Saturday, July 28, 2012

මව්බිම, යථාර්තය සහ ප්‍රායෝගිකත්වය



දේශපාලන විද්‍යාව නැමති විෂය ගැන මාගේ දැනුම අල්පය. නමුත් දේශපාලනය නැමති ප්‍රායොගික සාමාජීය ක්‍රියාව ගැන මා සතුවද කියවීමක් ඇත. ධනවාදයේ, ලිබරල් වාදයේ, සමාජවාදයේ, මාක්ස්වාදයේ හෝ වෙන මොනයම් වාදයකවත් ගුණ දොස් විමසීමට හෝ සංසංදනය කිරීමට වඩා 'යථාර්තවාදය' ගැන විමසීම මාගේ කැමැත්තයි. එනමුදු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මෙම කුමන හෝ වාදයක පැටලි සිටීම නිසා අපට මෙම වාද අමතක කර ප්‍රායෝගින දේශපාලනයක්  පිලිබඳ සංවාදයක් ඇරඹිය නොහැකිය.


අයි. ටී. එන්. එකෙන් පිටත ලෝකයක් ඇතැයි දන්නා සියළු දෙනා මේ වනවිට යම්තාක් දුරට මේ වනවිට රටක් ලෙස අප මුහුණ දෙමින් පවතින ආර්ථික, සාමාජීය, සංස්කෘතික සහ ආධ්‍යාත්මක පිරිහීම පිළිබද වැටහීමක් ලබා ඇති බව විශ්වාසය. රාවණ සංකල්පවලින් බැහැරව ශ්‍රව්‍යය දෘශ්‍යය ඉතිහාසයක් ගැන අප දන්නා මෑත ඉතිහාසයේ වසර සිය ගණන තුළද මෙවැනි පිරිහීම් නොතිබුනා නම් නොවේ. නමුදු පිරිහීමේ වර්ධනයක් සහ ඒවා සමාජයට විවෘතවීමේ ඉඩ හසර ඉතා ඉහල ලෙස වැඩිවීමක් මේ වන විට සිදු වී ඇති බවද නොරහසකි.

මෙම සමාජ යථාර්තයන් වලට පිළිතුරු සෙවීම සදහා ඉහත සදහන් කරන ලද සියළුම වාද වලට පාහේ අඩු වැඩියෙන් අප අවස්ථාව සලසා දී ඇත්තෙමු. එවන් වටපිටාවක් තුළ අප වර්තමානය වනවිට මුහුණ දෙන බිඳ වැටීම් වල කැපී පෙනෙන වර්ධනය යනු එකි දේශපාලනයන් තුළ පැවති බරපතල අඩුපාඩු සහ රැවටීම්ය.


පසුගිය සති කීපය තුළ මඩ ප්‍රචාර හැරුණු කොට වගකිවයුතු (යැයි අප කියනා) මාධ්‍යයන් තුළ අරක් ගත් ප්‍රමුඛ පුවත් සහ සුප්‍රසිද්ධ යථාර්තයන් කිහිපයක් දෙස අවධානය යොමු කිරීමෙන් මෙහි සත්‍යයතාවය ගැන වැටහීමක් ලබා ගැනීම දුෂ්කර නොවේ.

මේවා අරුමයන් නොවූවද දැන් දැන් අපි යම් සීමාවකට පැමිනෙමින් සිටීදෝයි මට  හැඟේ. ඒ සීමාව වන්නේ නැවත අප මව්බිම මේ සියළු අංශයන්ගෙන්,  එක අංශයකින් හෝ අංශ කිහිපයකින් බරපතල ලෙස ඇද වැටීමයි. ගොඩ ගත් නොහැකි ලෙස ඇද වැටීමයි.


පාලනය කරන්නේ කුමන පිරිසද, කුමන පක්ෂයද යන්න පිලිබද මා හට ගැටළු නැත. නමුත් ඔවුන් පාලනයට යොදා ගන්නා න්‍යායන් පිළිබඳව නම් අතිශය තීරණාත්මක විග්‍රහ ඇත.


පොදුවෙ ගත් කළ, මෙතුවක් කල අප කර මතින් පුටුවලට ආ සියළු දෙනාගේ අදොනාවන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ හඳුනාගත හැක. ඒවා නම් 'ධනවාදයට මානුෂික මුහුණුවරක්' සහ 'සමාජවාදයට ප්‍රායෝගිකත්වයක්' ය. ධනවාදයට මානුෂික මුහුණුවරක් දෙන්නට ආ සියල්ල අප හට ඒ කී අයුරින්ම මානුශික වෙස් මුහුණක් පමණක්  පළඳවා 'ගරා යක් නැටුම්' සහ 'ජසයා සහ ලෙන්චිනා' පෙන්වූහ. සමාජවාදයට ප්‍රායොගිකත්වයක් දෙන්නට ආ පිරිස 'රටේ ප්‍රායෝගිකත්වය' සමග එක පෙළට සිට ගන්නටවත් සමත් නොවූහ.

යථාර්තවාදය සහ ප්‍රායෝගිකතවය සංකළණය කොට දෙමුහුන් ප්‍රතිපත්ති පෙරදැරි කොට ගත් පාලනයක් ඉහත සාකච්ඡා කරන ලද ගැටළුවලට විසදුම් සපයාවී යන්න මාගේ නිගමනයයි. ඒ පදනම න්‍යායයන් සමග  සබැඳු කළ අප සතු න්‍යායාත්මක විසදුම් දෙකක් ඇත; යන්න මාගේ කියවීමයි.


1. මානුෂිකවාදී අනන්‍ය වූ දේශීය ධනවාදය
2. ප්‍රායෝගිකවාදී අනන්‍ය වූ දේශීය සමාජවාදය


මින් එකක් හෝ පරිබාහිර සාධණීය න්‍යායක් විත්තිවාචනය කිරීම ඔබගේ යුතුකමයි.



Monday, July 23, 2012

ඉන්දියන් 'පොලිස් රැවුල'




දවස් කීපයකට කලින් රාජ් ගේ පොලිස් කථාවක් දැක්ක. කාලෙකට කලින් දුමියගේ අල්ලපු රටේ එවුන්ට කෝචොක් දැම්ම ලිපියත්,  ලඟදි කියෙව්වා. මේ ලිපි දෙකම කියෙව්වේ එකම දවසේ. ඉතින් මටත් කාලෙකට කලින් අහපු කථාවක් මතක් වුනා.


මේකත් පොලිස් කථාවක්. හැබැයි මේක ඉතින් පොලිස් කිව්වට ලංකාවේ පොලිස් නෙමේ. ඉන්දියන් පොලිස්. ඉන්දියන් පොලිස් කිව්වහම ඉතින් දන්නවනේ. අපේ ලංකාවේ පොලිසියටත් වඩා අන්ත ජරා කියල. දැකල ඇතිනේ අර පරණ හින්දි චිත්‍රපටිවල එහෙම වලිය ඉවරවෙන කොට සයිරන් එකත් දා ගෙන එන්නේ.


සාමාන්‍යයෙන් අපිට වුනත් ඉන්දියන් පොලිස් කිව්වහම මැවෙන්නේ ඔය උඩින් ඉන්න පොලිස් මාමගේ රූපටය සමාන රූපයක්නෙ. උඩු රැවුල වවල, පහළට කරකෝලා, මරුමුස් පෙනුමට, යටි ගිරියෙන් කෑ ගහන.....


ඉන්දියාවේ පොලිසිය එහෙම රැවුල වවනෙනේ තමන්ගේ ආධිපත්‍යය පෙන්නන්නලු. කොටින්ම ඉන්දියාවේ 'මධ්‍ය ප්‍රදේශ්' ප්‍රාන්ත රජය මධ්‍ය ප්‍රදේශ් පොලිසියෙ අයට මාසෙකට ඉන්දියන් රුපියල් 30 ක දීමනාවකුත් ගෙවනවා, උඩු රැවුල වවනවට.


කොහොමින් කොහොම හරි කථාව මෙහෙමයි. ඔය ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් වල 'බෝපාල්' පොලිසියේ කට්ටියක් පුරුදු වෙලා හිටියලු හැමදාම එක හෝටලේකින් දවල් කෑම කන්න. හැබැයි මුන් ටික කවදාවත් සල්ලි නම් දෙන්නේ නෑලු. ඔය අතරේ බෝපාල් පොලිසියට අළුතෙන් එන පොලිස් මහත්තුරුත් අනිත් අයව අනුගමනය කරලා ඒ හොටලෙන්ම කාල සල්ලි නොදී මාරු වෙනවලු. මේක කොච්චර පාඩු වුනත් අර හෝටලේ අයිතිකාරයා මුන්ගේ හැටි දන්න නිසා පාඩුව දරාගෙන පාඩුවෙ ඉන්නවලු.


මේක කොච්චර සාමාන්‍යය සිද්ධියක් වුනාද කිව්වොත් යුනිෆෝම් නැතත් නිකං කාලා යන උන්ගෙන් සල්ලි ඉල්ලන්නවත් යන්නේ නැහැලු.  හැබැයි අර 'රැවුල' නිසා ලේසියෙන්  අඳුනගන්න පුලුවන් නිසා පොලිසියෙ නොවන උන් නිකං කාලා ගියොත් පට ගාල බඩු මාට්ටු වෙනවලු.


ඔන්න දවසක් මීට කලින් දැකලම නැති, හෙන ඇට්ටර පෙනුමක් තියන එකෙක් මේ හෝටලේට ඇවිත් දන්න කියන හැම කෑම ජාතියක්ම ඕඩර් කරනවලු. මුලු ලෝකෙ කෑම එදාම ඉවර වෙයි කියල බයට වගේ කාගෙන කාගෙන යනවලු. දැන් කැෂියර් කූඩුවෙ ඉන්න හාදයා මිනිහගේ ෂුවර් නැති පෙනුම හින්ද  හොඳට මූ ගැන ඇහැ ගහගෙනලු හිටියෙ.


මෙන්න දැන් මිනිහ කාල ඉවරලු. අයිස් ක්‍රීම් එකකුත් ඕඩර් කලාලු. ඒකත් ඉවරලු. තව බීම එකකුත් ඉල්ලුවලු. ඒකත් ඉවරලු. මෙන්න දැන් නැගිට්ටලු. වේටර් මල්ලිගෙන් බිල ගැනවත් ඇහුවෙ නැහැලු. දැන් ටික ටික ඔක්කොම කට්ටිය මිනිහ දිහාම බලාගෙන ඉන්නවලු. මිනිහ කැෂියර් මල්ලිත් පහු කරගෙන පාරට බැහැල යන්නලු දැන් හදන්නේ.


තව බලා හිටියොත් මූ මාරුවෙනවා කියල දැන ගත්ත කැෂියර් මල්ලි බැස්සලු පාරට. උඩු රැවුලත් නැති නිසා මූ පොලිස් කාරයෙක් නොවන බවත් ෂුවර්ලු.


අඩෝ..ව්...කෑවනම් සල්ලි දීල පලයං ඩෝව්...


හෙ...හේ...මල්ලි... ඇයි උඹ තර්ජෙනෙද? ඇයි උඹල වෙනදටත් පොලිෂියෙන් සල්ලි ගන්නවද? අද විතරක් ඉල්ලන්නෙ...


මේ ගොන් පාට් දාන්න එපා ඩෝ...උඹ කොහෙද පොලිෂියෙ..උඹව අපි මීට කලින් දැකලත් නෑ..නොදැක්කත් කමක් නෑ...පොලිෂියෙනම් කෝ උඹේ උඩු රැවුල....


පොරට ඒත් ගාණක් නෑලු. නෝන්ඩියට වගේ හිනා වෙන ගමන් මිනිහ හිමින් සැරේ පාත් කලාලු මිනිහගේ කලිසමේ ෂිප් එක....අන්ඩර් වෙයාර් එකත් පාත් කෙරුවලු....


හෙ...හේ....මල්ලි මම 'රහස් පොලිෂියේ'....


(හිනා ගියෙ නැති අය 'කුචි මැෂිමක්' ගන්න, තේරුනෙ නැති අය වැඩිහිටියෙක්ගෙන් අහගන්න)

Wednesday, July 18, 2012

සැබෑ උරුමය සහ අන්තවාදය

නැවත නැවතත් කථා කිරීමට ආශාවක් නොවූවද, පහුගිය සතියක චතුෂ තුෂර කුමාර නොහොත් සුප්‍රසිද්ධ 'මාරයා' විසින් පළ කරණ ලද අදහස් කිහිපයක් වෙනත් සහෘදයෙකු මතක් කිරීමත්, හිතවත් රාමා විසින් මේ සම්බන්ධව ඉදිරිපත් කරණ ලද ලිපියකට පිළිතුරු දීමේදී මෙහි බරපතල ප්‍රථිවිපාකයන් වටහා ගැනීමත් මා පහත ලිපිය පළ කිරීමට හේතු වූ ආසන්නතම කරුණු වේ.




‎'මහානාම හිමි' ගේ සිට 'පනාපුත්‍ර කුහුඹුපැණියා' දක්වා ඉතිහාසය ඉකි බිඳුමක් බවට පත්කළ ඊනියා බඩගෝස්තරවාදීන් සහ මිරැන්ඩෝ වැනි අතිශයෝක්තිය හරහා උඩු ගං පිහිනීම ස්වයං වින්දනයක් කොට ගත් වඳුරු කුණුහරුප කාරයන් වත්මන් ඉතිහාස විකෘතියට සෘජුවම වගකිවයුතු බව මාගේ හැඟීමයි.

හෙළයන් පූර්ව 'විජය රාජ්‍යය' අවධියේ පවා දියුණු තාක්ෂනික සහ සංස්කෘතික උරුමයන් තම දෛනික කටයුතු වලදී යොදා ගත් බවට සාක්ෂි අපට කාලයක් තිස්සේ ලැබෙමින් පවතී. එය මිරැන්ඩෝලාගේ ගේ 'කොමිටල් එළි දැක්වීම්' හරහා රාවණාකරණයට ලක්වීම තුළින්, සත්‍යය උරුමයන් පිලිබඳ අතිශය සාරවත් කතිකාවතක් ඇතිවීමට තිබූ ඉඩකඩ ඉතා දුක්ඛදායක ලෙස ඇහීරී ඇත.

මහානාම හිමියන් මහාවංශය විහිළුවක් බවට පත්කර ඇත්තේ, බුදුන් ගේ ලංකා ගමන් තුන පිලිබඳව දක්වන සටහන් වලදී මහියංගනය, නාගදීපය, කැළණිය යන ස්ථාන ප්‍රධාන කොට පරිවාර සථාන 13ක්ද බුදු පා පහසට ලක් වුව බවත්, එකී ප්‍රධාන ස්ථාන විවිධ ගෝත්‍ර නියෝජනය කරණ හෙළයන්ගෙන් පිරි පැවතිය බවද දැක්වීමද,

එවන් ජනාකීර්ණ සහ ජන විසිරීමක් පැවති දේශය 700 පමණ මැරයින් සහ ස්ත්‍රී ලෝලීන් පිරිසක් විසින් ශිෂ්ඨාචාරකරණය කරණ ලද බවද, නව පරපුරක් (හෙළ) බිහි කළ බවද පැවසීම තුළින්ය. 

මෙවන් ඉතිහාස භක්ෂකයන් පාසල් පෙළ පොතේ සිට ජාතික පුවත්පත් දක්වා අරක්ගත් යුගයක 'මීවනපලානේ ජයරත්න' නැමති අන්වර්ථ නාමයක් හරහා 'වර්ගපූර්ණිකාව' තුළින් එම විකෘතිවාදී චින්තනයන්ට සියුම්ව නමුත් නිර්ධය ලෙස පහර ගැසීම, මම නම් ප්‍රශංසාවට ලක් කරමි. (විවේචන සහිතව)

Tuesday, July 17, 2012

අත යට 'හැකියාව'




යටම ඇති ලිපි ගොනුව - උඩට ගන්නෙත්,
උඩම ඇති ලිපි ගොනුව - නැති කරන්නෙත්  මමයි....


බලපතක් අත නැතිව - රිය පදින්නෙත්,
වැරදිකර නොකල ලෙස - යලි ගෙදර එන්නෙත් මමයි....


පුතා ජාතික පාසලට - දමා ගන්නෙත්,
ඕනෑම පලාතක - මාරුව දා ගන්නෙත් මමයි....


හොරෙන් ලී පටවලා - ඉරා ගන්නෙත්,
දඩ මසක් එලාගෙන - රහ කරන්නෙත් මමයි....


අවේලාවේදි ලෙඩෙක් - බලා එන්නෙත්,
හොර සුරා පෙරාගෙන - විකුණන්නෙත් මමයි....


ටෙන්ඩරය වැඩි වුවද - අඩුව ගන්නෙත්,
රටින් එන බඩු ටිකේ - බදු අඩු කරන්නෙත් මමයි....


ලැබුණු හැඳුනුම්පතේ - වෙනස දන්නෙත්,
උප්පැන්න සහතිකේ - නම වෙනස් කලෙත් මමයි....


බැරි වැඩක් කර ගන්න මෙහෙ එන්න,
ලිස්සල යන්න හැකි 'අල්ලස' යි....ඒ මමයි....