Saturday, August 25, 2012

අපටත් රජකු පහළව ඇතේ! (ටෙනිසන් ජනහමු සතුටු සිතින් නරඹමු)



මා ඊයේ රෑ හදිසියෙ හීනයක් දුටිමි. එහිදී අපි කවුරුත් දන්නා ටෙනිසන් මහතා හදිසියේම 'ටෙනිසන් ජන හමු' තියන්නට සිතයි. මහ රෑ මගේ යටි බඩ කොර නොවන්නට ඉතා රසවත් කථාවක් නොමිලේ නැරඹීමට මටත් අවස්ථාව ඇති වනු නිසැකය. මේ ඒ හීනේ කථාවයි. (සැ.යු. මෙය හීනයක්ම පමණක් වන අතර මේ හරහා ටෙනිසන්තුමා ට යම් අපහාසයක් සිදු වෙයි නම් මා හට කමා කළ මැනවි, එසේත් බැරි නම් හීන ලෝකයෙදී මටද අපහාස කළා මැනවි)

මේ අපේ ටෙනිසන් තුමාය. අපි ඔහු ගැන ආඩම්බර විය යුත්තේ ඔහු සැබෑ දක්ෂයෙක් නිසාය. ඔහුට හදිසියේ මහජනයා හමුවන්න සිතෙන්නේ මැතිවරණයක් කටේ ඇති විටය, ඒත් හමුවන්නේ මැතිවරණය පවත්වන පලාත්වල මහජනතාව පමණි. අපි ඉන්නේ කොළඹය. හොද වෙලාවට අපිටනම් ප්‍රශ්ණ 'ඇත්තේම' නැත.

ටෙනිසන් ජන හමුව ඉතා හොදය, පැසසිය යුතුය. ඊට සහභාගිවන බහුතර ජනතාව ඉතා බුද්ධිමත්ය. කොච්චර බුද්ධිමත්ද කියතොත් තමන්ට තියෙන ඇත්තම ප්‍රශ්ණ වලට ටෙනිසන් තුමා දිය යුතු පිළිතුරු ඔවුන් තමන්ගේ අවස්ථාව ලද විගස තම ප්‍රශ්ණය ලෙස ඉදිරිපත් කරයි. උදාහරණ ලෙස උතුරු නැගෙනහිර සංවර්ධනයේ තරම ගැන ටෙනිසන් වචනයක්වත් කථා නොකලද ප්‍රශ්ණය අසන්නා කීවේ ඉතා විශාල ලෙස උතුරු නැගෙනහිර සංවර්ධණය සදහා මුදල් වෙන් කර ඇති බවයි. (හිකිස්) සොරි....හචිමක් ගියා.....

මේ වෙනකම් හරියට ප්‍රශ්ණයක් ඇහුවේ එකම එක කොල්ලෙක් විතරය. ඒ 'උතුරු ඉන්දියාවටත් දෙනවා කිව්ව විදුලිය කෝ?' කියාය. මෙන්න ටෙනිසන් උතුමා කලබල වූවේය (වූ සේක ද මන්දා) මොනවාදෝ ෆයිල් ටිකක් පෙරලා තව තව බලාගාර හදන බවත්, සාම්පූර් වලත් එකක් හදන බවත්, 95 දී තිබ්බාට වඩා විදුලි අවශ්‍යතාව වැඩි වූ බවත්, එය හිතා ගන්න බැරි වූ බවත් කිව්වේය.

ඉදිරි විදුලි අවශ්‍යතාව ගැන දැනීමක් ගන්න බැරි වූයේ උතුමාට ඉන්න 1000 ට කිට්ටු ටෙනිසන් උපදේශකයන්ගේ වැරැදද නිසාය. ඔවුන් සදහා මාසයකට වෙන් කරණ මුදල රු.කොටි 30කට වැඩිය. මේ සදහා ටෙනිසන්තුමා පළි නැත. මේ උපදේශකයන් ච.බ.කු. හෝ ර.වි. පත් කළ අය විය යුතුය. (හිකිස්) ආයෙත් සොරි මෙයා....

අපේ ටෙනිසන් තුමාට භාෂා තුනම ඉස්සර පුළුවන් වුනත්, ළගදී සිට රාජකාරි අධික බැවින් දැන් දෙමළ මතක නැත. ඊටත් වඩා අර අහිංසක දෙමළ පරිවර්තකයාට රස්සාවත් නැතිව යන එක ගැන එතුමා සංවේදීය.

කොහොම වුනත් තාම ටෙනිසන් ජන හමුව සජීව ලෙස යන්නේය. මා නම් හැම සතියේම ටෙනිසන් ජනහමු තියනවාට කැමතිය. ඒ මම සිකුරාදා රෑ යන හොල්මන් ෆිල්ම් වලට කැමති නැතිය. මේක බැලුවොත් අඩුම තරමේ ලේ වත් පිරිසිදු වෙනවාය.

මට මෙතනින් පෝස්ට් එක නවත්වන්න වෙනවාය. ඒ මගේ යටි බඩ කොරවෙලා තියන නිසාය. ඒ චූ බරටද නැත්නම් හිනා වෙලා වැඩි කමටද දන්නේ නැත.

සුරපුරයක් වන් අප ලක් අපට දිවයිනේ භාරකරු ඔබය...
ටෙනිසන් උතුමනි...ඔබ වහන්සේ ගැන අපට ඇති ආඩම්බරය විස්තර කිරීමට මා හට වචන නැත.


(මේ දැන් දැන ගැනීමට ලැබුනේ ටෙනිසන්තුමාට අපහාස කරණ අයට කිසිම නීතිමය පියවරක් නොගන්නා ලෙස පොලිස්පති තුමාට එතුමාම උපදෙස් දී ඇති බවයි, බලන්න අපි කොච්චර ආඩම්බර වෙන්න ඕනද ඈ.. )

Sunday, August 19, 2012

මගේ ලබන ආත්මේ (එන්න ස්වප්න ලෝකයට)



මගේ ලබන ආත්මයේ මා ප්‍රාර්ථනා කරනුයේ රිවස් ජීවිතයකි. ඒ ජීවිතය මරණයෙන් අවසන් වනු වෙනුවට මරණයෙන් ආරම්භ විය යුතුය. උපතෙන් අවසන් විය යුතුය.

මම මරසාන්න අත්දැකීම් විද ටිකෙන් ටික සුවයට පත් වෙමි.

මම මහළු මඩමේ ලෙඩ ඇදේ සිටිමි. නමුත් දිනෙන් දින නව දවසක් උදාවන විට ශරීරය වඩ වඩාත් ප්‍රාණවත් වන බව දැනේ. ක්‍රමයෙන් දිරා පත් වන ජීවිතයකට වඩා ඉතා පහසුවක්, සුවයක් වින්දනය කරමින් සිටිමි. 

මා මහළු මඩමෙන් දොට්ට දමන්නේ, මා වඩාත් ශක්තිමත් නිසාත් වඩාත් නිරෝගී නිසාත්, තාරුණ්‍යය මා වෙතින් පළා ගොස් නොමැති නිසාත්ය. මම මාස්පතා විශ්‍රාමික වැටුප් ලබන්නට පටන් ගනිමි. මා රාජකාරි ආරම්භ කරණ දිනයේම මා හට ත්‍යාග ලෙස රන් ආලේපිත ඉතා වටිනා අත් ඔරලෝසුවක් සහ විශාල මුදලක් දීමනාවක් ලෙසද ලැබෙන අතර මා වෙනුවෙන් ඉතා විශාල සාදයක් ද පවත්වනු ලැබේ.

මම වසර 40ක් රැකියාව කරමි. වැටුප් වල යම් යම් හීන විමක් ඇතද, මූලාරම්භයෙදී ලද විශාල මුදල සහ විශ්‍රාම වැටුප ඉතුරු කිරීමෙන් ලද මුදල ආයෝජනය කිරීමේ ප්‍රතිලාභ නිසා ජයග්‍රාහී ජීවිතයක් ගෙවමි. ඉතා තරුණ වයසේ මම විශ්‍රාම ගනිමි. මා ජීවිතයේ ගෙවූ සතුටුම කාලයක් වන්නේ විශ්‍රාම ගැනීමට ඉතා ආසන්න කාලයේ ගෙවූ රැකියා පුහුණු කාලයයි.

මම දැන් දැන් සාදවලට ඇබ්බැහි වෙමි. මත්පැන් ලෝලියෙක් වෙමි. නමුත් සෞඛ්‍යය තත්වය දිනපතා වඩාත් යහපත් වේ. මාගේ ප්‍රේම සම්බන්ධතා එන්න එන්නම කෙලිලොල් වෙයි. දැන් මා උසස් අධ්‍යාපනය සදහා සූදානම් විය යුතුය. මීළගට ප්‍රාථමික අධ්‍යාපනයයි. උසස් අධ්‍යාපනයක් ලද මා හට ප්‍රාථමික විභාග කිරි කජු මෙනි. කැපී පෙනෙන දස්කම් දක්වන මා හට පාසලෙන්, දෙමව්පියන්ගෙන් සහ වැඩිහිටියන්ගේන් ලැබෙන තෑගි, ප්‍රසංශා අඩුවක් නම් නොවේ.

මා හට කිසිම වගකීමක් නැත. ඉතා සැහැල්ලු අවසානයකට ළදරුවෙක් ලෙස කෙළි දෙළෙන් සූදානම් වෙමි. මව් කුසට රිංගා ගැනීම තරමක් අපහසු වුවද, ඒ තුළ මාස 9ක් පාවෙමින් ගත කරණ කාලය කොපමණ සුන්දරද? මෙය සුඛොපභෝගී තරු හතේ හෝටලයක් වැනිය. උණුසුම නොඅඩුව ලැබෙනතර, ආහාර පාන නිරායාසයෙන්ම මට ලැබේ.

හා..හා... ඇති ඇති...ඉතුරු ටිකත් මම ම කියන්න ඕන ඈ...දැන් ඉතින් හීන දැකපන් මටත් මෙහෙම උනොත් කියල...

Friday, August 10, 2012

PayPal ලංකාවේ අපිටත් ඕනෙ නම්....



මෙච්චර කාලයක් කතා නොකරපු මාතෘකාවක් පටන් ගත්තේ හිතවත් බ්ලොග් අවකාශයේ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලීමක් කරන්න. මේ උත්සහයෙන් වෙනසක් කරන්න හැකි වුනොත් ඒකෙන් පොදුවේ මුලු රටේම ඉන්න සියළුම මිනිස්සුන්ට, විශේෂයෙන් අන්තර්ජාලය භාවිතා කරන, මාර්ගගත ගණුදෙනු (Online Transactions) සිදු කරන සියළු දෙනාට බොහොමයක් ප්‍රයෝජනවත් වේවි. ඇත්තටම කිව්වොත් ජාතික කාර්‍යයක්.

පේ පෑල් (PayPal) කියන්නේ අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාව. ඒක පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුනත් අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ අප්‍රකාශිත සම්මතය ලෙස හදුන්වන්න පුළුවන්.

අන්තර්ජාලය තුළින් ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන් සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal අන්තර්ජාල පරිශීලකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා.

ගෙවීම් ලබාගැනීම සඳහා PayPal සේවාවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වුනත් ගෙවීම් කිරීම සඳහා එවැනි ගිණුමක් අත්‍යවශ්‍ය නොවන නිසා විද්‍යුත් ණය හෝ හර පතක් (Credit Or Debit Card) ඇති ඕනෑම කෙනෙකුට PayPal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමට හැකි නිසා එය ප්‍රමුඛතම මුදල් හුවමාරු සේවාව බවට වෙලා තියනවා.

ප්‍රධාන ප්‍රශ්නය.

ශ්‍රී ලාංකිකයන්ට PayPal හරහා ඕනෑම අයෙකු වෙත මුදල් යවන්න පුළුවන් වුනත් කිසිම අයෙකුගෙන් මුදල් ලබාගැනීම කරන්න බැහැ.

මේ නිසා වෙනත් සංකීර්ණ ගෙවීම් ක්‍රම හරහා මුදල් ඉල්ලන ශ්‍රී ලාංකික සේවා සපයන්නන්ගෙන් භාණ්ඩ හා සේවා ලබාගන්නවාට වඩා පහසු ක්‍රමයකින් (ඒ කියන්නේ PayPal භාවිතයෙන්) සේවා සපයන ඉන්‍දියානු ජාතිකයන් වගේ අයගෙන් සේවයන් ලබාගැනීම පාරිභෝගිකයන් සිදු කරනවා. (උදා: වෙබ් අඩවි නිර්මාණය, ග්‍රැෆික් නිර්මාණය, දත්ත ඇතුළත් කිරීම්)

තනිවම හා කණ්ඩායම් වශයෙන් මෙම සේවා සපයා මුදල් උපයන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ඉන්නව වුනත් PayPal ශ්‍රී ලංකාවට සහය නොදැක්වීම ශ්‍රී ලංකාව තුළට මුදල් ගෙනෙන මෙම පිරිසට ඉමහත් බාධාවක් වී තියනවා. අපි හැමෝම දන්නවා මේ ක්‍රමය ඉතාම වේගයෙන් ප්‍රචලිත වන විදේශ විණිමය උපයන ක්‍රමයක් බව. මෙම සේවාවන් 'Business Process Outsourcing' (ව්‍යාපාරික සේවා පිටතට පැවරීම) යන නමින් හදුන්වනවා.

දැනට මොවුන් අනුගමනය කරන එක් ක්‍රමයක් තමා වෙනත් රටක ව්‍යාජ ලිපින යොදාගෙන PayPal ගිණුම් තැනීම. ඒත් එහෙම කිරීමෙන් සියළු මුදල්ද PayPal ගිණුමද අහිමිවීමේ අවදානම තියනවා.

ගැටළුවට හේතුව.

ඉහත දක්වපු විදිහට භාවිතය සීමා කරන්න හේතුව විමසල බලන්න අවශ්‍යයයි.

ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ යල් පැනගිය නීති ලෝකයේ හා ජනතාවගේ අවශ්‍යතා අනුව යාවත්කාලීන කරන්න අකමැති නිසා PayPal ආයතනයට තමන්ගේ සේවාවන් ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි වෙලා තියනවා.

විසදුම.

ශ්‍රී ලංකා රජය PayPal ආයතනය ශ්‍රී ලංකාවට සහය දක්වන්නට එකඟ කරවාගන්නේ නම් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති 21වැනි සියවසට ගැලපෙන පරිදි යාවත්කාලීන කරන්නේ නම් ශ්‍රී ලාංකිකයන්ට ලැබිය හැකි වාසි රැසක් තියනවා.

උදාහරණ.

1. eBay වැනි ජාලගත වෙළඳපොළවල් හරහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ විකිණිම හා එයට අදාළ මුදල් ලබාගැනීම.

2. සුළු හා මධ්‍යම පරිමාණ ග්‍රැෆික්, වෙබ් නිර්මාපකයන්, දත්ත ඇතුලත් කරන්නන් හට තමන්ගේ සේවා සපයා ඒ සඳහා අදාළ මුදල් ලබාගැනීම.

3. ඉහත කාරණා දෙක සඳහාම PayPal සහය දක්වන ඉන්දියාව වැනි රටවල් සමග සම මට්ටමෙන් තරග කරන්නට හැකි වීම.

4. තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රය හරහා ශ්‍රී ලංකාව තුළට පැමිණෙන මුදල් ප්‍රමාණය වැඩිවීම.


විසඳන මග.


1. PayPal Pte. Ltd. යනු ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි eBay Inc. ආයතනයේ උප ආයතනයකි. ශ්‍රී ලංකා රජය ඔවුන් සමග කටයුතු කොට ඔවුන්ගේ සේවා මෙරට වෙත ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ගැළපෙන අයුරින් වෙනස් කළ යුතුය.

2. PayPal ආයතනය මගින් අප ඉල්ලා සිටිය යුතු සේවා මේවායි,

     * ඕනෑම මුදල් ප්‍රමාණයක් ඕනෑම රටක සිට ශ්‍රී ලංකාවේ අයෙකුගේ PayPal ගිණුමට ගෙන්වා ගැනීමේ පහසුකම.

     * ශ්‍රී ලාංකිකයෙකුගේ PayPal ගිණුමේ ඇති මුදල් ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමකට ගෙන්වා ගැනීමේ පහසුකම.


මේ විසදුම් වෙනුවෙන් එකමුතුවක් තුළින් යමක් කරන්න කිහිප දෙනෙක් මේ වෙනකොටත් එකතු වෙලා තවත් අයව එකතු කරගනිමින් ඉන්නව කියන සුභවාදී පණිවිඩයත් අපිට දැනගන්න ලැබුනා. ඒ එය මේ වෙනුවෙන් මාර්ගගත ඉල්ලීමක් අත්සන් කරගනිමින් ඉන්නවා.

පහත තියන සබැදුම හරහා මේ ඉල්ලිමට සහයෝගය දැක්වීමට විනාඩියක් වැනි කෙටි කාලයක් වැය කරන්න කියල බ්ලොග් අවකාශයේ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලනවා. 

මාර්ගගත ඉල්ලීම ට අත්සන් කිරීම් (Online Petition) 

http://j.mp/PayPalForSriLanka


ට්වීටර් (Twitter) ගිණුම

https://twitter.com/#!/search/?q=%23PayPalForSriLanka


ෆෙස්බුක් (Facebook) ගිණුම

https://www.facebook.com/groups/paypalforsrilanka/



ප.ලි. මේ පිළිබද අපව දැනුවත් කළ සහ PayPal පහසුකම් අප රටට විවෘත කරගැනීමට වෙහෙස වී ක්‍රියා කරන, අප හිතවත් රාමාගේ අවඩියේ
රාමා  ට සහ ඒ වෙනුවෙන් ක්‍රියා කරන අනිත් සහෝදරයන්ට අපගේ විශේෂ ස්තුතිය.

තවද, මේ පිළිබදව පුළුල්ව දැනුවත් කිරීමට විජෙට්ටුවක් සැදීමට ක්‍රියා කරගෙන යන බව දැන ගැනීමට ලැබුණු අතර, ඒ සදහා ද ඔබෙගේ කාරුණික සහයෝගය ඉදිරියේදී අපේක්ෂා කරමු.