට ලන්න...
පිට කමත් කර ලන්න...වරම අප හට දෙන්න...



මගේ ගමේ ගොයි මහත්තුරු තමන්ගේ මේ කන්නේ අස්වැන්න කොළ මැඩීම කොරන අතරතුරේ කරන ගොයිකමකි ඔය. යාදින්නාවක් ස්වරයෙන් කියන මේ හෑල්ල අවසන 'වරම අප හට දෙන්න' යැයි ප්‍රධාන ගොයි ඇත්තං කියන විට සෙස්සෝ 'ආචීස් හබේස්' හඩගා කියනා වගා මා දැන ගත්තේ වයස අනූවටත් කිට්ටුකොට සිටින ගමේ පැරණි ගොයි සීයා කෙනෙකුන්ගෙනි. ඒත් එහි තේරුම පහදන්නට සීයාටද බැරි විය.

කොළ මැඩීමේදී, වට කැඩීමට හිමි වන තැන සුවිශේෂීය. මේ වෙනුවෙන් ගමේ ඉන්නා වැඩිහිටි නමුත් හයි හක්තිය ඇති කාර්‍යශූර ගොවියන් කිහිප දෙනෙක් එකතු වීම මගේ ගමේ සම්ප්‍රදාය වී ඇත. දෙදෙනෙකු වට කඩන තෙක්, හලා බෑම අවසන් කළ උදවිය මැඩුවන් ගොඩකට පිටදී සීපදයක් කියමින් මහ මැඩුවම තෙක් කල් මැරීම මේ උද්යෝගය බිදකුදු අඩු කරන්නට හේතු නොවිණි. කවුරු විවේක ගත්තද අම්බරුවන් දැක්කීම නම් නොනවත්වා සිදු වේ.


බටපොතු පෙට්ටියක් හිසේ දරාගෙන එන ගොයි හාමිනේට හුළු අත්තෙන් මහ එළි කරන්න බොහෝවිට උදව් වන්නේ පවුලේම ගැටිස්සියෙකි. ඇඹුල රැගෙන එන ගොයි හාමිනේ කමත්වාසීන්ගේ නෙතට රස දසුනක් බව මා කිය යුතු නොවේ.


කළයක් ගෙන අසළ ලිදකින් ගගුල පුරාවාගෙන ඒම බොහෝ විට සිදු වන්න කොලු ගැටයෙක්ගේ අතිනි. කොටසක් කොටා බෑමට නිදහස් වුවද තව කොටහක් දිගටම මැඩුවම කරගෙන යන්නේ පුදුම හිතෙනසුළු ජවයකිනි. බැත ගොඩ ගැසීම නම් බොහෝ විට භාරගන්නේ ප්‍රධාන ගොවිතැන විසින්මය. කොටා බෑම අවසන් කළ කොටස හැන්දෑවට පැගිරි භෝග ඒදනවා නම් ඊට කාලවේලා නොගන්නේ තවමත් මැඩුවම කරන ගොයි උදවියට කොටා බෑමට ඉඩදිය යුතු නිසාය.


කමත් චාරිත්‍ර වල විශේෂත්වය වන්නේ ඒ සදහා ස්ත්‍රී පාර්ෂවයේ සහභාගීත්වය ඇඹුල සැකසීමට පමණක් බොහෝ විට සීමා වීම නිසාය. කොටින්ම බෝලත්ත ගෙන බෝල තිබීමේ සිට, යතුර ගෙන යතුරු බෑම වැනි කාරියක්ද, පාවර කෑ බැත ඉවත් කිරීම වැනි වෙහෙසකර නොවන වැඩක් පවා කෙරෙන්නේ පුරුෂ පාර්ශවයේ මහන්සියෙනි.


දැන් කාලයේ මෙන් බිම් සකස් කිරීමේ සිට වී ටික ගෙට ගන්නා තෙක් සියළු ගොවිතැන් කටයුතු යන්ත්‍ර සූත්‍රවලට පවරා නොතිබූ පුරාතන යුගයේ වී ගොවිතැන කෙරී ඇත්තේ චිරාගත සම්ප්‍රදායානුකූලව, පාරම්පරික සිරිත් වීරිත් අනුගමනය කරමින්, ගරු සරු පෙරදැරි භක්තියකිනි.

විශේෂයෙන් කොළ මැඩීමේදී (ගොයම් පෑගීමේදී) වඩාත් සුවිශේෂී වත් පිළිවෙත් චාරිත්‍ර විධි අනුගමනය කර ඇත. කමතේදී කතා කර ඇත්තේද වෙනම භාෂාවකි. උපයෝගී කරගන්නා බඩු බාහිරාදියද හදුන්වා ඇත්තේ ඒවාට ගැමි වහරේ භාවිතාවන සාමාන්‍ය නමින් නොව වෙනත් නම් වලිනි. එකල මෙන්ම මෙකලද බහුලව භාවිතාවන 'යකෝ' යන වදනත් 'හූ' කීමත් කමතේදී සපුරා තහනම් වූ බව දැන ගන්නට ලැබිණි.

මේ ලිපිය පුරා භාවිතා කරන ලද කමත් භාෂාවේ එන වචන බොහොමයක් බ්ලොග් ලියන, කියවන බොහොමයක් නොදන්නා බව දනිමි. එය අතිශයින් සාධාරණ වන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය තුල එවැන්නක් දැන ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථා අවම වීමයි. වුවමනාවෙන්ම හොයා බැලීමට ප්‍රථම මේ වචන මා දන්නා භාෂාව අසලකවත් නොතිබිණි. එහෙයින් ඉහත සදහන් නුපුරුදු වචන වල තේරුම සොයා මෙහි කමෙන්ටුවක් ලෙස පල කිරීමට ආරධනා කරමි. කෙසේ වෙත්ත දින දෙකකට පසු ඒවායේ තේරුම් ඔබ වෙත පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි.

දිවයිනේ වෙනත් පලාත්වල වෙනත් වචන, වෙනස් සිරිත් විරිත් පවතින්නට, පැවතී තිබෙන්නට හැක. එසේම මා නොදන්නා බොහොමයක් කමත් වචන ඔබ සමහරක් දන්නා බවද විශ්වාසය. එම නිසා ඔබේ වටිනා අදහස් හරහා එම දැනුම සයිබර් පාඨකයන් සමග බෙදා ගන්නා ලෙස ඇරයුම් කර සිටිමි.


ආයු බොහෝ වේවා!



26 comments:

  1. මේකේ තව කොටසක් තියෙයි කියලා හිතනවා..
    මේක මරු!!!!!!

    ReplyDelete
  2. බොහොම වටින ලිපියක් මලේ.... අපේ පුංචි කාලේ මතක් වුණා.. මේ කමත් භාෂාව ගැන කළ පර්යේෂනාත්මක පොතක් තියනවා පියසේන කහඳගම මහතා ලියු.. එහි මේ හැම වදනකම තේරුම තියනවා

    ReplyDelete
    Replies
    1. ඔබ හරි නලීන්..... පියසේන කහඳගමගේ කියන්නේ ඇගයීමට ලක් නොවූ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක්... ඔහුගේ පොත් මා ඉතා ආසාවෙන් කියවපු පොත්. මා දන්නා පරිදි ඔහුගේ පුතුත් ලේඛනයේ යෙදෙනවා....

      Delete
    2. මේ පොතම වෙන්න පුළුවන් මමත් කමත් භාෂාව ගැන සඳහන් පොතක් කියවලා තියෙනවා. නමුත් ලැජ්ජයි මේ වැඩිහිටියෝ දෙන්නට මතක තිබුනත් මට පොතේ විස්තරයක් මතක නැහැනේ :(

      Delete
    3. ඇත්ත මාතලං ඒ පුතා මහවැලි අධ්‍යාපන විද්‍යා පීඨයේ උගනුම කරන දිනක මාහා කතා බහ කොටත් තිබෙනවා. ඔහු ලේඛණ කටයුතුවලත් යෙදෙනවා.

      Delete
  3. හරිම අපූරු ලිපියක්! 5වසරේ විභාගේට බැලුවට පස්සේ අදමද මන්දා මේ ගැන කියෙව්වේ...

    ReplyDelete
  4. මාත් පොඩි කාලේ ඔය වැඩේට සහභාගී වෙලා තිබ්බට දැන් නං මතක නෑ ගොඩක් වචන.. ඒත් ගොඩක් වචන කනට නම් හුරුපුරුදුයි වගේ..

    අපේ පැත්තේ නම් මට මතකයි ගෑණු අයත් හරි හරියට වැඩ කළා කමතේ.. සමහර විට ඒ කට්ටිය අඩු හින්දද දන් නෑ.. කො‌ෙහාමත් ගොයම් කැපීමට තමයි ගෑණු අය වැඩිපුර සහභාගී වෙන්නේ.. ඊට පස්සේ ඉතිං කට්ටිය එකතු වෙන්නේ ඔපදූප හල හල ඇඹුල උයන්න තමයි.. හි හි.... මට ඔය වැඩේ අල්ලන්නේ නැති නිසා මං ඇඹුල සප්පායම් වෙන්න තමයි ඔය හරියේ කරකෙන්‌නේ.. හි හි...

    ReplyDelete
  5. මේ සතිය තුල මගේ හදවතටත් මනසටත් ලිපි තුනක් දැනෙන්නට විය.ඒවා නම් මදාරා,තරියා,දේශකයා විසින් ලියන ලද වැදගත් අර්ථවත් ලිපි වේ. ඒ ගොන්නට ඔබේ ලිපියද ඉහළින්ම ඇති බව මම කියමි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  6. මචන් කාලෙන්කින් මෙහෙම පෝස්ට් එකක් දැක්කේ.මන් අවුරුදු ගානකින් අපේ මතුගම වත්තට ගියා
    ( අවුරුදු 16 විතර ) මන් පුංචි කාලේ යද්දී තිබුන මතක එක්ක තමයි එහෙම ගියේ.ඒ උනාට ආතල් කඩා
    ගන්න උන එක විතරයි උනේ..දැන් හැම දේම වෙනස් ..

    නිකන් ගෑනු මිනිස්සු ඉන්නවා , වැඩ කරනවා කනවා බොනවා එච්චරයි .ඔය කියන ඇඹුල් සීන් නැහැ
    මහත්තයෝ දැන් එහෙ ..ඒ උනාට අපි තාම ආසයි ඔය තිබ්බ ලස්සන පරිසරයට .ඒ උනාට ඒක විනාස
    වෙලා ඉවරයි පේට්‍රි ..මිනිස්සු කුහක වෙලා..ඉස්සර වගේ ගමටම මාළු පිණි තියා එක අල කෑල්ලක් අනික්
    කෙනා එක්ක බෙදා ගන්න මනාප නැහැ ..

    මන් පුංචි කාලේ දැකපු දේවල් නම් කිසිම දෙයක් දැක්කේ නැහැ .හැබැයි උඹ දන්නවද තාම ඔය වගේ පිරිස්
    ඉන්නවා ..ඒ උනාට ඒ මිනිස්සු ලොකු අගාධෙක ඉන්නේ..


    මට දවසක් හොරෝවිපොඨාන පැත්තේ ඇතූල් ගම කීපෙකට යන්න පුළුවන් උනා , එදා දැක්ක ඒ මිනිස්සු පිටස්තර
    ලෝකේ වෙන කිසිම දෙයක් දන්නේ නැහැ .මීළඟ කන්නේට ගොවි සමිතිය රැස් වෙන දවස විතරයි දන්නේ ,
    වී දවස , වතුර දෙන දවස වගේ..

    තව දේවල් ටිකක් දන්නවා නම් ඒ දන්නේ මේ රටේ යුද්දේ ඉවරයි ( ඒකත් ගමේ කොල්ලෝ බාගෙට බාගයක්
    යුද්දෙන් මැරිලා නිසා ) ජනාධිපති දැන් ඇති ගරු රාජපක්ෂ මැති තුමා ( ඒ දන්නේ , අර මිනිස්සු තාම ප්‍රේමදාස
    යුගයේ ජීවත් වෙන නිසා , මතකනේ ඒ කාලේ තිබුන අමුතු හැගීම ජනාධිපති වරයෙක් ගැන ) ..

    ඔන්න ඔහොම තත්වයක් තිබ්බේ ..මන් ගියේ ප්‍රංශ රජය ඒ මිනිස්සුන්ට පාරවල් හදන්න මිලියන 80 දීල තිබ්බා ,
    උබ දන්නවද එක බොරළු කියුබ් එකට 600 විතර දාල ලක්ෂ ගානක් හොරකන් කරලා ඒ වැඩේ බාර ගත්ත NGO
    නඩයයි , සබාපති ඇතුළු පිරිස..මන් තිත්ත කුණුහරපෙන් බැන්න මට ආව කේන්තියට උබල මේ වංචා කරන්නේ
    උබලටම නේද කියල..තොපේ පාර හදාගන්න දීපු සල්ලි වලින් ගේ පිළිකන්නේ බොරළු කඳු ගොඩ ගහන් ගෑනි
    එක්ක බල බල ඉන්නද කියල ?


    මේ වගේ කාලකන්නි මිනිස්සු එක්ක කිසිම දෙයක් කරන්න බැහැ .කෙලිම්ම ආධාර එක රැයෙන් නැවැත්තුව .
    ඔය වගේ මිනිස්සු වෙනුවෙන් සත පහක් වැය කරන්න හොඳ නැහැ ..නමුත් අර දුප්පත්ම මිනිහ හැමදාම
    අනාතයි ...




    මන් ඔය ටික කිව්වේ This blog is නූතනත්වයේ සහ දේශමාමකත්වයේ මෙව්වා එක...
    නිසා ..



    ඒ ඇරෙන්න මේ පොස්ට් එකෙන් නම් ලොකු සතුටක් වින්ද ..( කිසිදා නැවත මෙවැනි සුන්දරත්වයක් විඳිය නොහැකි
    නිසා , පෝස්ට් එහෙකින් හරි මෙවැන්නක් මෙව්වා කිරීම ගැන මාගේ මෙව්වා එක මෙව්වා කරන්න මාගේ මිතුර )

    ReplyDelete
    Replies
    1. ****බොරළු කියුබ් එකට 6000 විතර *****

      Delete
  7. මම ජීවත් වෙච්ච ප්‍රදේශ වලත් මේවා තිබ්බා, අපිට කුඹුරු එහෙම නොතිබ්බ නිසා සක්‍රීයව මේවට දායක වෙලා තියෙන්නෙ ඉතාම අඩුවෙන්. නාරම්මල ඉස්කෝලෙ යන කාලෙ ඒ හිටපු ගෙදර උදවියගේ ගොයම් කැපිලි වලට සහභාගී වෙලා තියනවා. මට තේරෙනවා උඹ කියන දේශපාලනාර්ථයෙන් ඔබ්බට දේශමාමකත්වය කියන එක... තවමත් මහපොළොව එක්ක හැපෙන මිනිස්සුන්ට ඔය හැඟීම ඇති බං... ගොවියගේ තත්වය නගාසිටවන්න මොන මොනවා හරි කෙරිලා තිබ්බා නම් ඔය හැඟීම විනාස නොවී තියෙන්නෙ තිබ්බා.

    සාම්ප්‍රදායික ක්‍රම වලම එල්බගෙන ඉඳලා රට දියුණු වෙන්නෙ නෑ, නමුත් අපේ ළමා කාලය වෙද්දි සාම්ප්‍රදායෙන් නව තාක්ෂනයය හෙමින් පියවර තියන හැටි අපි දැක්කා.. ඒක හරි විදිහට වෙන්න ඉඩ සැලැස්සුවා නම්, කොටින්ම කෘෂිකර්මය කියන එකට නිසි වටිනාකම දුන්නා නම් කාලයත් එක්ක අදට ගැලපෙන ගොවි සංස්කෘතියක් බිහිවෙන්න තිබ්බා. ඒත් අපේ ගම් වලට ගියහම දැන් තියෙන්නේ අතැරලා දාපු පුරං කුඹුරු විතරයි..

    ReplyDelete
  8. හොඳ ලිපියක්..දැන් ඔය භාෂාව ඉතුරු වෙලා තියෙන්නේ ශිෂ්‍යත්ව පොත් වල විතරයි මං හිතන්නේ...

    ReplyDelete
  9. ගමකට ගිය හැගීමක් දැනුනා ලිපිය කියවද්දී. බොහොම අපුරුයි.

    ReplyDelete
  10. ඔබ කියන්නේ පාරම්පරික දේ අවශ්‍යමයි කියාද???

    ReplyDelete
  11. සිංදු මතක් වෙන එක නවත්තන්ට බෑ ආයුබෝවංඩ

    "ඔයිරයිරේ ඔයිරාමා
    කොල මැඩපාන් ඔයිරාමා....
    දෙවි පිහිටෙන්.... ඇදපන් මගේ
    වහු දරුවෝ....ඕ....ඕ....
    බුද්ධං සරණේද බලෙං
    ධම්මං සරණේද බලෙං..."

    හැමෙකාම පස්පඩංගුවෙ බනින්ට තිබාගත්තට මේක සාරභූමියක්ම තමා හෑබෑට..
    ලියමු ලියමු අපි එනෝ කියවන්ට

    ReplyDelete
  12. අපි නම් ඕවා ඔය විධියටම විඳලා අත්දැකීම් තියෙනවා. අපේ කුඹුරු තිබුණා, දැනුත් තියෙනවා වගා කිරීමක් නෑ.මුළු කුඹුරු යායම පුරංවෙලා.

    පිංතූරයේ තියෙන විධියට නෙවෙයි අපේ පැත්තෙ හරක්ගෙන් ගොයම් පෑගුවෙ.
    කමත මැද අඩි තුනක් විතර ගැඹුරට කුඩා වලක් හාරලා, අඩි 10ක් විතර උස පුවක් කඳක් ඒ වලේ ගිල්ලවා නොසෙල්වෙන විදියට තද කරනවා (ග්‍රීස් ගහ හිටවනවා වගේ)ඒකට කියන්නෙ "ගොන් කණුව" ඒකෙ‍ ඉහළින් වෙනිවැල් වලින් ගොතලා හදපු වලල්ලක් දානවා ඒකට කියන්නෙ "තොණ්ඩුව" කියලා. මේ තොණ්ඩුව ගොංකණුවෙ අඩි 4ක් විතර ඉහළින් රඳවනවා.(පිදුරු ගස් කීපයක ආධාරයෙන්) ඊට පස්සෙ ‍ඒ තොණ්ඩුව අතරින් මල්කෑර කෙවිටකුත් දැති ගොයියාවත් ඇතුළු කරනවා(ශක්තිමත් ගසක කරුවක් සහිත අත්තක්; L හැඩය හිටින විදියට කපාගෙන සකස්කරගන්නා විශ්කම්භය අගල් 1 හමාරක් පමණ වන අඩි 5ක් පමන දිග ලී දණ්ඩක්)
    ඊට පස්සෙ ගොං කණුව මැදිවනසේ දෙපැත්තෙන් පඩංගු එළනවා, පඩංගු දෙක එකිනෙකට සම්බන්ධ කරන්නෙ ඉඳිකොළ ආධාරයෙනුයි. ඊ ළගට ගොයම් කොළෙන් ගොයම් ගෙනත් ගොංකණුව වටේ සිරස්ව අතුරනවා.එය ක්‍රමයෙන් ආනත ගතිය වැඩි වනසේ අඩි 15ක පමණ විෂ්කම්භයක් සහිත කවයක් ලෙස අවසන් කරනවා.
    ඊට පස්සෙ හරක් දානවා, මුලින්ම ගොං කණුවට ආසන්නයේම බඳින්නෙ හික්මීමක් ඇති පලපුරුදු ගොනෙක්, ගොනාව බඳින්නෙ අර කලින් කියපු තොණ්ඩුවෙයි. මේ ගොනාව කමතෙදි හැදින්වෙන්නෙ "මුදුනා" නමිනුයි. ඊ ළගට ඌට ආදින්නෙ "මැදා" අවසාන එකා "කලාතයා"
    සාමාන්‍යයෙන් මේ මොහොතේ දී හරක් ගොයම් කන්න පෙළඹෙනවා, මුදුනට ඒක කරන්න බෑ බෙල්ල හරවන්න බැරි නිසා, අනිත් දෙන්නගෙන් තමා කරදරේ, ඒකට ප්‍රතිකර්මයක් විදියට ගොම දිය කරලා පිදුරු ටිකක ආධාරයෙන් ගොයම් වලට ඉහිනවා.
    ඊ ළගට හරක් දැක්කීම...
    පළමු වට කීපය දක්කන්නෙ හරක් අයිති කාරයා, රිද්මය ගානට ආවම කොළු කුරුට්ටන්ට වැඩේ බාරදෙනවා. මේ වැඩේ දි කොල්ලන්ට අමාරුම කොටස තමයි "ගොම්පස් ඇල්ලීම"...

    හරක් කමතට දාන කොටම ගොං කණුවෙ බැන්ද කෙවිටයි දැති ගොයියාවයි, එයින් නිදහස් කරගන්නවා. ඒ දැති ගොයියාව ආධාරයෙන් තමයි පෑගුනු ගොයම් අවුස්සන්නෙ, එහෙම අවුස්සලා පැත්තකට කරන ගොයම් තවදුරටත් "හලබාලා" හොඳින් පෑගිලානම් "මැඩුවම්"(පිදුරු) හැටියට ඉවත් කරනවා. මේ විදියට සුද්ධ බුද්ධ කරගත්ත "බැත" ගොං කණුව දෙසට "රාහි"(එකතු) කරනවා. ඊට පස්සෙ ඔත්තේ සංඛ්‍යාවක පිරිසක්(පුරෝනු)ගෝනි කුඩාවට නවාගෙන බැත වටේ කවාකාරව සිටගෙන ඉදිරියට නැවී පුරෝනුව වට තුනක් ඇග වටේ කරකවා දෙපා මුල තබා වැඳීම සිදු කරනවා.මෙම ක්‍රියාව වට තුන බැගින් කෙරේ. ඉන් අනතුරුවයි බැත එකතු කරන්නෙ. මේ මොහොතේ කාන්තා පාර්ශවය ඉන්නෙ කමතට එපිටිනුයි, සියල්ල කෙරෙන්නෙ නිෂ්ශබ්දවයි.

    කමත් භාෂාවේ දී ...

    ආහාර වේල - ඇඹුල
    ආහාර ගන්නවා - පුබ්බරුවන් සප්පායම් වෙනවා
    හරක් - අම්බරුවන්
    යතුර - කුල්ල
    ලියන්නාව - දෑකැත්ත
    සුද්ද නොකල වී - බැත
    එකතු කරනවා- රාහි කරනවා
    ලාහ - කුරුණිය
    නැහැ - බෝයි
    මැරෙණවා - බෝහං පුරෝනවා

    ReplyDelete
    Replies
    1. කුල්ල - යතුර
      දෑකැත්ත - ලියන්නාව
      කුරුණිය - ලාහ

      (සංශෝදනයක්)

      Delete
    2. සුමිත් අයියටත් හවුල් වෙන්න හොඳ තැනක් තුන්පත් රටා බ්‌ෙලාග් එක .. විස්තරේ දුකාගේ කමෙන්ට් එකේ තියෙනවා...

      කොහොමත් සුමිත් අයියා ඒ වගේ ලිපි ලියන්න ආසයි නේ... මට මතක් උනේ අර ජන කවි පෝස්ට් එක.. හි හි

      Delete
    3. වටිනා විස්තරයක් සුමිත් අයියා..

      Delete
  13. බ්ලොග් වල මේ වගේ කරුණු අත්දැකීම්වලින් අරං ලියන ඒව ගොඩක් අඩුයි. කවුරු හරි දාපු එකක් ගූගල් පිහිටෙන් නැවත නැවත ලියවෙන එක තමයි වෙන්නෙ. ඒක නිසා මේ උත්සාහය ගොඩක් වටිනවා. ඉතිරි ටිකත් දාන්න.

    ReplyDelete
  14. me/ano/commetuwa/watuna/thana/hoyaganna/puluwan/kenek/innawa/nam/mama/eyata/abhiyoga/karanawa/BGID425724621452145723545544454xml.BGID.xml

    ReplyDelete
  15. මචන්
    මේ ඉතාමත් වැදගත් අපූරු පර්යේශනාත්මක ලිපිය තවත් තැනක සටහන් කරන්න අවසාර් දෙනන් පුලුවන්ද?

    ඒ තැන තමයි තුන්පත් රටා හවුල් බ්ලොග් එක.

    මේ තියෙන්නේ ඒකට යන ලින්ක් එක

    ඒක අපි බොහෝ දෙනෙක් එකතු වෙලා පටන් ගත්තු බ්ලොග් එකක්.

    අවාසනාවට ලිපි ලිව්වේ කීප දෙනයි. මගේ ග්දර උන්දෑත් එයින් එක්කෙනෙක්. ඒ අඩවිය දිගටම ලියාගෙන යන්න කියලා අපි දෙන්න පොත් රාසියක් ගත්තා වුනත් ඩුබායි අබුඩාබි ලංකාව මේ හැමතැනම ලඟ ලඟම කාලවලදී පදිංචිය වෙනස් කරන්න උනායින් පොත් ටික කොහේ ගියාද නෑ.

    පටන් ගත්තේ අපේ ශ්‍රී ලාංකික සංකෘතියේ තියෙන, තිබුනු විශේෂ දේවල් අපි හැමෝම එකතු වෙලා එක තැනක ලියා තබමු කියන උදාර චේතනාවෙන්.

    මේ වටින ලිපියත් එතන සඳහන් කරන්නද ඇහුවේ ඒකයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ ඔත්තුව ඔස්සේ මා එතැනට ගොඩවදිනවා

      Delete
    2. ආහ්.. මං මේ මගේ එකේ දුකාගේ කමෙන්ට් එක දැකලා තුන්පත් රටා එකේ ලින්ක් එකත් කොපි කරන් එනකොට ඔත්තුව ගිහිල්ලත් ඉවරයිනේ... ෂෝක් අප්පා.... හි හි

      දුකාගේ කමෙන්ට් එකෙන් ඒ බ්ලොග් එකට ගිය ගමන් මට මතක් උනේ මේ පෝස්ට් එක තමයි....

      ඔන්න පේට්‍රියට්.. මේ ලිපියට හොඳ වටිනාකමක් ලැබෙන වැඩක් ඒක..

      Delete
  16. වැදගත් ලිපියක්. පුංචි කාලේ(කොලු කාලේ) මෙන්ම ගැටවර වියද මතක් උනා.කොලු කාලේ ගමට එන්න ලැබුනේ පාසල් නිවාඩුවට පමණයි. එතකොට වෙලේ හීයක්,මැඩවිල්ලක් තිබුනාම එකෙ අයිතිකාරයා කවුද කියන එක ප්‍රශ්නයක් අපිට තිබුනේ නැ. මිගොං බැලිමේ රාජකාරිය අපිම පවර ගත්ත.මැඩවිල්ලේදී තලාතුවේ යන්නේ නායක මිවා. පාවුලේ යන්නේ නාම්බා. මිගොං ගොම දානවාට කියන්නේ ගොම් පස් දානවා කියල.ගොම දමමින් මැඩවිල්ලේ යන මිවා පස්සෙන් පිදුරු ටිකක් අරගෙන එම ගොම මැඩුමට වැටෙන්නෙ නැති වෙන්න අතට ගන්න එකට කියන්නේ ගොම් පස් අල්ලනවා කියල. ගොම දමමින් මැඩවිල්ලේ යන මිගොං පස්සේ ගොම් පස් අල්ලමින් ගිය හැටි මතක් වෙනවා.
    (ගැටවර වියේ උසස් පෙළ ෆේල් වෙලා (වැඩ 3 ක් පාස්, ඩ් 2යි සි 1යි) අවුරුද්දක් ගමේ හිටය කාලේ කුඹුරු වැඩ කළා .අත්තමේ ගියා. ගොයම් කැපුවේ පිරිමි අපි.ගෑනු ගොයම් ඇද්දා.රෑ එලි වෙන කල් ගොයම් මැඩවිල්ල තිබුනා.රා ටිකක් බොන තිබුන.ඒ උනාට සිහිය නැතිවෙන්න බිව්වේ නැ.දෙවෙනි සැරේ උසස් පෙළ ප්‍රතිඵල වලදී එත් වැඩ 3යි (දී 2 සි වෙලා,සි 1 එස් වෙලා .) ඒ ප්‍රතිඵලය කලින් එකට වඩා හොඳ නිසා මාව විශ්ව විද්‍යාලයට බඳවා ගත්ත.)
    අදත් මම කුඹුරු බලන්න යනවා.වී කොටහ ගේනවා. පරිසරය වෙනස් වෙලා. මිගොං නෑ. හිය ට්‍රැක්ටරයට භාර දීල. ඒ නිසා ඇත්තම් ක්‍රමයක් නැ.ගොයම් මැඩවිල්ල මැෂිමට භාර දීල. ගනදෙනු ගැන විතරයි කතාව. මනුස්සකම හුළඟට ගිහිල්ල.බමන මතින් වැනෙන පරඬල් වැනි මිනිසුන් මිස ශක්තිමත් මිනිසුන් නැ මිනිසුන් ළඟ කසිප්පු ගඳේ ඉන්න බෑ.

    ReplyDelete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.