Thursday, October 9, 2014

දැන්නම් ආශ්චර්‍ය ඔන්න මෙන්න (විදේශ කටයුතු පාදඩ කරණය)


ඕනෑම ශිෂ්ඨ යැයි සම්මත සමාජයක රාජ්‍ය නිළධාරීයෙකුට හෝ රාජ්‍ය නියෝජිතයෙකුට එරෙහිව බරපතල චෝදනාවක් එල්ල වූ විට ගන්න ක්‍රියාමාර්ගය වන්නේ, ඔහුගේ/ඇයගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඒ ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වරද ඔප්පු වුවහොත් වරදේ ස්වභාවය අනුව දඩුවම් ලබා දීමයි.

මහා බ්‍රිතාන්‍යයේ 'හිටපු' ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට පහර දීම සම්බන්ධයෙන් සිදු වූ සිදුවීම් ශිෂ්ඨ යැයි සම්මත සමාජයකට කොතරම් දුරට ගැලපේදැයි අපට නැවත සිතා බැලීමට අවැසි නොවේ.

තමන්ට සිදු වූ අසාධාරණය පිළිබදව, සෘජුවම තමන් දරණ තනතුරට තමාව පත් කළ ජනාධිපතිවරයාට පැමිණිලි කිරීම සහ ඒ ගැන පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඩුවම් කරන තුරු තම තනතුරෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට අපිට චෝදනා කළ නොහැක්කේ, එය සම්මත ක්‍රියාවලියට පිටින් යෑමක් නොවන නිසාය.

නමුත් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මේ ගැන ක්‍රියා කලේ කෙසේද? ජනාධිපතිවරයා කලේ චුදිතයාට දඩුවම ලෙස රාජ්‍ය තාන්ත්‍රික නිල සවාරියකට ආරාධනා කිරීම සහ පැමිණිලිකරුගේ ඉල්ලා අස්වීම ස්වාධීන පරීක්ෂණයකින් තොරවම පිළිගැනීමයි. කෙටියෙන් පැවසුවහොත් ' පැමිණිලිකරුට දඩුවම් කිරීමයි'
සම්මත සදාචාරයට ගරු කරන නායකයෙකු නම් අඩු තරමේ පරීක්ෂණ පවත්වා අවසන් වන තුරු හෝ වෛද්‍ය ක්‍රිස් නෝනිස්ගේ ඉල්ලා අස්වීම පිළි නොගැනීමටවත් ක්‍රියා කළ යුතුව තිබිණි. ඒ වෙනුවට ඉල්ලා අස්වීම පිළිගෙන ඔක්තෝම්බර් මස 3 දින සිට ක්‍රියාත්මකවන පරිදි ඔහුව තනතුරින් ඉවත් කර ස්වාධීන පරීක්ෂණයක් කිරීම සදහා පත් කර ඇත්තේ චූදිත සජින් වාස් අධීක්ෂණ මන්ත්‍රීධුරය දරණ, මේ පරහදීමට මුල් වූවා යැයි පැවසෙන ක්ෂෙනුකා සෙනෙවිරත්න ලේකම් ධූරය දරණ විදේශ කටයුතු අමාත්‍යාංශයටම වීම අප ශ්‍රී ලාංකීය ජනතාවට කළ බලවත් නින්දාවකි.

අඩුම තරමේ චූදිත මන්ත්‍රීවරයාගේ අධීක්ෂන මන්ත්‍රීධූරයවත් අත්හිටවූ නැති ජනාධිපතිවරයා හදිසියේම ක්‍රිස් නොනිස් මහතාගේ ඉල්ලා අස්වීම පිළිගත්තේ ඇයි? චූදිත සජින් වාස් මන්ත්‍රීවරයාට වතිකානයේදී ශුද්ධ වූ පාප් වහන්සේ මුණ ගැසීමේ අවස්ථාව වැලැක්වීමට මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ මැදිහත් වී ඇත. ඊට හේතුව වී ඇත්තේද මෙම පහරදීම බව දැනගත් ජනාධිපතිවරයා, ඒ පිළිබද ක්‍රිස් නෝනිස් මහතාගෙන් විමසා ඇති අතර, එහිදි ක්‍රිස් නෝනිස් මහතා පවසා ඇත්තේ තමා පැමිණිලි කලේ ජනාධිපතිවරයාට පමණක් වන බවත්, කාදිනල්වරයා එම සිදුවීම පිළිබද විමසූ නිසා තතු පැවසූ බවතය. මේ පිළිබද උරණ වූ ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්වීම පිළිගත් බවද දැන් නොරහසකි.

සමහර විටෙක මෙරට රාජ්‍ය පාලකයෝ මල්වතු, අස්ගිරි නායක මාහිමිවරුන් බැහැදැක, අමූලික බොරු පොරොන්දු, ප්‍රකාශ සිදු කරනවා මෙන්, ක්‍රිස් නෝනිස්ද වෙලාවේ හැටියට බොරුවක් ගොතා කාදිනල් හිමියන්ව 'ඇන්දෙව්වේ' නැත්තේ ඇයිදැයි ජනධිපතිවරයා සිතුවා දැයි අපි නොදනිමු.

කෙසේ වෙතත් මේ හදිසි, අනිසි තීරණයේ පසු අරමුණ, තම මිත්‍ර මන්ත්‍රීවරයාට වතිකානයෙදී සිදු වූ අකරතැබ්බය වෙනුවෙන් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සමග එකට එක කිරීමක්ද යන්න අපිට නිතැතින්ම එන සැකයකි.

මේ තත්වය යටතේ කොන්දක් ඇති කිතුණුවන් සහ රටේ මානව හිමිකම් උල්ලංඝන දකිමින්, මාධ්‍ය මර්ධනයන් දකිමින්, ඒවා නැතැයි ලොවට හඩා ගා කියූ දෛවයේ සරදමකට ලක්වූ ක්‍රිස් නෝනිස් ආදි රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් තව දුරටත් මේ දූෂිත, අශිෂ්ඨ පාලනය සමග එක්ව රට වනසනවාද යන්න තීරණය කළ යුතු තීරණාත්මක හෝරාව දැන් උදා වී තිබේ.

ඒ තීරණය ගන්නට කලින් තවත් සජින් වාස්ලාගෙන් පා පහරවල් කනවාද නැද්ද යන්න ගැන තීරණය කිරීමද ඔවුන් සතුය.

20 comments:

  1. මට නම් ගහපු පැත්තත් ගුටිකාපු පැත්තත් දෙකම එකයි වගේ.

    ReplyDelete
    Replies
    1. අපි ශිරාණි බණ්ඩාරණායකට අත්වුණ ඉරණමට විරුද්ධ වුනේ, ශිරාණි කියන පුද්ගලයා ගැන හිතලා නෙමේ, ඇය දරපු තරතුර, එහි ගරුත්වය, එම ගරුත්වයට හානි සිදුවීම රටේ ප්‍රතිරූපයට බලපාන අකාරය ගැන හිතලා.

      මේකත් එහෙම්මම තමා. ක්‍රිස්ට වෙච්ච දේ හොදයි. ඒත් මේ ක්‍රිස් නෝනිස් නෙමේ, මහා බ්‍රිතාන්‍යයේදී ජනාධිපතිවරයාව වගේම රට නියෝජනය කරන කෙනා.

      Delete
    2. @ අජිත්& .MP.....
      මම ඔය ගැන හිතන්නේත් MP කියන විදිහට තමයි.

      Delete
    3. / අපි ශිරාණි බණ්ඩාරණායකට අත්වුණ ඉරණමට විරුද්ධ වුනේ, ශිරාණි කියන පුද්ගලයා ගැන හිතලා නෙමේ, ඇය දරපු තරතුර, එහි ගරුත්වය, එම ගරුත්වයට හානි සිදුවීම රටේ ප්‍රතිරූපයට බලපාන අකාරය ගැන හිතලා. /

      එකඟ වීමට අපහසුයි. ඕනම තක්කඩියෙක් හොරෙක් මංකොල්ලකාරයෙක් වැදගත් තනතුරකට පත්වුනහම හෝ පත් කලාම ඒ තනතුරේ ගෞරවය ගැන හිතන්න ඕනය කියල ඔහු හෝ ඇය කොන්දේසි විරහිතව ආරක්ෂා කරන ස්ථාවරයකට අප යා යුතුද?

      ඊයෙ වෙනකල් හරක් හොරකම් කරපු මාටිය අද සිවුරක් පටල ගත්තම අනේ අපි වඳින්නෙ සිවුරට කියල දණ ගහල වඳින එකෙයි මේකෙයි වෙනසක් තියනවද?

      ශිරානි සහ නෝනිස් ...ඒ දෙන්නට සලකපු විදිහ හරියි කියල නෙවෙයි මම මේ කියන්නෙ...තමන් ආත්ම ගෞරවය වත් නොතකා කඩේ යන ආණ්ඩුවෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු උනානම් ඒ ඔවුන්ගෙ නොදැනුවත්කම....එච්චරයි.

      Delete
    4. මම රවී කියන එකඟයි අරූ , හරියටම හරි. බල්ලෙකුට සිවුරක් ඇන්දොත් සිවුරට ගරු කරනවා කියලා වඳින්නේ නෑනේ අපි. අනික MP මේ කියන එක // ඒත් මේ ක්‍රිස් නෝනිස් නෙමේ, මහා බ්‍රිතාන්‍යයේදී ජනාධිපතිවරයාව වගේම රට නියෝජනය කරන කෙනා.// අපි නෙමේ පිලි පදින්න ඕනේ. ගහපු එකා. එතකොට ගහපු එකා ගහලා තියෙන්නේ ජනාධිපති තුමාටනේ.

      Delete
  2. ක්‍රිස් නෝනිස්ට වඩා ජනාධිපතිවරණය මහින්දට වටිනවා ඇති නේද? ජනාධිපතිවරණයට අවශ්‍ය සජින් මිසක් ක්‍රිස් නොවේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මහින්දට ඕන ගරිල්ලා නායකයෙක් මිසක් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් නෙමේ. බල්ලොත් එක්ක නිදාගෙන මැක්කොත් එකක් නොනැගිට්ටොත් පුදුමයි. මතකනේ බාබු-ප්‍රේමදාස.

      ඒත් මේ සෙල්ලම් කරන්නේ, ගේම් ගහන්නේ රටේ ප්‍රතිරූපයත් එක්ක. මේවා මෙහෙම සිද්ධ වෙද්දි මාර්තු කිට්ටුව ජිනීවා බිල්ලා, විදුලි පුටු මාෆියාව වගේ ගොන් පාට් දාන එක ගැන මොනා කියන්නද...

      Delete
    2. ජිනීවා බිල්ලා ලොකුවට පෙන්නන්න තියෙන හොඳම විදිහ තමයි නොනිස්ව ඉවත් කිරීම .මොකද ජිනීවා බිල්ලා ලොකුවෙන තරමට තමයි මහින්දගේ ගොඩ වැඩි වෙන්නේ .ඒකට නෝනිස් වගේ කෙනෙක් බාධාවක් ,මොකද නෝනිස්ලා රාජ්‍ය තාන්ත්‍රික විදිහට හැසිරිලා පිස්සු කෙලින නිසා බිල්ලගෙ සැර බාල වෙනවා . බිල්ලා සැර වෙන තරමට ජය නියතයි , අපේ බුද්ධිමත් , දේශප්‍රේමී ජනතාව නිසා .

      Delete
  3. මහින්ද ගේ ආණ්ඩුව ලෝකය ඉස්සරා රට බාල්දු කරපු පළමුවැනි පාර මේක නෙමේ.මම හිතන්නේ නැහැ මොන හේතුවක් නිසාවත් මහින්ද සජින් වාස්ට විරුද්ධව ක්‍රියා මාර්ගයක් ගනී කියලා.මොකද මිට කලින් මර්වින් සිල්වා පිස්සෙක් වගේ දාගලනකොට,දුමින්ද සිල්වාට මිනි මැරුම් චෝදනා එල්ල වෙනකොට,ආණ්ඩුවේ තව,තව උන් තව තව ජඩ වැඩ කරන කොට ඒවාට විරුද්ධ කිසිම ක්‍රියා මාර්ගයක් නොගත් මහින්ද මේකට විරුද්ධව දෙයක් කරයි කියලා හිතන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඔවු. නමුත් ඒ ගැන මිනිස්සුන්ට ඇස් ඇරීමට ජනමාධ්‍ය සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම්, පීඩන කණ්ඩායම් එක විය යුතු 'අත්‍යවශ්‍යය මොහොත' මේකයි.

      Delete
  4. අකුරු පේළි අතර පරතරය ළඟ වැඩියි. ඒ නිසා කියවන්න ටිකක් අමාරුයි, විශේෂයෙන් මම වගේ වයසක අයට.

    මේ ඇතිවෙන්නේ විපරීත කාලයයි. 'විනාශ කාලෙන විපරීත බුද්ධිඃ' කියන්නේ ඒකට තමයි.

    ReplyDelete
    Replies
    1. මම වගේ වයසක අයටත් ඔය ගැටලුව තියෙනවා MP

      Delete
    2. ස්තුතියි වැරැද්ද පෙන්නුවාට විචාරකතුමා & Aru ෆෝර්මැටිං අවුලක් වෙලා තිබ්බා. ඒක දැන් හැදුවා දැන් හරි නේද?

      Delete
  5. අද මරාට අවශ්‍ය පාදඩයින් සහ පක්කිලියන් පමණයි කියන එක දිනෙන් දින ඔප්පු කරමින් ඉන්නවා. මේ තත්වය වටහාගෙන සිටින පාදඩයින් සහ පක්කිලියන් ඔහු වටා එක් වෙනවා. උගතුන් කෙසේ වෙතත් බුද්ධිමතුන් ඔතනින් කෙමින් කෙමින් ඉවත්වෙනවා. ඒක නවත්වන්න බැහැ. එහි වාසිය එක තැනකට ගොනු කරගන්න මේ විපක්ෂයේ කිසි කෙනෙකුට උවමනාවක් නැහැ. ඔවුන් පක්ෂ දේශපාලන මඩ ගොහොරුවේ වැලෙලමින් තාවකාලික චූන් එකක් ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසත් එක්ක අකමැත්තෙන් වුවත් එකග වෙනවා. හේතුව රට පෙරට දමා මේ වෙලාවේ ඓතිහාසික තත්වයකට මුහුණ දෙන විදිහ ගැන හිතන්න තරම් වර්තමාන විපක්ෂ දේශපාලකයින් නිර්මාණශීලී නෑ, නැත්නම් කුහකයි.

      Delete
    2. පීඩන කංඩායම් වගේම ප්‍රධාන විපක්ෂය වෙන එජාපයත් මාධ්‍ය මුදලාලිලාගේ ග්‍රහණයට නතුවෙලානේ ඉන්නේ. උඹ බලපන් සිරසේ තියෙන පලිගැනීම සහ උවමනාව. ඒ මාධ්‍ය්ය මුදලාලිගේ අවශ්‍යතාවය. මම යුඇන්පී කාරයෙක් නොවේ. මම ඊට වඩා මේ වෙනකොට ජේවීපි මෙහෙවර අගය කරනවා. නමුත් ජේවිපිය පවා මේ සිරසේ කුප්ප භාවිතය විවේචනයකට හෝ විචාරයකයට ලක් කලාද? තමන්ට ලැබෙන ටයිම් එක යූස් කරා ඇරෙන්න. ඒ දෙන වෙලාවෙන් උන් පැහැදිලිවම රටට පනිවිඩයක් දෙනවා. නමුත් වැරැද්ද වැරදක් හැටියට දැකිය යුතු බව මගේ මතයයි. තමන්ට සිරසෙන් දෙන කාලය නැමති වාසිය සඳහා වැරැද්ද වහන එක හරිද. ඒ කිසි විටෙකත් ඒ විරෝධය තියා ඒ පිලිබඳ අදහසක්වත් මතුවෙන්නේ නැහැ. අපි කොහොමද මේවා විග්‍රහ කරන්නේ. ප්‍රසිද්ධ මාධ්‍යයක භාවිතය ඔහොම වුනාම, බැරිවෙලාවක්වත් යුඇන්පී ආණ්ඩුවක් සිරසට කොහොම සලකයිද? මේ මාධ්‍යම තමයි, නිදහස් මාධ්‍ය නම්වූ පුදසුන වනසන්නේ. අන්තිමට උන්ම තමයි මාධ්‍ය නිදහස් කරපන් කියන්නෙත්. මට මඤ්ඤං බං.

      Delete
    3. යුඇන්පියත් ඊට වඩා වෙනසක් නැහැ. නමුත් හරීන්ලා රන්ජන්ලා ඒ කුහකත්වයෙන් ටිකකට හෝ මිදෙනවා ප්‍රසිද්ධීයේම. ඔය කාට කාටත් න්‍යායන් පස්සේ ගහගෙන වෙඩිකන්න වෙනවා, මරා තව කාලයක් රට පාලනය කලොත්.

      Delete
  6. මේක මේ පවුල් ප්‍රශ්නයක් බන් .. අපි ඕකට කල බල වෙන්න ඕනේ නැහැ.. නෝනිස් මහත්තයා කොච්චර හොඳ රාජතාන්ත්‍රිකයෙක් උනත් එයැයිත් ආවේ පන්දමට ... උන් ඒක උන්ගේ ක්‍රමයට විසදපුවාවේ ..අපි අපේ ක්‍රමයට විසඳමු ලඟදිම

    ReplyDelete
  7. වැප් මහත්තයා මේ අහිංසකයින්ගේ ආතල් කඩන්නේ නැතුව ඔයා ඔයාගේ වැඩක් බලාගන්නවද කරුණාකරලා.
    බලන්නකෝ කට්ටියම කොයි තරං අපූරුවට කබරයි තලගොයි කරං...... තලගොයි කබරයි කරං....... සැනසිල්ලේ කසා ගන්නවද කියලා.

    ReplyDelete
  8. මේ වගේ මඩ වලකින් පිරිසිදු ජලය ගන්න පොරකන එක කොයි තරං මෝඩ කමක්ද බං..

    ReplyDelete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.