Thursday, July 17, 2014

නිදහස් අධ්‍යාපනය තවදුරටත් නිදහස්ද? (උන්ගේ උරුමය අපේ කරුමය වූ හැටි)

(ඡායරූපය උපුටා ගැනීම http://indikacartoon.blogspot.com බ්ලොග් අඩවියෙනි)


මේ කතා කරන්න හදන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන නෙමේ. ඒ ගැන මුලින්ම කිව්වේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන එකම තැන ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය පමණක් නිසා, නිදහස් අධ්‍යාපනය එතැනට විතරක් ලඝු කිරීම අපි නොදැනුවත්වම සිද්ධ වෙන නිසා.


මේ අද වෙච්ච එක හුදකලා සිද්ධියක්. ගෙවල් පැත්තේ තියන සපත්තු හදන තැනට මම අද ගියේ මගෙ කැඩිච්ච බෙල්ට් එක හදාගන්න. බොහොම මහන්ස
ියෙන් හිටපු එතැන අයිති (සහ එකම සේවක ) අයියා රේඩියෝවේ යන බන්දුල ගුණවර්ධන එක්ක තියන සාකච්ඡාවක් උනන්දුවෙන් අහනවා. වෙනදට වඩා ගොඩක් රෑ වෙලා නිසා මම ඇහුවා දැන්ම යන්නේ නැද්ද කියලා.

'නෑ මල්ලි. මගේ දුවගේ වයස අයට දැනටමත් උ/පෙළ පන්ති පටන් අරන්. ඒත් මගේ කෙල්ලට ඉස්කෝලයක් නෑ. මොකක්ද චක්‍රලේඛයක් ගහපු නිසා සා/පෙළ හොදටම පාස් වුන කෙල්ලව ආණ්ඩුවේ එක ඉස්කෝලෙකටවත් දාන්න බැරිලු'


මම දිගටම විස්තර ඇහුවා....

මේ මනුස්සයා ගමේ කෙනෙක් නෙමේ. ගමට අලුතෙන් ආපු නිසා පොඩි කාලේ ගමේ ඉස්කොලෙට ළමයා දාගන්න බැරිවෙලා. දේශපාලකයෝ පස්සෙන් හිගාකන්න අකමැති නිසාම බොහොම මහන්සියෙන් හම්බ කරන සල්ලි වලින් තමන්ගේ එකම ළමයව මේ පැත්තේ තියන සාපේක්ෂව අඩු වියදම් ජාත්‍යන්තර පාසලකට (එන්සෙෆ් ජාත්‍යන්තර පාසල ) ඇතුලත් කරලා. දුව දැන් අ.පො.ස. සා/පෙළ දේශීය විෂය නිර්දේශයෙන් ඉහළින් සමත්. උ/පෙළ කරන්න ඒ ජාත්‍යන්තර පාසල් වල අවශ්‍ය පහසුකම් නැති නිසා වගේම ඒ දේ වෙනුවෙන් වියදම් කරන්න මේ මනුස්සයට අමාරුකම නිසත් (උ/පෙළ සදහා ජාත්‍යන්තර පාසල් ගාස්තු අධිකයි ) ඇයට සුදුසුකම් මත කොළඹ ආනන්ද බාලිකාවට ඇතුලත් කරන්න හොයලා බැහුවහම ඇය ඒ සදහා සුදුසු බවත්, ආනන්ද බාලිකාවෙන් ඇය ඇතුලත් කරගන්න කැමති බවත් දන්වලා. නමුත් ඒ සදහා අධ්‍යාපන ලේකම් අවසර දීලා නෑ. හේතුව මෑතකදී බන්දුල ගුණවර්ධන විසින් නිකුත් කරපු චක්‍රලේඛයක් නිසා.

ඒ චක්‍රලේඛයට අනුව ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගත්ත දරුවන් (සැ.යු. මේ ශ්‍රී ලංකා පුරවැසියන් වේ)රජයේ පාසල් වලට ඇතුලත් කරගැනීම සම්පූර්ණයෙන් තහනම්.

රේඩියෝ එකෙන් බන්දුල ඒ ගැන පැහැදිලි කරද්දි කිව්වේ, ජාතයන්තර පාසල්වලට ගිය දරුවන් පස්සේ කාලෙක ඉංග්‍රීසි මාධ්‍යයෙන් උ/පෙළ සදහා රජයේ පාසල්වලට ඇතුළත් කරගැනීමෙන් අනුරාධපුරේ අහිංසක ගොවියගේ දරුවට අවස්ථාව අහිමිවෙනවා කියලා.
'බැලූ බැල්මට ඒකත් ඇත්තනේ'...කියල පේන අයට මම මේ ටික කියන්නම්. මම මේ දේවල් දන්නේ මෑතක ඉදලා ප්‍රාථමික අධ්‍යාපන ආයතනයක් එක්ක බොහොම කිට්ටුවෙන් වැඩ කරන නිසා, ඔවුන්ගේ ප්‍රායෝගික ගැටළු අපිට තේරෙන නිසා.

1. නිදහස් අධ්‍යාපනය කියන්නේ තරාතිරම, මූල්‍යමය හැකියාව, පෙළපත ආදිය මත පදනම් නොවන අධ්‍යාපනයක් නම් ඒ අධ්‍යාපනයේ අයිතිය දුප්පත්, පෝසත් සියළු ශ්‍රී ලාංකීය දරුවන්ට තිබිය යුතු නොවේද?

2. මෙය ජාත්‍යන්තර පාසලක ඉගෙනගත් දරුවෙකු (පවා) සතු, අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් නොවේද?

3. එක ශ්‍රේණියේ සිට රජයට බරක නොවී 11 ශ්‍රේණිය දකවා දරුවන් වෙනුවෙන් තම මුදලින් අධ්‍යාපනය ලබා දීම, එම දෙමව්පියන් කරන වැරැද්දක් ලෙස අර්ථ දැක්විය හැකිද?

3.1 එසේ වේ නම් ජාත්‍යන්තර පාසල් තව දුරටත් පවත්වාගෙන යෑමට අවසර දෙන්නේ ඇයි?

4. ජාත්‍යන්තර පාසලක ඉගෙන ගත් දරුවකුගේ ඉංග්‍රීසි දැනුම සාපේක්ෂව ඉහළ වීමෙන් අනුරාධපුර ගොවියාගේ දරුවාට අසාධාරණයක් සිදුවන්නේ, රජයේ පාසල් වල අධ්‍යාපන තත්වයේ අඩුවක් නිසා මිසක් ජාත්‍යන්තර පාසලේ දරුවාගේ වැරැද්දක් නිසා නොවන බව බන්දුල නොදන්නවාද?

4.1 එසේ දන්නවා නම් කළ යුත්තේ රජයේ පාසල්වල ඉංග්‍රීසි අධ්‍යාපනය ඉහළ නැංවීම මිස ජාත්‍යන්තර පාසක් වල ඉගෙන ගත් දරුවන්ට වැට බැදීමද?

5. මැදපෙරදිග රැකියා කොට නැවත් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ලංකාවට පැමිනෙන රටවිරුවන් යයි රජය ඉහළින් අගය කරන විදෙස් ශ්‍රමිකයන්ගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය අහිමි කිරීමට බන්දුලට ඇති අයිතිය කුමක්ද?

6. ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ආරම්භ කළද, පසුකලෙක මූල්‍යමය අපහසුතා නිසා ජාත්‍යන්තර පාසල්වට දරුවන් යැවිය නොහැකි තත්වයක් උදා වූ බදු ගෙවන ශ්‍රී ලාංකීය පුරවැසියාගේ දරුවාට නිදහස් අධ්‍යාපනය අකැපද?

7. අනුරාධපුර අහිංසක ගොවියා ගැන කතා කරන බන්දුලගේ පුතා ඉගෙන ගන්නේ ඇමෙරිකාවේය. අවුරුදු 52ක් වයස අගම්පොඩි රංජිත්ව කහ ඉර උඩදී හප්පන වෙලාවේ චතුර පසන් ගුණවර්ධනට ලංකාවේ වලංගු රියදුරු බලපතක් තිබ්බෙත් නැත. ඒත් ඔහුගේ දඩුවම වූයේ රු.එක් ලක්ෂ හය දහසක දඩයකි. අත්හිටපූ සිර දඩුවමක් ලැබුණද...යළිත් ඇමෙරිකාවට පියෑඹූ පසන්ට කිසිසේත් එය අදාල වන්නේද නැත.

ලයිසන් නැති ඔබ මම කහ ඉර උඩදී ඝාතනයක් කළා නම් අපට කුමක් සිදු වේද? එවිට බන්දුලලාට අහිංසකයන්ගේ අයිතිවාසිකම් මතක් වන්නේ නැත.මේ මතක් වෙලා ඇත්තේත්, ඒ අහිංසකයන් නොමග යවන ප්‍රකාශ සිදුකරන්නේත් උ/පෙළ පංතිවල ළමුන් අඩුවන බවට මැසිවිලි නගන ජාත්‍යන්තර පාසල් හිමිකරුවන්ගේ දුක් ගැනවිල්ලට හිත උණුවෙලාදැයි අපිට සිතෙන්නේ මන්ද?

නිදහස් අධ්‍යාපනය යනු බන්දුලලාගේ සහ එස්බීලාගේ බූදලයක්ද?

(ඡායරූපය උපුටා ගැනීම http://indikacartoon.blogspot.com බ්ලොග් අඩවියෙනි)



17 comments:

  1. අවසානයට තියන අංක නොකරල ප්‍රශ්නයට උත්තරය 'ඔව්' යන්නය

    ReplyDelete
  2. මේක පුදුමාකාර ඉරිසියාවක්. ඕක නිකං අර ඇමති කමට මඩ ගොඩෙන් මොකෙක් හරි දානව වගේ වැඩක් නේ ඕන වෙලාවට.. ඉතිං මොකාත් එකයි..

    ReplyDelete
  3. කුණුහරුප තමා ඉතිං මතක් වෙන්නෙ.. එක වසරෙන් ළමයෙක් ඉස්කෝලෙකට දාගන්න නටන්න වෙලා තියෙන නාඩගම් එක්ක බැලුවම කීයක් හරි වියදම් කරගන්න පුළුවන් මනුස්සයා ළමයව ඉන්ටනැෂනල් එකකට දාගන්නව... මුන්ට ඒවා පේන්නෙ නෑ..

    ( ඔය බන්දුල ලොක්කා අපේ ගෙවල් පැත්තට හෙනට වැඩ කරන හින්ද අපේ පැත්තෙ මිනිස්සු පණ ඇරල.. කොටිම්ම අපෙ තාත්තත්.. හැබැයි මම මේවා කියද්දි නං කට්ටියගෙම කටවල් වැහෙනව...අර 2500 කතාවටත් අපේ තාත්තලා කිව්වෙ ඔය බන්දුල කො‌ෙහද ළමා නිවාසෙකට දානෙ දෙන්න ගිය වෙලාවක, ඒකට දෙන පිටි පැකට් එකත් එතන වැඩ කරන උන් ගෙදර අරන් යනවා දැකලා හොයලා බැලුම ඒ මිනිස්සුන්ගෙ පඩිය 2500 නිසා එහෙම කිව්ව කියල.. මං ඇහුව එතකොට බන්දුල හිතාගෙන ඉන්නෙ රටේම ඉන්න මිනිස්සු ඒ වගේ හොර වැඩ කරල ජීවත් වෙන අය කියලද කියල... පඩියට අමතරව වැඩ කරන තැනින් හොරකං කරගෙන යන්නෙ 2500 ජීවත් වෙන්න බැරි හින්ද මිසක් ආසාවට නෙවෙයිනෙ.. ඒකට කරන්න ඕනෙ 2500න් ජීවත් වෙන්න හොරකං කරලා හරි පුළුවන් කියන එකද, නැත්තං ඒ මනුස්සයට හොරකං නොකර ජීවත් වෙන්න පුලුවන් පඩියක් දෙන එකද කියල.. එතකොට මං නිකම්ම යූඒන්පී කාරයා, නැත්තං ඔයාලා මොනාද මේව ගැන දන්නෙ කියල මාරු වෙලා යන එක තමයි කරන්නෙ.... )

    ReplyDelete
  4. මේවා කාටද කියන්නෙ බං,ළඟ පාතක කළුගලක් තියෙනව නං කට උලාගන්නව මිසක.

    ReplyDelete
  5. බන්දුල ලාට නිදහස් අධ්‍යාපනයේ පිහිට ලැබුණි..
    දැන් උන් කරන්නේ...
    කකුලු දෙකට ලැබුණ නිදහස් අධ්‍යාපනයෙන් විස්ල් ගැසීමය..
    ඒවා අහං ඉන්න සමහර මරි මෝඩයන්ට හෙනම ආතල්ය..
    අපි වගේ උංට ....????????????????????????????????

    ReplyDelete
  6. ගේ්‍ර්රෝගේ ජාත්‍යන්තර පාසලක 2012 ඒ 9 ළමයි ගොඩක් ආංඩුවේ ඉස්කෝල වලට ගියාලු. මදිපාඩුවට අදක්‍ෂ ළමයි අරගෙන හොඳ ප්‍රතිපල පෙන්නන බැරි වුනහම බිස්නස් බහිනව නේද ?

    ReplyDelete
    Replies
    1. මහත්මයා නොදන්න දේ කියවන්න එපා , ග්‍රේරු ඉන්නේ බන්දුලගේ මතයට ප්‍රති විරුද්දධව. බලන්න්2014-07-18 ලංකාදීප තිරය පිටුපස ලිපිය

      Delete
  7. මේ ඊයෙ පෙරේද ලංකාවෙන් එන්න කලින් අපි කතා උනෙත් ඔය ගැන. ජාත්‍යන්තර පාසැලක උසස් පෙල නොකරන හෙතු කිහිපයක් තියෙනව. පළවෙනි එක ලංකාවෙ ජාත්‍යන්තර පාසල් වලින් බොහොම ටිකක තමා උසස් පෙල පන්ති තියෙන්නෙ.
    අනික අවශ්‍ය පහසුකම් සහ හොඳ පළපුරුදු ගුරුවරු නැති එක. කොච්චර ටියුෂන් ගියත් ඉස්කෝලෙ ප්‍රැක්ටිකල් ටෙස්ට් වගේ දේවල් කවර් කරගන්න බෑ. ඒ නිසා විශෙෂයෙනම් විද්‍යා විෂයන් කරන කෙනෙක්ට ඉස්කෝලෙ තල්ලුව නැතුව ගොඩ දා ගන්න බෑ. අනික තම අධික වියදම. ඔය ජාත්‍යන්තර පාසල් වල ඉන්න ඔක්කොම සල්ලි කාරයො නෙමෙයි. බහුතරය ඇඩ්‍රස් නැති නිසා දරුවො ඒවට දාන මධ්‍යම පාන්තිකයො. දැන් හිතන්න අතුරුගිරියෙ මිලේනියම් සිටි එකේ ගෙයක් තීන එකෙක් දාන්නෙ මොන ඉස්කෝලෙටද? බන්දු මේව දන්නව. නමුත් ග්‍රෙරොගෙ ප්‍රශ්නෙ ඒ කියනෙ ඒ ලෙවල් වලදි හොඳ උන් පිට යන එක සහ වෙන ඉස්කෝලවල ඒ ලෙවල් උන් ඇදගන්න බැරි වෙන එක ඊට වඩා දරුණු නිසා තමයි ඔය චක්‍රලේඛෙ දැම්මෙ. එහෙම නැතුව වෙන කෙන්ගෙඩියකටනෙමෙයි.

    ReplyDelete
  8. නුතන දේශප්‍රේමියා මේ ගැන දන්නව ඇති කියල හිතනව
    සිංහලෙන් හෝ දෙමලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබානොදීමේ හේතුව මත ලංකාවේ සියලුම ජාත්‍යන්තර පාසල් ලියාපදිංචි කර ඇත්තේ BR නොම්මරයක් යටතේ නේද? ඒ කියන්නේ අධ්‍යාපන ආයතන ලෙස නොව ව්‍යාපාර ආයතන ලෙසය. එක කතිරෙකින් දාහක් දේ කියන්න බැරුවා වාගෙම ළමුන් ජාත්‍යන්තර පාසල් වලට දාන්නත් හේතු ගොඩක් තියනව. සල්ලි තිබිලත් ආණ්ඩුවේ 'ජනප්‍රිය' පාසලකට ඇතුලත් කර ගැනීමට නොහැකිවීමත් (මොනයම්ම හේතුවක් නිසා හෝ - දුර ප්‍රස්න, අල්ලස්, වංචා කිරීමට ඇති අකමැත්ත, සම්බන්ධතාවයක් සාදා ගැනීමට නොහැකිවීම යනාදී නොයෙක්), දරුවන්ටඉංග්‍රීසියෙන් කුඩා කල සිට ඉගැන්වීමට ඇති කැමැත්තත් මෙයින් මූලිකයැයි හිතනව. ටිකක් කල් ගියහම තෘතියික අධ්‍යාපනයේදීයි ප්‍රස්නය ඇඟටම එන්නේ. විදෙස් සරසවියකට එක කාර්තුවකට ලක්ෂ දහයක් පමණ යනව නේද දල වශයෙන්? එතකොට අවුරුදු හතරක හෝ තුනක මුදල කියන්නෙ සෑහෙන්න මුදලක් මුදල් තියෙන කෙනෙකුට වුණත්. ඉතින් එයාලා සැලසුම් කරනව ලංකාවේ සිලබස් එකෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්නවල ඕ ලෙවල් ඉහලින් සමත් කරවලා ආණ්ඩුවේ ඉස්කෝලෙකට දාලා ලංකාවේ සරසවියට (නොමිලේ!) යවන්න. මේක සුත්‍රගතවෙලා භාවිතයක් වුණහම තමා කාගෙත් ඇස් ඇරුණේ මගෙ හිතේ. මුදල් පැත්තෙන් පහර කන දෙගොල්ලකගේ සටනක් මේක - මට හිතෙන විදිහට නූතන! අර බී ආර් නොම්මරේ ඇති අයගෙ උසස් පෙලට දරුවන් නෑ - ඉතින් ආදායම නෑ! - ඊලඟට දක්ෂම දරුවන් තමා අස්වෙලා යන්නේ! ඉතින් දෙමාපියන් මේ දේ අඩු වැඩි වශයෙන් දැනගෙනයි මෙ තීරණ ගන්නේ කියල කියන්නම වෙනව!
    නිදහස් අධ්‍යාපනය වගේ පුළුල් සංකල්පයක් මේ ප්‍රස්නේ එක්ක ගැටගැහීම ටිකක් ප්‍රස්නේ සංකීර්ණ කිරීමක් නේද නූතන?
    කොහොමත් සල්ලිය බාගේ ඇති අය ගෙවල්වලට ගෙන්නල දරුවන්ට ටියුෂන් දෙනව - ඉරිදා - පෝය එයාලට වලංගු නෑ! ඉන්දික උපශාන්තට කියන්න දැං සමහර ටියුෂන් ගුරුවරු උපකරණ අරන් ඇවිත් ප්‍රායෝගික පරීක්ෂණ - අණුමාපන වගේ එව්වා - ගෙදරදිම කරල පෙන්වනව! නමුත් ඒකට මිලක් තියේ. හෙට අනිද්දා එව්වත් තියන ටියුෂන් පන්ති ඇරේවි.
    දැන් දෙමව්පියෝ මොකද කල යුත්තේ? මුදල් තියේ නම් ඉතින් ලමයා එකේ පන්තියකට ජාත්‍යන්තරේකට දානකොටම සැලසුමක් හදාගන්න වෙනව සරසවියක් ගැන. නැත්නම් ලඟම ඇති විදුහලට දාලා ටිකක් කැපවෙලා දරුවට මහන්සියෙන් උගන්වන එක. (ලැජ්ජාව ආත්මගරුත්වය පැත්තක දාලා හැකි ක්‍රමයකින් ජනප්‍රිය පාසැලකට දැමීමත් විකල්පයකි! හරි වැරැද්ද කෙසේ වුවද - දරුවන් නැති පිටින් බලනා කෙනෙකුට මේක දෝස්මුරයක් නගන්න ඕනෑ තරම් කාරණයකි! - මම කීවේ දෙමව්පියන් පෙළැඹෙනා විකල්ප ගැන පමණි!)
    ආණ්ඩු පෙරලා යහපත් සමාජයක් ගොඩනැගීමට නූතන දේශප්‍රේමියන් සමග එකතුවන එකද විකල්පයකි! ඒත් එතෙක් වැදූ දරුවාගේ වයස නොයා ඉන්නේ නැත!

    ReplyDelete
  9. දන්න කෙනෙක් කියනවද ජාත්‍යන්තර පාසලක උසස්පෙල කියල ක‍රන්නෙ ලංකාවෙ A\L ද නැත්නම් London A\L ලංකාවෙ A\L නම් එහෙම ක‍රල සමත් වෙන ළමයින්ට ලංකාවෙ විශ්වවිද්යාලවලට‍ ඇතුල් වෙන්න පුලුවන් ද?

    ReplyDelete
  10. ඔය බංදුල කියන "අනුරාධපුරේ අහිංසක ගොවියගේ දරුවා " එතකොට කොළබ ඇවිත් English medium AL කරනවද?

    ReplyDelete
  11. බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමති විදියට වග කියන්නේ හෝමාගම තියෙන "මහින්ද රාජපක්ෂ"පාසැල ගැන විතරයි.හැබැයි කතාවනම් තියෙනවා හරියට කන්නන්ගර මහත්තයාට තමනුත් දෙවැනි වෙන්නේ නැති ගාණට.
    නිදහස් අධ්‍යාපනය රටේ අර්ථ දක්වන විදියේ ලොකු වරදක් තියෙනවා කියලා මට හිතෙනවා.නොමිලේ පෙළ පොත් දීම,නිල ඇඳුම් බෙදීම විතරක්ද නිදහස් අධ්‍යාපනය කියන්නේ?
    රටේ අදායම් බෙදී යාමේ විෂමතාව සෑහෙන විශාලයි වගේ.රටේ පාසල් වල භව්තික වගේම මානව සම්පත් බෙදී යාමේ විශාල විශමතා තියෙනවා.
    කොළඹ ඇතැම් පාසල් වල ගුරු අතිරික්තයක් තියෙන කොට,ඒ පාසල් වෙනුවෙන් මිලියන ගණනින් වියදම් කර පිහිනුම් තටාක ඉදිකරන විට කොයි තරම් පාසල් තියෙනවාද කොළඹ වගේම ඉන් පිටත් ගුරු හිඟ පවතින බොන්න වතුර ටිකක් ගන්න ලිඳක් හෝ නැති පාසල්.
    අධ්‍යාපනය නිදහස් වෙන්න නම් සැමට සාධාරණ වෙන්න ඕනේ.ඇති,නැති පරතරය නැතිව රටේ හැම පාසලක්ම හොඳම පාසල් වෙන්න ඕනේ.හැබැයි මේ පවතින ආණ්ඩුවෙන් එහෙම තත්වයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

    ReplyDelete
  12. නොදකින් මෙහෙම් වල් බුරුවො අධ්‍යාපනෙ බලාගන්න දාන මිහරක්

    ReplyDelete
  13. ප්‍රයිවට් ටියුෂන් කරපු බූරුවන්ට අජ්ජාපනේ දුන්නාම වෙන දේවල් තමයි මේ.

    ReplyDelete
  14. ප්‍රයිවට් ටියුෂන් කරපු බූරුවන්ට අජ්ජාපනේ දුන්නාම වෙන දේවල් තමයි මේ. 2 !

    ReplyDelete
  15. උඩට 3යි.අපේ පුංචි එකාලා ඉක්කෝලේ යවන්න සල්ලි බාගෙ එහෙම දැම්ම හොයලා තියාගත්තොත් හොදයි වගෙ

    ReplyDelete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.