Monday, June 25, 2012

'රාවණවංශය' සහ 'සුනඛ වාරණය' (ඩොබර්මන් පරපුරේ විද්‍යුත් ටීකාව)




සූර්‍යවංශය සහ රාවණ අධිරාජ්‍යය ගැන මෑතකදී පළ වූ සාරවත් කතිකාවත් දුටුවිට හෙළ යකුන්ගේ ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ ගවේශනාත්මකව තොරතුරු විමසීමට මා සිත තුළ බලවත් ආශාවක් ඇති විය.


'වර්ගපූර්ණිකාව' බ්ලොගය කියවීම තුලින් මා ලද දිරි ගැන්වීම හේතු කොටගෙන වර්තමානයේ අප එදිනෙදා දකින අසන දේ රාවණවංශයට කෙලෙස නෑකම් කියයිද යන්න සොයා බැලුවෙමි. මා විසින් සොයාගත් කරුණු විශ්මය ජනකය. මෙවර මා ඔබත් සමඟ  බෙදා ගන්නේ ඉන් එක කරුණක් පමණි.


අද බොහෝ පිරිසක් සුනඛයින් තම නිවසේ ආරක්ෂාවට ඇති කරතත්, සමහර සුනඛ වර්ගවලට පමණක් ඉතා වංශවත්  නම් ඇති බව ඔබ සියළුදෙනා දන්නා බව නිසැකය. උන් අතරින් 'ඩොබර්මන්' නැමති සුනඛ වර්ගයට ඉතා විශාල පිළිගැනීමක් ඇතිබව අවිවාදිතය. 'ඩොබර්මන්' යනු පුරාතන හෙළ යකුන් විසින් ඇති කරණ ලද සුරතලෙක් බව පැවසුවොත් ඔබ විශ්මයට පත්වනු නිසැකය.


හෙළයින් නිවසේ ආරක්ෂාවට තබා ගත යුත්තේ 'ඩොබර්මන්' වර්ගයේ සුනඛයන් පමණි. මන්ද යත් අපට උන්ව අතිශයින් විශ්වාස කළ හැකි හෙයිනි. පුරාණ සූර්‍ය වංශික 'සුනඛාභිලන්ශකාරය' ටීකාවේ සඳහන් වන ආකාරයට 'ඩොබර්මන්' යන්නෙහි ගාම්භීර අරුතක් ඇත. එනම් 'නරය බිය වන්නේ ඇයි' යන්නයි. මෙහි පද බිඳීම මෙලෙසින් දැක්වේ. ඩො = ඩෝහ් = නරය, බර් = බිරාන්ත = බය, මන් = මන්ද = ඇයිද? නිසැකයෙන්ම ඔබ 'ඩොබර්මන්' ගැන ආඩම්බර විය යුතු නොවේද? ඌට ගරු කළ යුතු නොවේද?


කුණ්ඩලීණි දැහැනට සමවැදී සිටි සුර්‍ය වංශයේ ප්‍රථාපවත් රජු රාවණ, මෙම 'ඩොබර්මන්' සුනඛයන්ගේ බිහිවීම, පැවැත්ම සහ අවසානය දුටු බව සුනඛාභිලන්ශකාරයේ පැහැදිලිව සඳහන් වේ. මෙහිදී අනාගත යම් දිනක මොවුන් ලෝ වැසි පර දේශක්කාරයින් අතරත් ඉතා ජනප්‍රිය වන බවත් අවැසි හා අනවැසි සෑම අවස්ථාවේදීම පර නරයන් ඉදිරියේ නැට්ට වැනීමට යාමෙන් මුන්ගේ ප්‍රෞඩත්වයට හානිවන බවත්, එයම ඉක්මන් අවසානයකට මග පෑදිය හැකි බවත් සුනඛාභිලන්ශකාරයේ 'පර නර බුර' පරිච්ඡේදයේ දක්වා ඇත.


මේ හේතුවෙන්ම රාවණ රජු විසින් 'ඩොබර්මන්' ගේ නැට්ට කැපිය යුතු බවට නීතියක් පැනවූ අතර, මෙය අනාදිමත් කලක පටන් අද දක්වාද ලෝ වාසීන් නොකඩවා කර ගෙන එති. මෙම නියමය ඉතා පැහැදිලිව 'සුවාරපොළ' ප්‍රදේශයෙන් මෑතකදී සොයාගන්නා ලද සෙල් ලිපියක සඳහන් වන බව පැවසුවොත් ඔබ විශ්මයට පත් නොවී සිටීවිද? එය මෙසේම වෙයි. 'නර බිර-මන් පර නර නැ කැප නි කෂ'.


තවද සෙල් ලිපිය පිහිටන ලද ස්ථානය ගැන විමසා බෑලීමෙදී මෙය වඩාත් තහවුරු වේ. විමසිල්ලෙන් බලන්න 'සු=සුනඛ, වා=වාරණ, පොළ = ස්ථානය'. මෙයින්ම මෙය 'සුනඛයින්ට වාරණයන් පැනවු ස්ථානය' බව ඔප්පු නොවෙයිද?

සටහන - 'සුනඛාභිලන්ශකාරය' ටීකාවේ පිටපත් ගැන මාගෙන් නොවිමසන මෙන් කාරුණිකව ඉල්ලමි. මන්ද යත්, එහි වත්මන් භාරකාරතුමාගෙන් ඒ සඳහා මට අවසර නොලැබුණු  බැවිනි. එසේම 'සුවාරපොළ' අති පැරණි සෙල් ලිපි ඉතා මෑතකදී නිදන් හොරු විසින් විනාශ කර ඇති බව මා දැන ගත්තේ අද දින උදෑසනය. මෙය නෙතට කඳුලක් එක් කළද, මෑත අනාගතයේ මේ හෙළබිම බිහිවන මහා රාවණ අධිරදු ඔවුනට නිසි දඬුවම් දෙනු ඇත.

Tuesday, June 19, 2012

ඇබෑර්තු ඇත! ඩේලි කමිෂන්...ෆ්‍රී සෙක්ස්...



Septal Defect හෙවත් 'ආවාර විකලතාව' රෝගය තේරෙන භාෂාවෙන් කිව්වොත් 'හදවතේ සිදුරු' මේ වෙනකොට අපේ රටේ කුප්‍රකට මාතෘකාවක්. දැන් අවුරුදු 10ක් විතර තිස්සේ පලු යනකම් මේ මාතෘකාව අපේ සෞඛ්‍යය බලධාරීන් වගේම අපි හැමෝම පට්ට ගැහුවා.


ඒත් මේ ලෙඩේ විලි ලැජ්ජා නැති විදිහට විකුණගෙන කන 'ජාවාරම්කාරයෝ' සෙට් එකක් දවසට රුපියල් 50,000 විතර හොයන්න හැමදාම එළියට බහින බව මම දැනගෙන හිටියත් මේ වංචාව දන්නේ නැති අපේ 'බ්ලොග් යාලුවෝ' ගැන බොක්කේ උපන් ගින්දර නිසාමයි මේක ගැන කියන්න හිතුනේ.



මේ ළඟදි  'ඊතලය' කියන සඟරාවෙන් මුන් ටිකේ රෙදි ගැලෙව්වා. (ගලවන්න මුන් ඇඳන් හිටියද කියල නම් මටත් සැකයි ) ඒත් මුන් නෙමේ වැඩේ අතෑරියේ. අපේ 'පොලෝසියේ' ඉන්නේ පගා කුක්කෝ නිසා මුන් ආයෙත් එළිපිට රෙදි ගලවගෙන නටනවා.


වැඩේ වෙන්නේ මෙහෙමයි.


බොසාගෙ නම 'රත්නසිරි' (ඇත්තම නම, ඕන් මම බොරු එහෙම කෙටුවෙ නෑ) මිනිහා හැමදාම උදේ 7 වෙද්දි කලින් නියම කර ගත්ත නැවතුම් පොළවල් කීපයකට 'ටොයෝටා හයිඑස් වෑන්' එකකින් එනවා. කලින් දැනුම් දීමක් කරල තිබ්බනම් ඒ වෑන් එකේ නැග්ග හැටියෙම අපිට රස්සාව හම්බ වෙනවා.


'රත්නසිරි' ය හරි, මිනිහගේ පවුල් 'කළු මැණිකා' හරි, රත්නසිරිගේ බෑනා සේම රත්නසිරිගේ පවුලගේ හොර මිනිහා වන 'සුරංග' අපිට 'සිඟිති මල් කැකුලක් බේරා ගනිමු' කියල තියන හරි, 'සිඟිති දැරියකගේ හදවත් සැත්කමට ආධාර පිණිසයි' කියල ගහල තියන ටිකට් පොත් වගයක් හරි දෙනවා. මේවයේ රුපියල් 50යි කියලත් ගහල තියෙනවා. ඒ දැරිවිගේ නම ටිකට් දෙකේ නම් දෙකක් විදිහට තියෙන්නේ. හැබැයි ගහල තියෙන්නේ එකම ෆොටෝ එක. ලෙඩේ 'හදවතේ සිදුරු'. හැබැයි ටිකට් දෙකට අනුව මේකට 'ඔපරේෂන්' කරන්න නිර්දේශ කරල තියෙන්නේ දොස්තරල දෙන්නෙක්. එක්කෙනෙක් 'ජයවර්ධනපුර රෝහලේ අනුර කපූර්ගේ වෙදතුමා' අනිත් කෙනා 'ලංකා හොස්පිටල්හි යොහාන් සමරසේකර වෙදතුමා'.


(ගමේ තියන කට කතාව අනුව නම් මේ 'කපූර්ගේ මහත්තයා' රුපියල් 15,000 වගේ පොඩි ගාණකටලු මේ ' නිර්දේශ සහතිකේ විකුණලා' තියෙන්නේ.)


ඇත්ත මේකයි, මේ නමින් පොඩි එකෙක් නැහැ. ෆොටෝ එක අනුන්ගේ. අම්මයි, තාත්තයි විදිහට රගපාන්නේ ගමේම ඩබලක්. රස්සාවට යන එවුන්ට දවසේ 'ටාගට්' එක රුපියල් 2000 (ටිකට් 40). ටාගට් කවර් නැත්නම් 'කමිෂන්' එක  30% විතරයි. ටාගට් කවර් නම් 50% කමිෂන්. මුන්ගේ ප්‍රධාන ආහාරය බුරියානි. බොන්නේ නම් 'ගල් අරක්කු'. ඒ සල්ලි නැති නිසා නම් නෙමේ. ඒ උන්ගේ 'ෆේවරිට් බ්‍රෑන්ඩ්' එක නිසා. රත්නසිරියගේ බෑණා 'සුරංග' නම් ඔය ජරාව බොන්නේ නෑ. මිනිහ ඒ සල්ලි ඉතුරු කරල හවසට 'පැකට්' එක 'දානව' විතරයි. තවත් කීප දෙනෙක් 'ගල්' වලට අමතරව පුරුද්දක් විදිහට හවස් වෙලා 'බොබ් මාලි ස්පෙෂල්' එහෙම පාවිච්චි කරනවා. නාසා එකට පස්සේ වැඩිම සැරයක් හඳට ගියේ මුන් ටික කියල තමා ගමේ එවුන්නම් කියන්නේ.


හොදම හරිය තියෙන්නේ දැන්. සෙනසුරාදා, ඉරිදා, පෝය සහ රජයේ නිවාඩු දවස් තමා මුන්ට රජ මඟුල්. එදාට යන්නේ 'ළඟ පාත' නෙමේ 'දුර ඈත'. හරියටම කිව්වොත් අනුරාධපුර, පොළොන්නරු, මහනුවර, කතරගම තමා ජනප්‍රියම 'ඉස්පොට්'. එදාට කල්ල මරේ. ඔක්කොම වගේ 'ටාගට් කවර්' කරනවා. ඒත් 'ඕවර් ටයිම්' කලාට පාඩු නැති බව තේරෙන්නේ හවස් වෙනකොට.


මුන් කොච්චර සල්ලි තිබ්බත් ඈත ගියහම නවතින්නේ පන්සල් වල. කාලයක් තිස්සේ පුරුදු කරගත්ත පන්සල් කීපයක් මුන් දන්නවා. රෑ හත අට වෙද්දී කාල, බීල, රීල ඔක්කොම ඉවර වෙලා කට්ටිය දෙන්නා දෙන්නා බෙදනවා. ඒ කාඩ් සෙල්ලම් කරන්න, කැරම් සෙල්ලම් කරන්න එහෙම නෙමේ. 'රති' සෙල්ලම් 'කොරන්න'. ඒකට ඔය දාන ශාලාවල එහෙම තියන ඩෙස් බංකු වලින් වට කරල ඉටි කොළ වලින් වහල 'ගෙස්ට් රූම්' උන්ම හදා ගන්නවා. ('කෙඳිරිලි සද්ද එහෙම ඇහුනට දැන්නම් අපිට ගානක් නෑ බන්'; කියල තමා මට අවුරුදු 2ක් තිස්සේ මේ රස්සාව කරන මගේ බොක්කේ ෆිට් එකක් මාත් එක්ක කිව්වෙ)


ඉතින් මුන්ගේ පවුල් ජීවිත ගැන එහෙම මගෙන් දැන් අහනව නෙමේ ඕන්.. මේ වැඩේ තියන පැණි රහට ලොල් වෙච්ච මුන්ගෙම කල්ලිය දැන් මේ වෙනකොට කල්ලි 4කට විතර කැඩිලා. ආයෙ මොකටද දවසම දුක් මහන්සි වෙලා 50% විතරක් ගන්නේ කියල හිතුන උන් දැන් මේක 'ස්වයං රැකියාවක්' විදිහට කරනවා. කොටින්ම එක කල්ලියක ලොක්ක විදිහට ඉන්න 'අතුල' මේ ලඟදි දවසක් කියල තිබ්බා 'අපේ ගමේ ඒක පුද්ගල ආදායම වැඩිකරන්න සැලකිය යුතු වැඩ කොටසක් අපි මේ වෙනකොටත් කරල තියනවා' කියල. ඇත්තටම 'රබර් කොපු' තිබ්බේ නැත්නම් 'ඒක පුද්ගල ආදායම විතරක් නෙමේ පුද්ගලයෝ ගානත්' මුන්ට වැඩි කරන්න තිබ්බා.

ප. ලි. - මෙය ප්‍රභන්ධයක් නම් නොවේ. ඇත්ත මා අසා දැක ඇති අයුරින් හැකිතරම් නිවැරදිව ඉදිරිපත් කර ඇත. නම් ගම්ද උප්පැන්නේ අයුරින් නොදනිතත්, භාවිතයේ ඇති අයුරින් නිවැරදිය.

ඔයාල අහල දැකල තියෙන දේත් බෙදා හදා ගන්න මේක හොඳ අවස්ථාවක් ඔන්න...


අපි අළුත් නිසා වචනයක් දෙකක් කියල ගියොත් ගොඩක් හිතට සතුටුයි. එහෙම නෑ කියල අපේ හිතේ කිසි කහටක්නම් නෑ ඕන්...

Thursday, June 14, 2012

කටට කෙළ ඉනීම සහ දත් හිරි වැටීම...




මාස කීපයක් තිස්සේ යටි පතුලේ ඉදන් ඉස් මුදුනට යනකම් බ්ලොග් වල අoග උපාoග බැලුවට හැමදාම අමුඩේ ගහන්න පරක්කු කලා. අමුඩෙ ගහන්න තේරෙන්නෙ නැතිව හිටියත්, අර රාම කුමාරයාගේ හූ...ව නිසා මොන රෙද්දකින් හරි දැන්වත් විලි වහ ගන්න හිතුව.


රාජ් ගොයියත් කිව්වෙම දැන්නම් හෙලුවෙන් හිටිය ඇති කියල. 
කොහොම කොහොම හරි ඉස්ස ඉස්සෙල්ලා විලි වහගන්න හොද රෙද්දක් හොයා ගන්න ගොඩක් කල් ගියා. මෑතකදී රාජ් කිව්ව වගේ 'පරිපූර්ණ නිර්මාණ' බිහි කරන්න හිටියොත් හැමදාම හෙලුවෙන්. අනික් අතට අපේ මහ වෙදනා කිව්ව වගේ මේකත් 'හයිලි ඇඩික්ටිව්' වැඩක්. දවසක්, දෙකක් බ්ලොගක් පැත්තේ ආවොත්, කුඩු ගැහුවා වගේ තමා.



කොහොමින් කොහොම හරි කටට කෙළ උනනව වැඩි කමට කාල බලන්න තීරණය කලා...කාපු අය දත් හිරිවැටුනත් ඇඹුලට ආස නිසා දිගටම කන බව පේනවා..බලමු ඉතින් අපිත් කාලම.


මාස කීපයකට කලින් මගේ යාලුවෙකුත් අපි ඇඹුල් කනවා දැකල කටට කෙළ උනලා, අඹයක් කන්න හිතුවා. අඹයක් කිව්වට අඹයක් කන්නම නෙමේ, අඹුවක් ගන්න හිතුවා. (අපිනෙ දන්නෙ දත් විතරක් නෙමේ අත පයත් හිරි වැටෙනවා කියල )


කොහොමින් කොහොම හරි ඒකත් ජය සිරි මoගලම් කියල අපිත් පූර්ණ සහයෝගෙ දුන්නා. (පැණි හදටනම් අපේ උදව් එපා කියල ඌ කලින්ම කිව්වා )


ඌ කන කටු අපි කාල කාලයක් ගොහින් නිසා මම පොදු අත්දැකීම් දන්නවා උනත්, දවසක් මම පාරෙදි දැක්ක දෙයින් පුදුම උනා.


මෙන්න මූ ලව් කරන කාලෙටත් වඩා තදින් පවුලගේ අතින් අල්ලගෙන තුරුලු කරගෙන පාරෙ යනවා..එච්චර කතා බහක් දෙන්න අතරේ තිබ්බේ නැති උනත්, ලව නම් උපරිමයි වගේ. මට බලන් ඉන්න ලැජ්ජත් හිතුනා.


මෙන්න දැන් දවස් දෙකකට කලින් මූව මට පාරෙදී මූනටම සෙට් උනා. දන්නවනේ ඉතින් අපිත් මොනව උනත් ඕපස් වලට හරිම කෑදරයිනේ. පොඩි චැට් එකකට මෑන්ව ඇදල ගත්තා.


කොහොමද බන් පවුල් ජීවිතේ?


කියල වැඩක් නෑ බන්...තිත්ත වෙලා තියෙන්නේ..(හුටා... මම ජීවිතේට හිතුවෙ නෑ මූ මෙහෙම කියයි කියල )



හුටා....එතකොට උඹ නෙමේද ගිය බදාදා උඹෙ ගැනිගේ අතත් බදාගෙන හoදියේ හිටියේ.


මම තමා බන්....


යකෝ..... ඔච්චර එපා වෙලානම් උඹ ඔච්චර ආදරයෙන් අත් අල්ලගෙන හිටියෙ කාව රවට්ටන්නද?


උඹ  හු#$^^%  කතා කරනවා.. ආදරෙන් නෙමේ යකෝ.......
'මම ඒ අල්ලගෙන හිටියෙ මගෙ ආත්ම ආරක්ෂාවට.'....


ඌ මට ගහන්න කලින් මම එතනින් දිරා මාරු උනා...

ප.ලි.  මගේ පළවෙනිම අමුඩෙ නිසා...හිල් තියන තැන පෙන්නුවොත් ඊලග අමුඩෙ ඉදලවත් මට හරියට මහ ගන්න පුලුවන්. 'කමෙන්ටුවක් අත ඇරල නූතන දේශප්‍රෙමියෙක් වෙන්න...' කියල ඕන් ඉල්ලුවා....


Wednesday, June 13, 2012

මේක හදන්න බදාම අනනවා....


තාම හදාගෙන යනවා...පොඩ්ඩක් ඉන්න හොදේ....


ඇවිත් බැලුවට බොහොම පින්....