Friday, April 18, 2014

සරම අස්සෙන් මතු වුණ බිත්තරේ කාගෙද? (ආශ්චර්‍යමත් නාවික කේන්ද්‍රය)

පින්තූරය www.ada.lk වෙබ් අඩවියෙනි 

එජාප මන්ත්‍රීවරුන් හම්බන්තොටදී පහර කෑමට ලක්වීම හෙළා දකිමින් පළවන නොයෙකුත් ප්‍රකාශ දුටු විට මා හට සිනහ පහළ විය.

මේ ප්‍රහාරයට සමබන්ධ වූයේ දකුණේ ලේ ඇති වීර දේශමාමකයින් පිරිසක් මිස අන් කවුරුත් නොවෙති. මේ ප්‍රහාරය සැලසුම් සහගතව කළ ප්‍රහාරයක් ලෙස අර්ථ දැක්වීම පදනම් විරහිත චෝදනාවක් වේ.

හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ යනු හම්බන්තොට ජනතාවගේ ජීවිතයයි. ඒ බව මේ එජාප මන්ත්‍රීවරු නොදන්නවා නොවේ. ඒ බව දැන දැනම දිනකට සිය ගණනක් නැව් යන (කි.මී.20 පමණ ඈත මුහුද දෙසින්) හම්බන්තොට වරාය සහ දහස් ගණනක් මගීන්ට දිනපතා සෙත සලසන මත්තල ගුවන් තොටුපළ (මත්තල ගුවන් ප්‍රදර්ශනාගාරය නැරඹීමට දිනපතා 'බස්' මගීන් දහස් ගණනක් එන බව රහසක් නොවේ) පහත් කොට සැලකීමෙන් එජාප මන්ත්‍රීවරුන් කලේ රාජපක්ෂ පරම්පරාවම නින්දාවට පත් කිරීමකි.

පින්තූරය www.lankadeepa.lk වෙබ් අඩවියෙනි 

අනෙක් අතට කිසිසේත් මෙය සැලසුම් සහගත ප්‍රහාරයක් විය නොහැක. එසේ වූවානම් ප්‍රහාරකයන් සතුව ගිනි අවි තිබෙන්නට ඉඩකඩ වැඩිය. අඩුම තරමේ හම්බන්තොට නගරාධිපති අතවත් කැටපෝලයක් වත් තිබුනේ නැත. ඔවුන් සිදු කලේ ඔවුන්ගේ සරම් අස්සේ තිබූ අන්තිම බිත්තරය (කලින් තිබූ බිත්තර දෙකෙන් එකක් නාමල් මහත්තයාට ඡන්දය දුන් පසු හැලී ගියබව ඔවුන්ම පවසති ) එජාප මන්ත්‍රීන් වෙනුවෙන් පාවිච්චි කිරීම පමණි.

අනෙක් අතට හම්බන්තොට වරාය අයිති එහි වල හෑරූ රාජපක්ෂලාටය. ගල්බෝර දමා ගල කැඩූ ජයසේකරලාටය. වතුර නැතිව විවෘත කළ ලොව ප්‍රථම වරාය බවට පත් කළ ආචාර්‍ය වික්‍රමලාටය. මේ ඔවුන්ගේ පරම්පරාගත නින්දගම්වලින් ලැබුණු ආදයම් මිසක් ජාත්‍යන්තර ණය මුදල් නොවේ. එහෙව් තැනක් බලන්නට යන්නට තරම්, ශ්‍රේෂ්ඨාධිකරණයටත් වඩා උතුම් යැයි ආණ්ඩුව විසින් ප්‍රත්‍යක්ෂයෙන්ම දෙසා වදාළ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඇත්තේ කුමන හයිකාරකමක්ද?

'මා රටේ අයිතිකාරයා නොවේ, තාවකාලික භාරකාරයෙක් පමණයි' යැයි කවුදෝ හීනියට කොදුරනවා මට හීනෙන් මෙන් ඇසෙන්නේ ඇයි?