Wednesday, September 4, 2013

චේතිය පරපුරේ කබ රාලගේ වික්‍රම (ඔබේ මුදල් හැට්ට අස්සේ හෝ සරම අස්සේ ගසා ගැනීමට කාලයයි)


ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක නගනු ලබන ප‍්‍රශ්නය - 2013.09.04

සෙන්ට‍්‍රල් ඉන්වෙස්මන්ට් ඇන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී නැමති මූල්‍ය සමාගම බංකොලොත් වීම හේතුවෙන් 6000කට වැඩි තැන්පතුකරුවන් සංඛ්‍යාවක් අපහසුතාවයට පත්ව තිබීම පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරමි. 

සෙන්ට‍්‍රල් ඉන්වෙස්මන්ට් ඇන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී (CIFL නැමති මූල්‍ය සමාගම පසුගිය 2012 දෙසැම්බර් මාසයේ සිට තමන්ගේ තැන්පත්කරුවන් වෙත ඔවුන්ගේ තැන්පතුවලට අදාල පොලිය හෝ කල් පිරුණු තැන්පතු ආපසු ලබා දීම අත්හිටුවා තිබෙනවා. මේ හේතුවෙන් එම තැන්පතුකරුවන් බලවත් අර්බුදයකට මුහුණ පා ඇති තිබෙනවා. ඇතැමෙක් ජීවිතයේ සැඳෑ සමයේ ජීවනෝපාය සඳහා, ශල්‍යකර්ම ආදී හදිසි සෞඛ්‍ය වියදම් පියවා ගැනීම සඳහා, දරුවන්ගේ ආවාහ විවාහ කටයුතු සඳහා වූ වියදම් අපේක්ෂාවෙන් තමන්ගේ ඉතුරුම් මුදල් තැන්පත් කළ අයයි. මේ තත්වය තුළ ඔවුන්ට ජීවත්වීම සහ අනෙකුත් වියදම් සඳහා තමන්ගේ දේපළ විකිණීමටත් උකස් තැබීමටත් සිදුව තිබෙනවා.

CIFL ආයතනය තමන්ගේ ප‍්‍රචාරණ කටයුතු මගින් සහ මෙම සමාගම 2011 අංක 42 දරන ව්‍යාපාර පනත යටතේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ බලපත‍්‍රලාභී මුල්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි කරනු ලැබ ඇති බව සඳහන් කිරීම මගින් CIFL සමාගම වෙනුවෙන් 6000කට වැඩි තැන්පත්කරුවන් ප‍්‍රමාණයක් ආකර්ෂණය කරගන්නා ලද අතර එම සමස්ත ආයෝජනය රුපියල් බිලියන 3.4ක් පමණ වෙනවා. 

කෙසේ වුවද සමාගම මූල්‍ය දුෂ්කරතාවයකට මුහුණ පා ඇති බව සඳහන් කරමින් පසුගිය දෙසැම්බර් මාසයේ සිට තැන්පත්කරුවන්ට පොලී මුදල් ගෙවීම අත්හිටවනු ලැබුවා. මේ වන විට ගෙවිය යුතුව ඇති එම පොලී මුදල පමණක් රුපියල් මිලියන 150 ඉක්මවනවා. නමුත් අධ්‍යක්ෂ මණ්ඩලය හා විධායක නිලධාරීන් විශාල වැටුප් හා දීමනා ලබමින් සිටි අතරතුර ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් තැන්පත්කරුවන් රාජ්‍ය බලය උපයෝගී කරගනිමින් තමන්ගේ තැන්පතු මුදල් නිදහස් කරගැනීමට කටයුතු කළා. තත්වය මෙසේ තිබියෙදීත් මහ බැංකුව මෙම මූල්‍ය සමාගමේ අධික්ෂණ කටයුතු නොසලකා හැර තිබූ අතර 2013 මැයි මාසය වන තෙක්ම ඊට අදාල පියවරක් ගැනීමට මහ බැංකුව අසමත් වුණා. අනතුරුව මැයි මාසයේ මහ බැංකුව විසින් රොස්කෝ සහ ස්වර්ණා මෙලෝනි යුවලට ආයතනයේ පරිපාලනය භාරදෙනු ලැබුවා. රොස්කෝ මෙලෝනි එහි සභාපති ධූරය සඳහා පත්වෙන්නේ සමාගමේ කිසිදු මුදලක් ආයෝජනයක් නොකරයි. සභාපති සහ උප සභාපති ලෙස ඔවුන් දෙදෙනා විසින් පිළිවෙළින් මැයි 22දාතමින් හා ජුනි 20 දාතමින් තැන්පතුකරුවන්ට දන්වා සිටින්නේ අදාල පොලී මුදල් සහ තැන්පතු මුදල් ලබාදීමට කටයුතු කරන බවත් ඉවසීමෙන් තමන් සමග රැඳී සිටින ලෙසත්ය.

මේ කිසිදු මැදිහත්වීමක් තුළින් තැන්පත්කරුවන්ට විසඳුමක් නොලැබීම තුළ තැන්පත්කරුවන් සිය ගණනක් ආයතනය වෙත පැමිණ විරෝධය පෑමට කටයුතු කළා. ඒ අනුව මහ බැංකුව, CIFL ආයතනය ගොඩනැගීම සඳහා පිළියම් වාර්තාවක් ලබාදෙන ලෙස පීපල්ස් ලීසිං පීඑල්සී සමාගමට භාර කළා. කෙසේ වුවද එය විසින් කරන ලද නිර්දේශ මොනවාදැයි මේවන තුරුත් තැන්පතුකරුවන්ට කිසිවක් දැනුම්දීමට පියවර ගෙන නැහැ. එසේම අසරණභාවයට පත් තැන්පත්කරුවන් විසින් පිහිටුවාගත් සංගමය විසින් බලවත් ලෙස ඉල්ලීම් කිරීමෙන් අනතුරුව මහ බැංකු අධිපතිවරයා විසින් සාකච්ඡාවක් ලබාදී තිබුණා. එහිදී ඔවුන් තමන්ට සාධාරණයක් වේ යැයි අපේක්ෂා කළත් කිසිවෙකුටත් අදහස් ප‍්‍රකාශ කිරීමට ඉඩදී නොමැති මහ බැංකු අධිපතිවරයා තමන් කියන දේ පමණක් අසා සිටින ලෙසට තැන්පත්කරුවන් වෙත තර්ජනය කර තිබෙනවා. ලෝකයේ මෙවැනි ආයතනවලට ලබාදී ඇති විසඳුම් පරිදිම තැන්පත්කරුවන්ට රුපියල් ලක්ෂයක් හෝ දෙකක් ලබාදී ආයතන වසා දැමීමට තමන්ට බලය පාවිචිචි කළ හැකි බවට ඔහු තර්ජනාත්මකව පවසා සිටිනවා.

එහෙත් මුදල් මණ්ඩලය යටතේ බලපත‍්‍රලාභී මුල්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි කරනු ලැබීමෙන් අනතුරුව මෙසේ ආයතන කඩාවැටීමට ඉඩහැරීමට ඉඩදීමට මහ බැංකුවට නොහැකියි. මෙම කඩා වැටීමෙන් පෙන්නුම් කෙරෙන්නේ රජයේ පාර්ශවයෙන් සිදුවිය යුතු අධීක්ෂණය නිසි ලෙස සිදු නොවී ඇති බවයි. එසේම ආයතනය ස්වභාවිකව මරණයට පත්වන්නට ඉඩහැර කොමිස් මුදල් වෙනුවෙන් CIFL ආයතනය තවත් ආයෝජකයෙකු යටතට පැවරීමට මහ බැංකුව සූදානම් වන්නේදැයි සහ බංකොලොත් වූ ආයතනයේ කොටස් මිලදී ගැනීමට තමන්ට බලකෙරෙනු ඇත්දැයි තැන්පතුකරුවන් දැඩි බියට පත්වී සිටිනවා. මහ බැංකුවේ අධීක්ෂණ කටයුතු නිසි ලෙස සිදු නොවීමේත් ආයතන පරිපාලනයේ දූෂණ ක‍්‍රියා හා වැරදි කළමනාකරණය වෙනුවෙන් තමන් වගකිවයුතු නැති බව තැන්පතුකරුවන් දැඩිව අවධාරණය කරනවා. 

මේ තත්වය තුළ පැන නගින පහත ගැටලූවලට පිළිතුරු අදාල අමාත්‍යවරයා විසින් ගරු සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.
     
    01. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ බලපත‍්‍රලාභී මුල්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමෙන් තැන්පතුකරුවන් වෙත ලබාදී ඇති රැුකවරණය කුමක්ද?

    02. මෙමආයතනය කඩාවැටෙන තුරු අදාල ක‍්‍රියාවලිය මහ බැංකුව විසින් අධීක්ෂණය නොකළේ මන්ද?

    03. අගෝස්තු 26 දාතමින් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් යොමු කරන ලද ලිපියේ තැන්පතුකරුවන් 60%ක කොටස් ගත යුතු බවට අධ්‍යක්ෂ මණ්ඩලයට යෝජනා කරනු ලැබ ඇත්ද?

    04. තැන්පතුකරුවන්ට අදාල තැන්පතු මුදල් හා නියමිත පොලී මුදල් ගෙවීමේ සැලැස්ම කුමක්ද?

    05. ආයතනයේ කඩාවැටීමට වගකිවයුතු අධ්‍යක්ෂ මණ්ඩලයට හා නිලධාරීන්ට එරෙහිව ගනු ලැබ ඇති පියවර කවරේද?