Thursday, October 9, 2014

දැන්නම් ආශ්චර්‍ය ඔන්න මෙන්න (විදේශ කටයුතු පාදඩ කරණය)


ඕනෑම ශිෂ්ඨ යැයි සම්මත සමාජයක රාජ්‍ය නිළධාරීයෙකුට හෝ රාජ්‍ය නියෝජිතයෙකුට එරෙහිව බරපතල චෝදනාවක් එල්ල වූ විට ගන්න ක්‍රියාමාර්ගය වන්නේ, ඔහුගේ/ඇයගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඒ ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වරද ඔප්පු වුවහොත් වරදේ ස්වභාවය අනුව දඩුවම් ලබා දීමයි.

මහා බ්‍රිතාන්‍යයේ 'හිටපු' ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට පහර දීම සම්බන්ධයෙන් සිදු වූ සිදුවීම් ශිෂ්ඨ යැයි සම්මත සමාජයකට කොතරම් දුරට ගැලපේදැයි අපට නැවත සිතා බැලීමට අවැසි නොවේ.

තමන්ට සිදු වූ අසාධාරණය පිළිබදව, සෘජුවම තමන් දරණ තනතුරට තමාව පත් කළ ජනාධිපතිවරයාට පැමිණිලි කිරීම සහ ඒ ගැන පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඩුවම් කරන තුරු තම තනතුරෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට අපිට චෝදනා කළ නොහැක්කේ, එය සම්මත ක්‍රියාවලියට පිටින් යෑමක් නොවන නිසාය.

නමුත් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මේ ගැන ක්‍රියා කලේ කෙසේද? ජනාධිපතිවරයා කලේ චුදිතයාට දඩුවම ලෙස රාජ්‍ය තාන්ත්‍රික නිල සවාරියකට ආරාධනා කිරීම සහ පැමිණිලිකරුගේ ඉල්ලා අස්වීම ස්වාධීන පරීක්ෂණයකින් තොරවම පිළිගැනීමයි. කෙටියෙන් පැවසුවහොත් ' පැමිණිලිකරුට දඩුවම් කිරීමයි'
සම්මත සදාචාරයට ගරු කරන නායකයෙකු නම් අඩු තරමේ පරීක්ෂණ පවත්වා අවසන් වන තුරු හෝ වෛද්‍ය ක්‍රිස් නෝනිස්ගේ ඉල්ලා අස්වීම පිළි නොගැනීමටවත් ක්‍රියා කළ යුතුව තිබිණි. ඒ වෙනුවට ඉල්ලා අස්වීම පිළිගෙන ඔක්තෝම්බර් මස 3 දින සිට ක්‍රියාත්මකවන පරිදි ඔහුව තනතුරින් ඉවත් කර ස්වාධීන පරීක්ෂණයක් කිරීම සදහා පත් කර ඇත්තේ චූදිත සජින් වාස් අධීක්ෂණ මන්ත්‍රීධුරය දරණ, මේ පරහදීමට මුල් වූවා යැයි පැවසෙන ක්ෂෙනුකා සෙනෙවිරත්න ලේකම් ධූරය දරණ විදේශ කටයුතු අමාත්‍යාංශයටම වීම අප ශ්‍රී ලාංකීය ජනතාවට කළ බලවත් නින්දාවකි.

අඩුම තරමේ චූදිත මන්ත්‍රීවරයාගේ අධීක්ෂන මන්ත්‍රීධූරයවත් අත්හිටවූ නැති ජනාධිපතිවරයා හදිසියේම ක්‍රිස් නොනිස් මහතාගේ ඉල්ලා අස්වීම පිළිගත්තේ ඇයි? චූදිත සජින් වාස් මන්ත්‍රීවරයාට වතිකානයේදී ශුද්ධ වූ පාප් වහන්සේ මුණ ගැසීමේ අවස්ථාව වැලැක්වීමට මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ මැදිහත් වී ඇත. ඊට හේතුව වී ඇත්තේද මෙම පහරදීම බව දැනගත් ජනාධිපතිවරයා, ඒ පිළිබද ක්‍රිස් නෝනිස් මහතාගෙන් විමසා ඇති අතර, එහිදි ක්‍රිස් නෝනිස් මහතා පවසා ඇත්තේ තමා පැමිණිලි කලේ ජනාධිපතිවරයාට පමණක් වන බවත්, කාදිනල්වරයා එම සිදුවීම පිළිබද විමසූ නිසා තතු පැවසූ බවතය. මේ පිළිබද උරණ වූ ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්වීම පිළිගත් බවද දැන් නොරහසකි.

සමහර විටෙක මෙරට රාජ්‍ය පාලකයෝ මල්වතු, අස්ගිරි නායක මාහිමිවරුන් බැහැදැක, අමූලික බොරු පොරොන්දු, ප්‍රකාශ සිදු කරනවා මෙන්, ක්‍රිස් නෝනිස්ද වෙලාවේ හැටියට බොරුවක් ගොතා කාදිනල් හිමියන්ව 'ඇන්දෙව්වේ' නැත්තේ ඇයිදැයි ජනධිපතිවරයා සිතුවා දැයි අපි නොදනිමු.

කෙසේ වෙතත් මේ හදිසි, අනිසි තීරණයේ පසු අරමුණ, තම මිත්‍ර මන්ත්‍රීවරයාට වතිකානයෙදී සිදු වූ අකරතැබ්බය වෙනුවෙන් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සමග එකට එක කිරීමක්ද යන්න අපිට නිතැතින්ම එන සැකයකි.

මේ තත්වය යටතේ කොන්දක් ඇති කිතුණුවන් සහ රටේ මානව හිමිකම් උල්ලංඝන දකිමින්, මාධ්‍ය මර්ධනයන් දකිමින්, ඒවා නැතැයි ලොවට හඩා ගා කියූ දෛවයේ සරදමකට ලක්වූ ක්‍රිස් නෝනිස් ආදි රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් තව දුරටත් මේ දූෂිත, අශිෂ්ඨ පාලනය සමග එක්ව රට වනසනවාද යන්න තීරණය කළ යුතු තීරණාත්මක හෝරාව දැන් උදා වී තිබේ.

ඒ තීරණය ගන්නට කලින් තවත් සජින් වාස්ලාගෙන් පා පහරවල් කනවාද නැද්ද යන්න ගැන තීරණය කිරීමද ඔවුන් සතුය.