Monday, June 25, 2012

'රාවණවංශය' සහ 'සුනඛ වාරණය' (ඩොබර්මන් පරපුරේ විද්‍යුත් ටීකාව)




සූර්‍යවංශය සහ රාවණ අධිරාජ්‍යය ගැන මෑතකදී පළ වූ සාරවත් කතිකාවත් දුටුවිට හෙළ යකුන්ගේ ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ ගවේශනාත්මකව තොරතුරු විමසීමට මා සිත තුළ බලවත් ආශාවක් ඇති විය.


'වර්ගපූර්ණිකාව' බ්ලොගය කියවීම තුලින් මා ලද දිරි ගැන්වීම හේතු කොටගෙන වර්තමානයේ අප එදිනෙදා දකින අසන දේ රාවණවංශයට කෙලෙස නෑකම් කියයිද යන්න සොයා බැලුවෙමි. මා විසින් සොයාගත් කරුණු විශ්මය ජනකය. මෙවර මා ඔබත් සමඟ  බෙදා ගන්නේ ඉන් එක කරුණක් පමණි.


අද බොහෝ පිරිසක් සුනඛයින් තම නිවසේ ආරක්ෂාවට ඇති කරතත්, සමහර සුනඛ වර්ගවලට පමණක් ඉතා වංශවත්  නම් ඇති බව ඔබ සියළුදෙනා දන්නා බව නිසැකය. උන් අතරින් 'ඩොබර්මන්' නැමති සුනඛ වර්ගයට ඉතා විශාල පිළිගැනීමක් ඇතිබව අවිවාදිතය. 'ඩොබර්මන්' යනු පුරාතන හෙළ යකුන් විසින් ඇති කරණ ලද සුරතලෙක් බව පැවසුවොත් ඔබ විශ්මයට පත්වනු නිසැකය.


හෙළයින් නිවසේ ආරක්ෂාවට තබා ගත යුත්තේ 'ඩොබර්මන්' වර්ගයේ සුනඛයන් පමණි. මන්ද යත් අපට උන්ව අතිශයින් විශ්වාස කළ හැකි හෙයිනි. පුරාණ සූර්‍ය වංශික 'සුනඛාභිලන්ශකාරය' ටීකාවේ සඳහන් වන ආකාරයට 'ඩොබර්මන්' යන්නෙහි ගාම්භීර අරුතක් ඇත. එනම් 'නරය බිය වන්නේ ඇයි' යන්නයි. මෙහි පද බිඳීම මෙලෙසින් දැක්වේ. ඩො = ඩෝහ් = නරය, බර් = බිරාන්ත = බය, මන් = මන්ද = ඇයිද? නිසැකයෙන්ම ඔබ 'ඩොබර්මන්' ගැන ආඩම්බර විය යුතු නොවේද? ඌට ගරු කළ යුතු නොවේද?


කුණ්ඩලීණි දැහැනට සමවැදී සිටි සුර්‍ය වංශයේ ප්‍රථාපවත් රජු රාවණ, මෙම 'ඩොබර්මන්' සුනඛයන්ගේ බිහිවීම, පැවැත්ම සහ අවසානය දුටු බව සුනඛාභිලන්ශකාරයේ පැහැදිලිව සඳහන් වේ. මෙහිදී අනාගත යම් දිනක මොවුන් ලෝ වැසි පර දේශක්කාරයින් අතරත් ඉතා ජනප්‍රිය වන බවත් අවැසි හා අනවැසි සෑම අවස්ථාවේදීම පර නරයන් ඉදිරියේ නැට්ට වැනීමට යාමෙන් මුන්ගේ ප්‍රෞඩත්වයට හානිවන බවත්, එයම ඉක්මන් අවසානයකට මග පෑදිය හැකි බවත් සුනඛාභිලන්ශකාරයේ 'පර නර බුර' පරිච්ඡේදයේ දක්වා ඇත.


මේ හේතුවෙන්ම රාවණ රජු විසින් 'ඩොබර්මන්' ගේ නැට්ට කැපිය යුතු බවට නීතියක් පැනවූ අතර, මෙය අනාදිමත් කලක පටන් අද දක්වාද ලෝ වාසීන් නොකඩවා කර ගෙන එති. මෙම නියමය ඉතා පැහැදිලිව 'සුවාරපොළ' ප්‍රදේශයෙන් මෑතකදී සොයාගන්නා ලද සෙල් ලිපියක සඳහන් වන බව පැවසුවොත් ඔබ විශ්මයට පත් නොවී සිටීවිද? එය මෙසේම වෙයි. 'නර බිර-මන් පර නර නැ කැප නි කෂ'.


තවද සෙල් ලිපිය පිහිටන ලද ස්ථානය ගැන විමසා බෑලීමෙදී මෙය වඩාත් තහවුරු වේ. විමසිල්ලෙන් බලන්න 'සු=සුනඛ, වා=වාරණ, පොළ = ස්ථානය'. මෙයින්ම මෙය 'සුනඛයින්ට වාරණයන් පැනවු ස්ථානය' බව ඔප්පු නොවෙයිද?

සටහන - 'සුනඛාභිලන්ශකාරය' ටීකාවේ පිටපත් ගැන මාගෙන් නොවිමසන මෙන් කාරුණිකව ඉල්ලමි. මන්ද යත්, එහි වත්මන් භාරකාරතුමාගෙන් ඒ සඳහා මට අවසර නොලැබුණු  බැවිනි. එසේම 'සුවාරපොළ' අති පැරණි සෙල් ලිපි ඉතා මෑතකදී නිදන් හොරු විසින් විනාශ කර ඇති බව මා දැන ගත්තේ අද දින උදෑසනය. මෙය නෙතට කඳුලක් එක් කළද, මෑත අනාගතයේ මේ හෙළබිම බිහිවන මහා රාවණ අධිරදු ඔවුනට නිසි දඬුවම් දෙනු ඇත.

18 comments:

  1. දාස හපුවලානගේ සුවාරිස් , ඩොබර්මන්ලාගේ නැට්ට කැපු පරම්පරාවෙන් පැවත එන්නෙක් ද ?

    ReplyDelete
    Replies
    1. සුවාරිස් ගේ වැඩ අනුව නම් හෙළයෙක්ද කියල හරියටම කියන්න අමාරුයි. හැබැයි ටක්කෙටම කිව්වැහැකි මගෝඩිස්තුමා නම් හෙළ යකෙක් තමා.

      Delete
  2. ෂහ්..අපූරු සොයා ගැනීමක් නෙව..මං හිතන්නේ මෙහෙම ගියොත් අපිට වැඩි දවසක් යන්න කලින් රාවණ තුමා දකින්න හම්බ වෙයි...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම දකින්න ලැබෙනවා. ඔන්න දැන් ආරන්චි වෙන්නේ 2012 හදිසි මැතිවරණයකින් රාවණා ලොක්කා UNP එකෙන් දිනනවා කියල.

      Delete
  3. අතිශය වැදගත් ලිපියක් මහත්මයාණෙනි. ඩොබර්මන් නැමැති ඉපැරණි පෙළපතකින් පැවත එන හෙළ බල්ලන්ගේ උතුම් පෙළපත වෙනුවෙන් අපි දිවි දෙවැනි කොට පෙනී සිටිය යුතු කාලය එළඹ තිබේ.

    ReplyDelete
    Replies
    1. එහෙම නැත්නම් ඔක්කොම පර නරයෝ කියයි, ඩොබර්මන් 'ජර්මනියෙන්' ආවේ කියල. අපිත් නිකන් සවුත්තු වෙනවා.

      Delete
  4. මුලින් රැවටිලා
    "'වර්ගපූර්ණිකාව' බ්ලොගය කියවීම තුලින් මා ලද දිරි ගැන්වීම හේතු කොටගෙන"
    ඔන්න ඔය කෑල්ලත් ක්ලිප්බෝඩ් එකට දාගෙන නෙලන්නයි ලෑස්ති වුනේ. මැදහරියට යද්දි වැඩේ ඩයල් වුනා. හොඳ ලියමනක්. දැං බැලුවම මේ ලෝකෙ තියන ඔක්කොම කරල තියෙන්නෙ හෙළයො නෙව!
    ආඩම්බරයි හසන්ත!

    ReplyDelete
    Replies
    1. ඇත්ත තත්වයන් නැතුවම නෙවෙයි. හැබැයි අන්තගාමී වීමෙන් නම් වෙන්න තව තවත් රටටම අවනම්බු වීම නොවැ. අපොයි රාජ් ගෙන තව පොඩ්ඩෙන් කනේ පාරක් තමා.

      Delete
  5. ඔබද රාවන පාක්ෂිකයකු වීම ගැන ආඩම්බර වෙමි. රාවනා සිද්ධම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. හැබැයි ලොක්කා ආඩම්බරයි කියලනම් මදි, ලොක්කා බලයට ආවහම අපි ගැනත් බලාගන්න ඕන හොඳේ...මටත් ඔය අමාත්‍යාංශයක ලේකම් කමක් දුන්නොත් ඇති. දඬුමොණර අමාත්‍යාංශයේ වුනත් කමක් නෑ..

      Delete
  6. හරි හරි.. දැන් නේ මීටර් වුනේ.. :-)

    ReplyDelete
  7. මීටර්ය මීටර්ය

    ReplyDelete
  8. thopi okkotama pissuda yako???

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යකෝ කියල ඇමතුවට. දැක්කද අපි කියන ඒවා නොපිළිගත්තට අපි හෙළ යකුන්ගෙන් පැවත් එන බව 'දිව' පිළිගත්තා.

      Delete
  9. ඩොබර්මන් කියන බල්ලෝ (සමාවෙන්න ඕනේ) ජාතියෙ ආරම්භය හොයාගත්තෙ ජර්මනියෙ කියල මෙතන http://en.wikipedia.org/wiki/Doberman_Pinscher තියනවා. ඒත් මම හොයාගත්ත දේවල් එක්ක බලනකොට ඒ දවස් වල දඩුමොනරෙ විස්තර හොයන්න හිට්ලර් එවපු ඔතතුකාරයො තමයි ඔය බල්ලෙක්ව ඉස්සෙල්ල ජර්මනියෙ අරන් ගිහින් තියෙන්නෙ. පස්සෙ උන් හොයාගත්ත වගේ විකිපීඩියා එකේ දාලා. - මම හොයාගත්තෙ ඉස්සර පොතක් තිබ්බා ලක්දිව දුටු හිට්ලර් කියල. ඒකෙ තමයි තිබ්බෙ.

    ReplyDelete
    Replies
    1. 'සුනඛාභිලන්ශකාරය' ටීකාවේ, දැක්වෙන අයුරින් 'ඩොබර්මන්' හෙළ සුනඛයා පර දෙස් නරයින් හමු වී ඇත්තේද 'සුවාරපොළ' ආසන්නයේ ඇති 'කටුබැද්ද මුහුදු වෙරලෙදී ය. එම හමුවිම සිදුවන අවස්ථාවේ 'හෙළ යක් හිට්ලර්' (හිට්ලර් කියන්නෙත් හෙළ ජන්මයක් සහිත කෙනෙක් බව 'වර්ගපූර්ණිකාව' බ්ලොග් එකේ කරුණු සහිතව ඔප්පු කරල තියනවා) පාලනය කරණ ලද පර දෙසින් (ජර්මනියෙන්) පැමිණි මේ නරයා, වෙරළ අසබඩ කැලෑවක හෙළ යකින්නක් සමඟ පෙමින් වෙලී සිටි බවද, 'නායක සිංහල' (නාසි) හමුදාව විසින් පසු කළක වැරදීමකින් විනාශ කරණ ලද ඉපැරණි පුස්කොල පොතක දක්වා තිබූ බව මා හට දැන්වූයේ 'සුනඛාභිලන්ශකාරය' ටීකාවේ මුල් පිටපතේ වත්මන් භාරකාරතුමාය.

      එම හෙළ යක් හිට්ලර් තුමානන් පාලනය කරණ ලද රටින් පැමිණි පර දෙස් නරයා බිහි කළ පරපුරේ පුරුක් අදටත් මේ ප්‍රදේශයේ දිවි ගෙවති. ඔවුනට කරණ ලද ආදර සත්කාරයක් ලෙස පසු කලෙක කටුබැද්ද 'ජර්මන් ටෙක්' ආයතනයද මේ ප්‍රදේශයේ ස්ථාපිත කරණ ලද බව ඔබත් මමත් ඉතා මැනවින් දනිමු.

      මාගේ ගවේශණයට තවත් 'ටිප්පණි' අවශ්‍යය වේද?

      ඩොබර්මන් 1890 හොයා ගත්ත කියළ කියන්නෙත් ඔය බටහිර අධිරාජ්‍යයවාදීන් මෙහෙයවන 'විකිපීඩියා' කියන අන්තර්ජාල විශ්වකෝෂය නේ. ඕකත් ලියල තියෙන්නේ සාමාන්‍යය මිනිසෙක්. අපි හෙළි කරන්නේ මෙච්චර කල් සාමාන්‍යය මිනිස්සුන්ට ගෝචර නොවෙච්ච් පරම සත්‍යය.

      ඒත් එක්කම බලන්න දැනට ලෝකයේ ප්‍රසිද්ධ නූතනවාදීන් කියන විදිහට 'ඩොබර්මන්' කියන්නේ ජර්මන් උපතක් තියන සුනඛයෙක් (අමූලික බොරු). ඇත්ත තත්වය නම් 'ඩොබර්මන්' හෙළයෙන් තමා 'ජර්මන්' ජාතිකයින් අරගෙන ගියේ.

      කාල් ෆ්‍රෙඩ්‍රික් නැමැති සුද්දා 1880 ගණන් වලදී හෙළදිවට ආවා මේ ගැන හොයල බලන්න. පස්සේ මිනිහ කලේ මිනිහගේ නමටත් 'ඩොබර්මන්' කියල කෑල්ලක් දාගෙන 'ඩොබර්මන්' ලව මිනිහ හොයා ගත්තා වගේ ප්‍රසිද්ධ කලා. ලෝකෙ කිසිම පොතක ලියවිලා නෑ කාල් ෆ්‍රඩ්‍රික් හෙළදිවට ආපු නැති බව. ඉතින් කොහොමද අපි කියන්නේ බොරු කියල ඔප්පු කරන්නේ?

      Delete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.