Friday, August 9, 2013

ලයිසන්ලත් සක්විතිලාගේ හෙන ගහන CIFL වංචාව (ශ්‍රී ලංකා මහ බැංකුවේ බබා පාට්)


දුක් මහන්සියෙන් යමක් ඉතුරු කරගත් මිනිසුන්, ඉන් පසු ඒ ඉතිරිය තවත් වර්ධනය කරගන්න පෙළඹීම ස්වාභාවිකය. සක්විතිගෙන්, කොතලාවලගෙන් මට්ටු වූ මිනිසුන් මේ ඉතිරිය තැන්පත් කරන්නේ හොදින් සොයා බලාය. සොයා බලන්නට මිනිස්සුන්ට තියන හොදම ක්‍රමය මහ බැංකුවය. ශ්‍රී ලංකා මහ බැංකුව කලින් කලට ප්‍රසිද්ධ මාධ්‍ය වල, මහ බැංකුවේ අනුමත බැංකු සහ මූල්‍ය සමාගම් වල ලැයිස්තුවක් පළ කරයි. එම ආයතන වල කටයුතු, ක්‍රියාකාරීත්වය සොයා බලන්නට වෙනම දෙපාර්තමේන්තුවක් පවා ඇත.

CIFL (Central Investments & Finance PLC) යනු එලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත මූල්‍ය ආයතනයකි. 1966 ආරම්භ කර 2005 දෙසැම්බර් මස ලියාපදිංචි මුදල් සමාගමක් බවට පත් වී ඇති ආයතනය මේ වනවිට රටේ අසාර්තකම මූල්‍ය ආයතනය පමණක් නොව නූතන සක්විති බවට පත් වී ඇත.



Registration Certificate under the Finance Companies Act



CIFL හි මුදල් තැන්පත්කරුවන් හට දැනට මාස 7ක පමණ කාලයක් තිස්සේ තැන්පතු වලට අදාල පොලී මුදල් සහ කල්පිරුනු ස්ථිර තැන්පත්වල මුලික මුදල පවා ගෙවාගත නොහැකි තත්වයකට පත්ව ඇත.

මින් වසර 2කට පමණ ඉහත සිට ලෝ ප්‍රකට ක්‍රිකට් තරුවක් වන සනත් ජයසූරිය ඔවුන්ගේ අධ්‍යක්ෂ කෙනෙක් ලෙසත්, ඔහු CIFL ආයතනයේ සන්නාම තානාපති ලෙසත් ක්‍රියාකරන බව පවසමින්, එසේම ආයතනයේ නීතිමය වලංගුභාවය ඔප්පු කරමින්, තරමක් ඉහළ පොලී අනුපාත ලබා දෙන බව පවසමින් මෙම ආයතනය ඉතා සිග්‍රයෙන් මුදල් තැන්පත්කරුවන් තමන්ගේ ග්‍රහණයට නතු කරගැනීමට සමත් වූහ.



Sanath Jayasuriya As CIFL Brand Ambassador


ජීවිතයේ සැදෑ සමය ගෙවීමට තමන් උපයාගත් අර්ථ සාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් මෙහි තැන්පත් කර එහි පොළියෙන් ජීවත්වන වැඩිහිටි පුරවැසියන් සේම, තම ඉඩ කඩම් විකුණා ගත් මුදල් අනාගත අයෝජනයක් වෙනුවෙන් යොදවනතෙක් තැන්පත් කර ඇති තැන්පත්කරුවන් දක්වා 5000කට අධික තැන්පත්කරුවන් CIFL ආයතනයේ අත්තනෝමතික මූදල් පාලනය හේතුවෙන් මේ වනවිට අන්ත අසරණ තත්වයකට පත්ව ඇත. 

සක්විති වෙත මුදල් ලබා දුන් ජනතාව මෙන් නොව, මොවුන් මේ මුදල් තැන්පත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව කෙරෙහි තිබෙන විශ්වාසය මත පදනම්ව බව මේ තැන්පත්කරුවන් සමග කතාබස් කිරීමේදී මැනවින් පසක් වේ. නමුත් මේ පිළිබදව විමසීමට මහ බැංකුවට ගිය සමහර තැන්පත්කරුවන්ගෙන් මහ බැංකු නිළධාරීන් අසා ඇත්තේ 'ඇයි ඕගොල්ලො ඔතන සල්ලි දැම්මේ?' කියාය.


මේ වනවිට මේ ගැන සොයා බැලීමට මහ බැංකුව නිළධාරියෙක් පත් කර ඇති නමුත්, මෙහිදී මහ බැංකුව වගකීම් පැහැර හරිමින් ක්‍රියා කළ ආකාරයක් පැහැදිලිව පෙනේ. එමෙන්ම නිර්ලජ්ජිත මහ බැංකු නිළධාරී CIFL ආයතනයේ කළමණාකාරීත්වයේ වෙනසක් සහ කොටස් හිමිකාරීත්වයේ වෙනසක් මෙම කඩාවැටීමට හේතු වූ බවත්, නව කොටස් හිමියන් සහ නව ආයෝජන පිළිබදව එම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව නොමග යැවූ බවත් ප්‍රකාශ කොට අත සෝදා ගැනීමට සූදානම් වෙති. අපට ඇති ප්‍රශ්ණය වන්නේ ශ්‍රි ලංකා මුදල් මණ්ඩලයේ පිළිගත්, ලියාපදිංචි මුදල් සමාගමක මූල්‍යමය ශක්තිය මෙවන් තත්වයක් දක්වා බිද වැටෙනතෙක් මහ බැංකුව සිටියේ බක්න්නිලාගෙන, බඩ උලාගෙන, බට කලියාගෙනදැයි කියාය.

තවත් මෙය දුරදිග ගොස්, තවත් වැලිවේරියක් පුරහල CIFL ආයතනය ඉදිරිපිටි ඇති නොවේවායි අපගේ ඒකායන පැතුමයි. ඒ පැතුම ඉටු කිරීමට උරදීම ශ්‍රී ලංකා මහ බැංකු නිළධාරීන්ගේ පරම යුතුකමයි.



(මෙය හිතුමතේ හෝ CIFL ආයතනයේ නමට හානිකිරීම පිණිස වෙළද අරමුණකින් පළ කළ ලිපියක් නොව වගකීම් සහගතව සොයා බලා පළ කළ ලිපියකි. එසේම මේ ආයතනය නිවැරදි මාර්ගයට පැමිනේවි යැයි මාස 6කට අධික කාලයක් ඉවසා බලාසිට ලියන ලද ලිපියක් බව වගකීමෙන් පවසමි.)

මේ අසාධරණය නිසා අසරණ වූ තැන්පත්කරුවන් එකතු වී 'CIFL තැන්පතු හිමියන්ගේ සංගමය' (CIFL Deposit Holders Association) නමින් නීතිමට වලංගුභාවයක් සහිත සංගමයක් පිහිටුවාගෙන ඇත. එහි බ්ලොග් අඩවියේ සබැදිය පහත දැක්වේ.


http://cifldha.blogspot.com