Showing posts with label මැතිවරණ. Show all posts
Showing posts with label මැතිවරණ. Show all posts

Thursday, July 17, 2014

නිදහස් අධ්‍යාපනය තවදුරටත් නිදහස්ද? (උන්ගේ උරුමය අපේ කරුමය වූ හැටි)

(ඡායරූපය උපුටා ගැනීම http://indikacartoon.blogspot.com බ්ලොග් අඩවියෙනි)


මේ කතා කරන්න හදන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන නෙමේ. ඒ ගැන මුලින්ම කිව්වේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන එකම තැන ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය පමණක් නිසා, නිදහස් අධ්‍යාපනය එතැනට විතරක් ලඝු කිරීම අපි නොදැනුවත්වම සිද්ධ වෙන නිසා.


මේ අද වෙච්ච එක හුදකලා සිද්ධියක්. ගෙවල් පැත්තේ තියන සපත්තු හදන තැනට මම අද ගියේ මගෙ කැඩිච්ච බෙල්ට් එක හදාගන්න. බොහොම මහන්ස
ියෙන් හිටපු එතැන අයිති (සහ එකම සේවක ) අයියා රේඩියෝවේ යන බන්දුල ගුණවර්ධන එක්ක තියන සාකච්ඡාවක් උනන්දුවෙන් අහනවා. වෙනදට වඩා ගොඩක් රෑ වෙලා නිසා මම ඇහුවා දැන්ම යන්නේ නැද්ද කියලා.

'නෑ මල්ලි. මගේ දුවගේ වයස අයට දැනටමත් උ/පෙළ පන්ති පටන් අරන්. ඒත් මගේ කෙල්ලට ඉස්කෝලයක් නෑ. මොකක්ද චක්‍රලේඛයක් ගහපු නිසා සා/පෙළ හොදටම පාස් වුන කෙල්ලව ආණ්ඩුවේ එක ඉස්කෝලෙකටවත් දාන්න බැරිලු'


මම දිගටම විස්තර ඇහුවා....

මේ මනුස්සයා ගමේ කෙනෙක් නෙමේ. ගමට අලුතෙන් ආපු නිසා පොඩි කාලේ ගමේ ඉස්කොලෙට ළමයා දාගන්න බැරිවෙලා. දේශපාලකයෝ පස්සෙන් හිගාකන්න අකමැති නිසාම බොහොම මහන්සියෙන් හම්බ කරන සල්ලි වලින් තමන්ගේ එකම ළමයව මේ පැත්තේ තියන සාපේක්ෂව අඩු වියදම් ජාත්‍යන්තර පාසලකට (එන්සෙෆ් ජාත්‍යන්තර පාසල ) ඇතුලත් කරලා. දුව දැන් අ.පො.ස. සා/පෙළ දේශීය විෂය නිර්දේශයෙන් ඉහළින් සමත්. උ/පෙළ කරන්න ඒ ජාත්‍යන්තර පාසල් වල අවශ්‍ය පහසුකම් නැති නිසා වගේම ඒ දේ වෙනුවෙන් වියදම් කරන්න මේ මනුස්සයට අමාරුකම නිසත් (උ/පෙළ සදහා ජාත්‍යන්තර පාසල් ගාස්තු අධිකයි ) ඇයට සුදුසුකම් මත කොළඹ ආනන්ද බාලිකාවට ඇතුලත් කරන්න හොයලා බැහුවහම ඇය ඒ සදහා සුදුසු බවත්, ආනන්ද බාලිකාවෙන් ඇය ඇතුලත් කරගන්න කැමති බවත් දන්වලා. නමුත් ඒ සදහා අධ්‍යාපන ලේකම් අවසර දීලා නෑ. හේතුව මෑතකදී බන්දුල ගුණවර්ධන විසින් නිකුත් කරපු චක්‍රලේඛයක් නිසා.

ඒ චක්‍රලේඛයට අනුව ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගත්ත දරුවන් (සැ.යු. මේ ශ්‍රී ලංකා පුරවැසියන් වේ)රජයේ පාසල් වලට ඇතුලත් කරගැනීම සම්පූර්ණයෙන් තහනම්.

රේඩියෝ එකෙන් බන්දුල ඒ ගැන පැහැදිලි කරද්දි කිව්වේ, ජාතයන්තර පාසල්වලට ගිය දරුවන් පස්සේ කාලෙක ඉංග්‍රීසි මාධ්‍යයෙන් උ/පෙළ සදහා රජයේ පාසල්වලට ඇතුළත් කරගැනීමෙන් අනුරාධපුරේ අහිංසක ගොවියගේ දරුවට අවස්ථාව අහිමිවෙනවා කියලා.
'බැලූ බැල්මට ඒකත් ඇත්තනේ'...කියල පේන අයට මම මේ ටික කියන්නම්. මම මේ දේවල් දන්නේ මෑතක ඉදලා ප්‍රාථමික අධ්‍යාපන ආයතනයක් එක්ක බොහොම කිට්ටුවෙන් වැඩ කරන නිසා, ඔවුන්ගේ ප්‍රායෝගික ගැටළු අපිට තේරෙන නිසා.

1. නිදහස් අධ්‍යාපනය කියන්නේ තරාතිරම, මූල්‍යමය හැකියාව, පෙළපත ආදිය මත පදනම් නොවන අධ්‍යාපනයක් නම් ඒ අධ්‍යාපනයේ අයිතිය දුප්පත්, පෝසත් සියළු ශ්‍රී ලාංකීය දරුවන්ට තිබිය යුතු නොවේද?

2. මෙය ජාත්‍යන්තර පාසලක ඉගෙනගත් දරුවෙකු (පවා) සතු, අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් නොවේද?

3. එක ශ්‍රේණියේ සිට රජයට බරක නොවී 11 ශ්‍රේණිය දකවා දරුවන් වෙනුවෙන් තම මුදලින් අධ්‍යාපනය ලබා දීම, එම දෙමව්පියන් කරන වැරැද්දක් ලෙස අර්ථ දැක්විය හැකිද?

3.1 එසේ වේ නම් ජාත්‍යන්තර පාසල් තව දුරටත් පවත්වාගෙන යෑමට අවසර දෙන්නේ ඇයි?

4. ජාත්‍යන්තර පාසලක ඉගෙන ගත් දරුවකුගේ ඉංග්‍රීසි දැනුම සාපේක්ෂව ඉහළ වීමෙන් අනුරාධපුර ගොවියාගේ දරුවාට අසාධාරණයක් සිදුවන්නේ, රජයේ පාසල් වල අධ්‍යාපන තත්වයේ අඩුවක් නිසා මිසක් ජාත්‍යන්තර පාසලේ දරුවාගේ වැරැද්දක් නිසා නොවන බව බන්දුල නොදන්නවාද?

4.1 එසේ දන්නවා නම් කළ යුත්තේ රජයේ පාසල්වල ඉංග්‍රීසි අධ්‍යාපනය ඉහළ නැංවීම මිස ජාත්‍යන්තර පාසක් වල ඉගෙන ගත් දරුවන්ට වැට බැදීමද?

5. මැදපෙරදිග රැකියා කොට නැවත් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ලංකාවට පැමිනෙන රටවිරුවන් යයි රජය ඉහළින් අගය කරන විදෙස් ශ්‍රමිකයන්ගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය අහිමි කිරීමට බන්දුලට ඇති අයිතිය කුමක්ද?

6. ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ආරම්භ කළද, පසුකලෙක මූල්‍යමය අපහසුතා නිසා ජාත්‍යන්තර පාසල්වට දරුවන් යැවිය නොහැකි තත්වයක් උදා වූ බදු ගෙවන ශ්‍රී ලාංකීය පුරවැසියාගේ දරුවාට නිදහස් අධ්‍යාපනය අකැපද?

7. අනුරාධපුර අහිංසක ගොවියා ගැන කතා කරන බන්දුලගේ පුතා ඉගෙන ගන්නේ ඇමෙරිකාවේය. අවුරුදු 52ක් වයස අගම්පොඩි රංජිත්ව කහ ඉර උඩදී හප්පන වෙලාවේ චතුර පසන් ගුණවර්ධනට ලංකාවේ වලංගු රියදුරු බලපතක් තිබ්බෙත් නැත. ඒත් ඔහුගේ දඩුවම වූයේ රු.එක් ලක්ෂ හය දහසක දඩයකි. අත්හිටපූ සිර දඩුවමක් ලැබුණද...යළිත් ඇමෙරිකාවට පියෑඹූ පසන්ට කිසිසේත් එය අදාල වන්නේද නැත.

ලයිසන් නැති ඔබ මම කහ ඉර උඩදී ඝාතනයක් කළා නම් අපට කුමක් සිදු වේද? එවිට බන්දුලලාට අහිංසකයන්ගේ අයිතිවාසිකම් මතක් වන්නේ නැත.මේ මතක් වෙලා ඇත්තේත්, ඒ අහිංසකයන් නොමග යවන ප්‍රකාශ සිදුකරන්නේත් උ/පෙළ පංතිවල ළමුන් අඩුවන බවට මැසිවිලි නගන ජාත්‍යන්තර පාසල් හිමිකරුවන්ගේ දුක් ගැනවිල්ලට හිත උණුවෙලාදැයි අපිට සිතෙන්නේ මන්ද?

නිදහස් අධ්‍යාපනය යනු බන්දුලලාගේ සහ එස්බීලාගේ බූදලයක්ද?

(ඡායරූපය උපුටා ගැනීම http://indikacartoon.blogspot.com බ්ලොග් අඩවියෙනි)



Saturday, August 25, 2012

අපටත් රජකු පහළව ඇතේ! (ටෙනිසන් ජනහමු සතුටු සිතින් නරඹමු)



මා ඊයේ රෑ හදිසියෙ හීනයක් දුටිමි. එහිදී අපි කවුරුත් දන්නා ටෙනිසන් මහතා හදිසියේම 'ටෙනිසන් ජන හමු' තියන්නට සිතයි. මහ රෑ මගේ යටි බඩ කොර නොවන්නට ඉතා රසවත් කථාවක් නොමිලේ නැරඹීමට මටත් අවස්ථාව ඇති වනු නිසැකය. මේ ඒ හීනේ කථාවයි. (සැ.යු. මෙය හීනයක්ම පමණක් වන අතර මේ හරහා ටෙනිසන්තුමා ට යම් අපහාසයක් සිදු වෙයි නම් මා හට කමා කළ මැනවි, එසේත් බැරි නම් හීන ලෝකයෙදී මටද අපහාස කළා මැනවි)

මේ අපේ ටෙනිසන් තුමාය. අපි ඔහු ගැන ආඩම්බර විය යුත්තේ ඔහු සැබෑ දක්ෂයෙක් නිසාය. ඔහුට හදිසියේ මහජනයා හමුවන්න සිතෙන්නේ මැතිවරණයක් කටේ ඇති විටය, ඒත් හමුවන්නේ මැතිවරණය පවත්වන පලාත්වල මහජනතාව පමණි. අපි ඉන්නේ කොළඹය. හොද වෙලාවට අපිටනම් ප්‍රශ්ණ 'ඇත්තේම' නැත.

ටෙනිසන් ජන හමුව ඉතා හොදය, පැසසිය යුතුය. ඊට සහභාගිවන බහුතර ජනතාව ඉතා බුද්ධිමත්ය. කොච්චර බුද්ධිමත්ද කියතොත් තමන්ට තියෙන ඇත්තම ප්‍රශ්ණ වලට ටෙනිසන් තුමා දිය යුතු පිළිතුරු ඔවුන් තමන්ගේ අවස්ථාව ලද විගස තම ප්‍රශ්ණය ලෙස ඉදිරිපත් කරයි. උදාහරණ ලෙස උතුරු නැගෙනහිර සංවර්ධනයේ තරම ගැන ටෙනිසන් වචනයක්වත් කථා නොකලද ප්‍රශ්ණය අසන්නා කීවේ ඉතා විශාල ලෙස උතුරු නැගෙනහිර සංවර්ධණය සදහා මුදල් වෙන් කර ඇති බවයි. (හිකිස්) සොරි....හචිමක් ගියා.....

මේ වෙනකම් හරියට ප්‍රශ්ණයක් ඇහුවේ එකම එක කොල්ලෙක් විතරය. ඒ 'උතුරු ඉන්දියාවටත් දෙනවා කිව්ව විදුලිය කෝ?' කියාය. මෙන්න ටෙනිසන් උතුමා කලබල වූවේය (වූ සේක ද මන්දා) මොනවාදෝ ෆයිල් ටිකක් පෙරලා තව තව බලාගාර හදන බවත්, සාම්පූර් වලත් එකක් හදන බවත්, 95 දී තිබ්බාට වඩා විදුලි අවශ්‍යතාව වැඩි වූ බවත්, එය හිතා ගන්න බැරි වූ බවත් කිව්වේය.

ඉදිරි විදුලි අවශ්‍යතාව ගැන දැනීමක් ගන්න බැරි වූයේ උතුමාට ඉන්න 1000 ට කිට්ටු ටෙනිසන් උපදේශකයන්ගේ වැරැදද නිසාය. ඔවුන් සදහා මාසයකට වෙන් කරණ මුදල රු.කොටි 30කට වැඩිය. මේ සදහා ටෙනිසන්තුමා පළි නැත. මේ උපදේශකයන් ච.බ.කු. හෝ ර.වි. පත් කළ අය විය යුතුය. (හිකිස්) ආයෙත් සොරි මෙයා....

අපේ ටෙනිසන් තුමාට භාෂා තුනම ඉස්සර පුළුවන් වුනත්, ළගදී සිට රාජකාරි අධික බැවින් දැන් දෙමළ මතක නැත. ඊටත් වඩා අර අහිංසක දෙමළ පරිවර්තකයාට රස්සාවත් නැතිව යන එක ගැන එතුමා සංවේදීය.

කොහොම වුනත් තාම ටෙනිසන් ජන හමුව සජීව ලෙස යන්නේය. මා නම් හැම සතියේම ටෙනිසන් ජනහමු තියනවාට කැමතිය. ඒ මම සිකුරාදා රෑ යන හොල්මන් ෆිල්ම් වලට කැමති නැතිය. මේක බැලුවොත් අඩුම තරමේ ලේ වත් පිරිසිදු වෙනවාය.

මට මෙතනින් පෝස්ට් එක නවත්වන්න වෙනවාය. ඒ මගේ යටි බඩ කොරවෙලා තියන නිසාය. ඒ චූ බරටද නැත්නම් හිනා වෙලා වැඩි කමටද දන්නේ නැත.

සුරපුරයක් වන් අප ලක් අපට දිවයිනේ භාරකරු ඔබය...
ටෙනිසන් උතුමනි...ඔබ වහන්සේ ගැන අපට ඇති ආඩම්බරය විස්තර කිරීමට මා හට වචන නැත.


(මේ දැන් දැන ගැනීමට ලැබුනේ ටෙනිසන්තුමාට අපහාස කරණ අයට කිසිම නීතිමය පියවරක් නොගන්නා ලෙස පොලිස්පති තුමාට එතුමාම උපදෙස් දී ඇති බවයි, බලන්න අපි කොච්චර ආඩම්බර වෙන්න ඕනද ඈ.. )