Thursday, October 9, 2014

දැන්නම් ආශ්චර්‍ය ඔන්න මෙන්න (විදේශ කටයුතු පාදඩ කරණය)


ඕනෑම ශිෂ්ඨ යැයි සම්මත සමාජයක රාජ්‍ය නිළධාරීයෙකුට හෝ රාජ්‍ය නියෝජිතයෙකුට එරෙහිව බරපතල චෝදනාවක් එල්ල වූ විට ගන්න ක්‍රියාමාර්ගය වන්නේ, ඔහුගේ/ඇයගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඒ ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වරද ඔප්පු වුවහොත් වරදේ ස්වභාවය අනුව දඩුවම් ලබා දීමයි.

මහා බ්‍රිතාන්‍යයේ 'හිටපු' ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට පහර දීම සම්බන්ධයෙන් සිදු වූ සිදුවීම් ශිෂ්ඨ යැයි සම්මත සමාජයකට කොතරම් දුරට ගැලපේදැයි අපට නැවත සිතා බැලීමට අවැසි නොවේ.

තමන්ට සිදු වූ අසාධාරණය පිළිබදව, සෘජුවම තමන් දරණ තනතුරට තමාව පත් කළ ජනාධිපතිවරයාට පැමිණිලි කිරීම සහ ඒ ගැන පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඩුවම් කරන තුරු තම තනතුරෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට අපිට චෝදනා කළ නොහැක්කේ, එය සම්මත ක්‍රියාවලියට පිටින් යෑමක් නොවන නිසාය.

නමුත් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මේ ගැන ක්‍රියා කලේ කෙසේද? ජනාධිපතිවරයා කලේ චුදිතයාට දඩුවම ලෙස රාජ්‍ය තාන්ත්‍රික නිල සවාරියකට ආරාධනා කිරීම සහ පැමිණිලිකරුගේ ඉල්ලා අස්වීම ස්වාධීන පරීක්ෂණයකින් තොරවම පිළිගැනීමයි. කෙටියෙන් පැවසුවහොත් ' පැමිණිලිකරුට දඩුවම් කිරීමයි'
සම්මත සදාචාරයට ගරු කරන නායකයෙකු නම් අඩු තරමේ පරීක්ෂණ පවත්වා අවසන් වන තුරු හෝ වෛද්‍ය ක්‍රිස් නෝනිස්ගේ ඉල්ලා අස්වීම පිළි නොගැනීමටවත් ක්‍රියා කළ යුතුව තිබිණි. ඒ වෙනුවට ඉල්ලා අස්වීම පිළිගෙන ඔක්තෝම්බර් මස 3 දින සිට ක්‍රියාත්මකවන පරිදි ඔහුව තනතුරින් ඉවත් කර ස්වාධීන පරීක්ෂණයක් කිරීම සදහා පත් කර ඇත්තේ චූදිත සජින් වාස් අධීක්ෂණ මන්ත්‍රීධුරය දරණ, මේ පරහදීමට මුල් වූවා යැයි පැවසෙන ක්ෂෙනුකා සෙනෙවිරත්න ලේකම් ධූරය දරණ විදේශ කටයුතු අමාත්‍යාංශයටම වීම අප ශ්‍රී ලාංකීය ජනතාවට කළ බලවත් නින්දාවකි.

අඩුම තරමේ චූදිත මන්ත්‍රීවරයාගේ අධීක්ෂන මන්ත්‍රීධූරයවත් අත්හිටවූ නැති ජනාධිපතිවරයා හදිසියේම ක්‍රිස් නොනිස් මහතාගේ ඉල්ලා අස්වීම පිළිගත්තේ ඇයි? චූදිත සජින් වාස් මන්ත්‍රීවරයාට වතිකානයේදී ශුද්ධ වූ පාප් වහන්සේ මුණ ගැසීමේ අවස්ථාව වැලැක්වීමට මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ මැදිහත් වී ඇත. ඊට හේතුව වී ඇත්තේද මෙම පහරදීම බව දැනගත් ජනාධිපතිවරයා, ඒ පිළිබද ක්‍රිස් නෝනිස් මහතාගෙන් විමසා ඇති අතර, එහිදි ක්‍රිස් නෝනිස් මහතා පවසා ඇත්තේ තමා පැමිණිලි කලේ ජනාධිපතිවරයාට පමණක් වන බවත්, කාදිනල්වරයා එම සිදුවීම පිළිබද විමසූ නිසා තතු පැවසූ බවතය. මේ පිළිබද උරණ වූ ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්වීම පිළිගත් බවද දැන් නොරහසකි.

සමහර විටෙක මෙරට රාජ්‍ය පාලකයෝ මල්වතු, අස්ගිරි නායක මාහිමිවරුන් බැහැදැක, අමූලික බොරු පොරොන්දු, ප්‍රකාශ සිදු කරනවා මෙන්, ක්‍රිස් නෝනිස්ද වෙලාවේ හැටියට බොරුවක් ගොතා කාදිනල් හිමියන්ව 'ඇන්දෙව්වේ' නැත්තේ ඇයිදැයි ජනධිපතිවරයා සිතුවා දැයි අපි නොදනිමු.

කෙසේ වෙතත් මේ හදිසි, අනිසි තීරණයේ පසු අරමුණ, තම මිත්‍ර මන්ත්‍රීවරයාට වතිකානයෙදී සිදු වූ අකරතැබ්බය වෙනුවෙන් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සමග එකට එක කිරීමක්ද යන්න අපිට නිතැතින්ම එන සැකයකි.

මේ තත්වය යටතේ කොන්දක් ඇති කිතුණුවන් සහ රටේ මානව හිමිකම් උල්ලංඝන දකිමින්, මාධ්‍ය මර්ධනයන් දකිමින්, ඒවා නැතැයි ලොවට හඩා ගා කියූ දෛවයේ සරදමකට ලක්වූ ක්‍රිස් නෝනිස් ආදි රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් තව දුරටත් මේ දූෂිත, අශිෂ්ඨ පාලනය සමග එක්ව රට වනසනවාද යන්න තීරණය කළ යුතු තීරණාත්මක හෝරාව දැන් උදා වී තිබේ.

ඒ තීරණය ගන්නට කලින් තවත් සජින් වාස්ලාගෙන් පා පහරවල් කනවාද නැද්ද යන්න ගැන තීරණය කිරීමද ඔවුන් සතුය.

Thursday, July 17, 2014

නිදහස් අධ්‍යාපනය තවදුරටත් නිදහස්ද? (උන්ගේ උරුමය අපේ කරුමය වූ හැටි)

(ඡායරූපය උපුටා ගැනීම http://indikacartoon.blogspot.com බ්ලොග් අඩවියෙනි)


මේ කතා කරන්න හදන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන නෙමේ. ඒ ගැන මුලින්ම කිව්වේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන එකම තැන ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය පමණක් නිසා, නිදහස් අධ්‍යාපනය එතැනට විතරක් ලඝු කිරීම අපි නොදැනුවත්වම සිද්ධ වෙන නිසා.


මේ අද වෙච්ච එක හුදකලා සිද්ධියක්. ගෙවල් පැත්තේ තියන සපත්තු හදන තැනට මම අද ගියේ මගෙ කැඩිච්ච බෙල්ට් එක හදාගන්න. බොහොම මහන්ස
ියෙන් හිටපු එතැන අයිති (සහ එකම සේවක ) අයියා රේඩියෝවේ යන බන්දුල ගුණවර්ධන එක්ක තියන සාකච්ඡාවක් උනන්දුවෙන් අහනවා. වෙනදට වඩා ගොඩක් රෑ වෙලා නිසා මම ඇහුවා දැන්ම යන්නේ නැද්ද කියලා.

'නෑ මල්ලි. මගේ දුවගේ වයස අයට දැනටමත් උ/පෙළ පන්ති පටන් අරන්. ඒත් මගේ කෙල්ලට ඉස්කෝලයක් නෑ. මොකක්ද චක්‍රලේඛයක් ගහපු නිසා සා/පෙළ හොදටම පාස් වුන කෙල්ලව ආණ්ඩුවේ එක ඉස්කෝලෙකටවත් දාන්න බැරිලු'


මම දිගටම විස්තර ඇහුවා....

මේ මනුස්සයා ගමේ කෙනෙක් නෙමේ. ගමට අලුතෙන් ආපු නිසා පොඩි කාලේ ගමේ ඉස්කොලෙට ළමයා දාගන්න බැරිවෙලා. දේශපාලකයෝ පස්සෙන් හිගාකන්න අකමැති නිසාම බොහොම මහන්සියෙන් හම්බ කරන සල්ලි වලින් තමන්ගේ එකම ළමයව මේ පැත්තේ තියන සාපේක්ෂව අඩු වියදම් ජාත්‍යන්තර පාසලකට (එන්සෙෆ් ජාත්‍යන්තර පාසල ) ඇතුලත් කරලා. දුව දැන් අ.පො.ස. සා/පෙළ දේශීය විෂය නිර්දේශයෙන් ඉහළින් සමත්. උ/පෙළ කරන්න ඒ ජාත්‍යන්තර පාසල් වල අවශ්‍ය පහසුකම් නැති නිසා වගේම ඒ දේ වෙනුවෙන් වියදම් කරන්න මේ මනුස්සයට අමාරුකම නිසත් (උ/පෙළ සදහා ජාත්‍යන්තර පාසල් ගාස්තු අධිකයි ) ඇයට සුදුසුකම් මත කොළඹ ආනන්ද බාලිකාවට ඇතුලත් කරන්න හොයලා බැහුවහම ඇය ඒ සදහා සුදුසු බවත්, ආනන්ද බාලිකාවෙන් ඇය ඇතුලත් කරගන්න කැමති බවත් දන්වලා. නමුත් ඒ සදහා අධ්‍යාපන ලේකම් අවසර දීලා නෑ. හේතුව මෑතකදී බන්දුල ගුණවර්ධන විසින් නිකුත් කරපු චක්‍රලේඛයක් නිසා.

ඒ චක්‍රලේඛයට අනුව ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගත්ත දරුවන් (සැ.යු. මේ ශ්‍රී ලංකා පුරවැසියන් වේ)රජයේ පාසල් වලට ඇතුලත් කරගැනීම සම්පූර්ණයෙන් තහනම්.

රේඩියෝ එකෙන් බන්දුල ඒ ගැන පැහැදිලි කරද්දි කිව්වේ, ජාතයන්තර පාසල්වලට ගිය දරුවන් පස්සේ කාලෙක ඉංග්‍රීසි මාධ්‍යයෙන් උ/පෙළ සදහා රජයේ පාසල්වලට ඇතුළත් කරගැනීමෙන් අනුරාධපුරේ අහිංසක ගොවියගේ දරුවට අවස්ථාව අහිමිවෙනවා කියලා.
'බැලූ බැල්මට ඒකත් ඇත්තනේ'...කියල පේන අයට මම මේ ටික කියන්නම්. මම මේ දේවල් දන්නේ මෑතක ඉදලා ප්‍රාථමික අධ්‍යාපන ආයතනයක් එක්ක බොහොම කිට්ටුවෙන් වැඩ කරන නිසා, ඔවුන්ගේ ප්‍රායෝගික ගැටළු අපිට තේරෙන නිසා.

1. නිදහස් අධ්‍යාපනය කියන්නේ තරාතිරම, මූල්‍යමය හැකියාව, පෙළපත ආදිය මත පදනම් නොවන අධ්‍යාපනයක් නම් ඒ අධ්‍යාපනයේ අයිතිය දුප්පත්, පෝසත් සියළු ශ්‍රී ලාංකීය දරුවන්ට තිබිය යුතු නොවේද?

2. මෙය ජාත්‍යන්තර පාසලක ඉගෙනගත් දරුවෙකු (පවා) සතු, අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් නොවේද?

3. එක ශ්‍රේණියේ සිට රජයට බරක නොවී 11 ශ්‍රේණිය දකවා දරුවන් වෙනුවෙන් තම මුදලින් අධ්‍යාපනය ලබා දීම, එම දෙමව්පියන් කරන වැරැද්දක් ලෙස අර්ථ දැක්විය හැකිද?

3.1 එසේ වේ නම් ජාත්‍යන්තර පාසල් තව දුරටත් පවත්වාගෙන යෑමට අවසර දෙන්නේ ඇයි?

4. ජාත්‍යන්තර පාසලක ඉගෙන ගත් දරුවකුගේ ඉංග්‍රීසි දැනුම සාපේක්ෂව ඉහළ වීමෙන් අනුරාධපුර ගොවියාගේ දරුවාට අසාධාරණයක් සිදුවන්නේ, රජයේ පාසල් වල අධ්‍යාපන තත්වයේ අඩුවක් නිසා මිසක් ජාත්‍යන්තර පාසලේ දරුවාගේ වැරැද්දක් නිසා නොවන බව බන්දුල නොදන්නවාද?

4.1 එසේ දන්නවා නම් කළ යුත්තේ රජයේ පාසල්වල ඉංග්‍රීසි අධ්‍යාපනය ඉහළ නැංවීම මිස ජාත්‍යන්තර පාසක් වල ඉගෙන ගත් දරුවන්ට වැට බැදීමද?

5. මැදපෙරදිග රැකියා කොට නැවත් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ලංකාවට පැමිනෙන රටවිරුවන් යයි රජය ඉහළින් අගය කරන විදෙස් ශ්‍රමිකයන්ගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය අහිමි කිරීමට බන්දුලට ඇති අයිතිය කුමක්ද?

6. ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ආරම්භ කළද, පසුකලෙක මූල්‍යමය අපහසුතා නිසා ජාත්‍යන්තර පාසල්වට දරුවන් යැවිය නොහැකි තත්වයක් උදා වූ බදු ගෙවන ශ්‍රී ලාංකීය පුරවැසියාගේ දරුවාට නිදහස් අධ්‍යාපනය අකැපද?

7. අනුරාධපුර අහිංසක ගොවියා ගැන කතා කරන බන්දුලගේ පුතා ඉගෙන ගන්නේ ඇමෙරිකාවේය. අවුරුදු 52ක් වයස අගම්පොඩි රංජිත්ව කහ ඉර උඩදී හප්පන වෙලාවේ චතුර පසන් ගුණවර්ධනට ලංකාවේ වලංගු රියදුරු බලපතක් තිබ්බෙත් නැත. ඒත් ඔහුගේ දඩුවම වූයේ රු.එක් ලක්ෂ හය දහසක දඩයකි. අත්හිටපූ සිර දඩුවමක් ලැබුණද...යළිත් ඇමෙරිකාවට පියෑඹූ පසන්ට කිසිසේත් එය අදාල වන්නේද නැත.

ලයිසන් නැති ඔබ මම කහ ඉර උඩදී ඝාතනයක් කළා නම් අපට කුමක් සිදු වේද? එවිට බන්දුලලාට අහිංසකයන්ගේ අයිතිවාසිකම් මතක් වන්නේ නැත.මේ මතක් වෙලා ඇත්තේත්, ඒ අහිංසකයන් නොමග යවන ප්‍රකාශ සිදුකරන්නේත් උ/පෙළ පංතිවල ළමුන් අඩුවන බවට මැසිවිලි නගන ජාත්‍යන්තර පාසල් හිමිකරුවන්ගේ දුක් ගැනවිල්ලට හිත උණුවෙලාදැයි අපිට සිතෙන්නේ මන්ද?

නිදහස් අධ්‍යාපනය යනු බන්දුලලාගේ සහ එස්බීලාගේ බූදලයක්ද?

(ඡායරූපය උපුටා ගැනීම http://indikacartoon.blogspot.com බ්ලොග් අඩවියෙනි)



Wednesday, July 2, 2014

'ලැට් වල' යනු ධනාත්මක තැනකි ( සුරපුරෙහි ධනාත්මක පැතිකඩ )

ඡායරූපය http://in.reuters.com වෙබ් අඩවියෙනි
අපි මොනවා කිව්වත් මේ ආණ්ඩුව තරම් ජනතාවට ඉතා සුබවාදී ආදර්ශ දුන්න තවත් රජයක් නැති තරම්.

කාලයක් අධිකරණය කියන වචනේ දැක්කහමත් වරදක් කළ නොකළ සියළු දෙනාම සීරුවෙන් හිටගත්තා. අධිකරණයේ තීන්දු ගැන අපහාසාත්මකව කතා කළා කියලා අපේ රටේ ප්‍රසිද්ධ ඌරෙක් හිරේ ගියා. අධිකරණට අහිතක් වෙන වචනයක්වත් මාධ්‍ය වලින් වගේම කට වචනයෙන්වත් පිටවුනේ නෑ. අපි එච්චරම බයෙන් හිටියේ. අධිකරණය උතුම් කියලත් කවුදෝ කොහේදෝ කියලා තිබුණා.

ඒත් අධිකරණයේ ඉහළම තනතුරේ හිටපු ඇත්තිට බේබි නෝනා, හෙර, වංචාකාරී වගේ නම්බුනාම ප්‍රසිද්ධියේම කියලා, නින්දා කරලා පන්න ගන්න මේ ආණ්ඩුව පුදුමාකර උනන්දුවකින් ක්‍රියා කළා. අන්තිමේදී අධිකරණයටත් වඩා දියවන්නාවේ සත්තුවත්ත උතුම් කියලත් තීන්දුව දුන්නා. ලංකාවේ ඉන්න වලත්ත, හොර, තක්කඩි, මැරයෝ ඔක්කොම ඉන්න තැනටත් වඩා අධිකරණය පහළ වැටුනා කියලා දැනගත්තහම පුදුමාකාර සැහැල්ලුවක් දැනුනේ. දැන් ඉතිං හිතුමතේ අධිකරණයේ බලු තීන්දු ගැන  (බල්ලන් ගැන තීන්දු හොදේ) විවේචනය කරන්න ඇහැකි. අපි ගැන නොහිතන ආණ්ඩුවක් වුනා නම් මෙහෙම කරයිද?


ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ ඕනෑම වරදක් දුටු තැන අවම බලය පාවිච්චි කරලා ස්වර්ගමෝක්ෂ සම්පත්තිය බලන්න ෆ්‍රී ටිකට් අරන් දෙන උතුම් ආයතනයක්. වලහෙකුට ගුටි දීලා ඌ හාවෙක් බවට පාපොච්චාරණය කරවන්න පුළුවන් තරම් හැකියාවක් තියන ස්ථානයක්. එහෙව් පොලිසියේ ට්‍රැෆික් මහත්තයෙක් (ඔව් ඔව් අර වංගුවල ගස් මාරු සෙල්ලම් කරන, ඉනවටේ බදින එක කරවටේ දාගෙන ඉන්න අය තමා) එහෙම දැක්කහම අපේ ඩ්‍රැයිවර් උන්දැලගේ කකුල් දෙකම බ්‍රේක් එක උඩ නැගෙනවා. දස සිල් ගත්ත ඒබරං ආතා වගේ කොන්ද කෙලින් වෙනවා. සීට් බෙල්ට් ඉන වටේ එතෙනවා. සීට් එකේ මුත්‍රා නොයන ටික විතරයි.

මෙච්චර කල් එහෙම තිබ්බ පොලිසිය ගැන දැන් අපිට බය වෙන්න දෙයක් නෑ. දැන් ට්‍රැෆික් කොස්සෙක් හරි සාජෙක් හරි දැක්කහම (ඔන්න දැන්ම මහත්තයා කෑල්ල හැලුවා) සත  විසිපහකට ගණං ගන්න එපා. පුළුවන්නම් සීට් එකෙන් නැගිටල (ගරු කරන්න නෙමේ හොදේ) හීනියට අධෝමුඛයට ප්‍රාශ්වාස කරන්නත් ඉඩ දෙතැහැකි. ගෙම්බර් පාට් එකක් දැම්මොත්, දඩ කොළයක් එහෙම දික් කාලොත් සුද්ධ සිංහලෙන්ම උගේ උභය කුළයම පාරිශුද්ධ කරතැහැකි. ඒ විතරක් නම් මදෑ..උගේ ගෙවල් දොරවල් ඔක්කොම කුඩු සංසාර් වෙන්න ගිනි තිබ්බැහැකි. බල්ලෙක් වගේ රස්සාවෙන් දොට්ට දැම්මැහැකි. දැන් ඉතිං උන්ට බයේ නිකං පීචං වෙන්න ඕන නෑ. ජනතාවට හිතැති ආණ්ඩුවක් නොවුනනම් මෙහෙම තත්වයක් ඇති කරයිද?


අපිටත් ඕන වෙලා තිබ්බේ තජුහීද් ජමාත්, බොදු බලා සේනා වගේ තහනම් කරන්න තරම් කොන්දක් තියන මේ වගේ ආණ්ඩුවක්! (හෑ....එහෙම වුනේ නැද්ද තාම?)


සුබ අනාගතයක් !!!

(ඊයේ ලියපු එකක් නොදාන්නත් හිතලා, මාතලන් මාමා බුකියේ දාපු හෑල්ලක් දැකලා දාන්නම හිතුවේ. මෙන්න තැන්කියු එක මාතලන් මාමේ)