Friday, August 10, 2012

PayPal ලංකාවේ අපිටත් ඕනෙ නම්....



මෙච්චර කාලයක් කතා නොකරපු මාතෘකාවක් පටන් ගත්තේ හිතවත් බ්ලොග් අවකාශයේ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලීමක් කරන්න. මේ උත්සහයෙන් වෙනසක් කරන්න හැකි වුනොත් ඒකෙන් පොදුවේ මුලු රටේම ඉන්න සියළුම මිනිස්සුන්ට, විශේෂයෙන් අන්තර්ජාලය භාවිතා කරන, මාර්ගගත ගණුදෙනු (Online Transactions) සිදු කරන සියළු දෙනාට බොහොමයක් ප්‍රයෝජනවත් වේවි. ඇත්තටම කිව්වොත් ජාතික කාර්‍යයක්.

පේ පෑල් (PayPal) කියන්නේ අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාව. ඒක පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුනත් අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ අප්‍රකාශිත සම්මතය ලෙස හදුන්වන්න පුළුවන්.

අන්තර්ජාලය තුළින් ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන් සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal අන්තර්ජාල පරිශීලකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා.

ගෙවීම් ලබාගැනීම සඳහා PayPal සේවාවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වුනත් ගෙවීම් කිරීම සඳහා එවැනි ගිණුමක් අත්‍යවශ්‍ය නොවන නිසා විද්‍යුත් ණය හෝ හර පතක් (Credit Or Debit Card) ඇති ඕනෑම කෙනෙකුට PayPal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමට හැකි නිසා එය ප්‍රමුඛතම මුදල් හුවමාරු සේවාව බවට වෙලා තියනවා.

ප්‍රධාන ප්‍රශ්නය.

ශ්‍රී ලාංකිකයන්ට PayPal හරහා ඕනෑම අයෙකු වෙත මුදල් යවන්න පුළුවන් වුනත් කිසිම අයෙකුගෙන් මුදල් ලබාගැනීම කරන්න බැහැ.

මේ නිසා වෙනත් සංකීර්ණ ගෙවීම් ක්‍රම හරහා මුදල් ඉල්ලන ශ්‍රී ලාංකික සේවා සපයන්නන්ගෙන් භාණ්ඩ හා සේවා ලබාගන්නවාට වඩා පහසු ක්‍රමයකින් (ඒ කියන්නේ PayPal භාවිතයෙන්) සේවා සපයන ඉන්‍දියානු ජාතිකයන් වගේ අයගෙන් සේවයන් ලබාගැනීම පාරිභෝගිකයන් සිදු කරනවා. (උදා: වෙබ් අඩවි නිර්මාණය, ග්‍රැෆික් නිර්මාණය, දත්ත ඇතුළත් කිරීම්)

තනිවම හා කණ්ඩායම් වශයෙන් මෙම සේවා සපයා මුදල් උපයන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ඉන්නව වුනත් PayPal ශ්‍රී ලංකාවට සහය නොදැක්වීම ශ්‍රී ලංකාව තුළට මුදල් ගෙනෙන මෙම පිරිසට ඉමහත් බාධාවක් වී තියනවා. අපි හැමෝම දන්නවා මේ ක්‍රමය ඉතාම වේගයෙන් ප්‍රචලිත වන විදේශ විණිමය උපයන ක්‍රමයක් බව. මෙම සේවාවන් 'Business Process Outsourcing' (ව්‍යාපාරික සේවා පිටතට පැවරීම) යන නමින් හදුන්වනවා.

දැනට මොවුන් අනුගමනය කරන එක් ක්‍රමයක් තමා වෙනත් රටක ව්‍යාජ ලිපින යොදාගෙන PayPal ගිණුම් තැනීම. ඒත් එහෙම කිරීමෙන් සියළු මුදල්ද PayPal ගිණුමද අහිමිවීමේ අවදානම තියනවා.

ගැටළුවට හේතුව.

ඉහත දක්වපු විදිහට භාවිතය සීමා කරන්න හේතුව විමසල බලන්න අවශ්‍යයයි.

ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ යල් පැනගිය නීති ලෝකයේ හා ජනතාවගේ අවශ්‍යතා අනුව යාවත්කාලීන කරන්න අකමැති නිසා PayPal ආයතනයට තමන්ගේ සේවාවන් ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි වෙලා තියනවා.

විසදුම.

ශ්‍රී ලංකා රජය PayPal ආයතනය ශ්‍රී ලංකාවට සහය දක්වන්නට එකඟ කරවාගන්නේ නම් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති 21වැනි සියවසට ගැලපෙන පරිදි යාවත්කාලීන කරන්නේ නම් ශ්‍රී ලාංකිකයන්ට ලැබිය හැකි වාසි රැසක් තියනවා.

උදාහරණ.

1. eBay වැනි ජාලගත වෙළඳපොළවල් හරහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ විකිණිම හා එයට අදාළ මුදල් ලබාගැනීම.

2. සුළු හා මධ්‍යම පරිමාණ ග්‍රැෆික්, වෙබ් නිර්මාපකයන්, දත්ත ඇතුලත් කරන්නන් හට තමන්ගේ සේවා සපයා ඒ සඳහා අදාළ මුදල් ලබාගැනීම.

3. ඉහත කාරණා දෙක සඳහාම PayPal සහය දක්වන ඉන්දියාව වැනි රටවල් සමග සම මට්ටමෙන් තරග කරන්නට හැකි වීම.

4. තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රය හරහා ශ්‍රී ලංකාව තුළට පැමිණෙන මුදල් ප්‍රමාණය වැඩිවීම.


විසඳන මග.


1. PayPal Pte. Ltd. යනු ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි eBay Inc. ආයතනයේ උප ආයතනයකි. ශ්‍රී ලංකා රජය ඔවුන් සමග කටයුතු කොට ඔවුන්ගේ සේවා මෙරට වෙත ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ගැළපෙන අයුරින් වෙනස් කළ යුතුය.

2. PayPal ආයතනය මගින් අප ඉල්ලා සිටිය යුතු සේවා මේවායි,

     * ඕනෑම මුදල් ප්‍රමාණයක් ඕනෑම රටක සිට ශ්‍රී ලංකාවේ අයෙකුගේ PayPal ගිණුමට ගෙන්වා ගැනීමේ පහසුකම.

     * ශ්‍රී ලාංකිකයෙකුගේ PayPal ගිණුමේ ඇති මුදල් ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමකට ගෙන්වා ගැනීමේ පහසුකම.


මේ විසදුම් වෙනුවෙන් එකමුතුවක් තුළින් යමක් කරන්න කිහිප දෙනෙක් මේ වෙනකොටත් එකතු වෙලා තවත් අයව එකතු කරගනිමින් ඉන්නව කියන සුභවාදී පණිවිඩයත් අපිට දැනගන්න ලැබුනා. ඒ එය මේ වෙනුවෙන් මාර්ගගත ඉල්ලීමක් අත්සන් කරගනිමින් ඉන්නවා.

පහත තියන සබැදුම හරහා මේ ඉල්ලිමට සහයෝගය දැක්වීමට විනාඩියක් වැනි කෙටි කාලයක් වැය කරන්න කියල බ්ලොග් අවකාශයේ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලනවා. 

මාර්ගගත ඉල්ලීම ට අත්සන් කිරීම් (Online Petition) 

http://j.mp/PayPalForSriLanka


ට්වීටර් (Twitter) ගිණුම

https://twitter.com/#!/search/?q=%23PayPalForSriLanka


ෆෙස්බුක් (Facebook) ගිණුම

https://www.facebook.com/groups/paypalforsrilanka/



ප.ලි. මේ පිළිබද අපව දැනුවත් කළ සහ PayPal පහසුකම් අප රටට විවෘත කරගැනීමට වෙහෙස වී ක්‍රියා කරන, අප හිතවත් රාමාගේ අවඩියේ
රාමා  ට සහ ඒ වෙනුවෙන් ක්‍රියා කරන අනිත් සහෝදරයන්ට අපගේ විශේෂ ස්තුතිය.

තවද, මේ පිළිබදව පුළුල්ව දැනුවත් කිරීමට විජෙට්ටුවක් සැදීමට ක්‍රියා කරගෙන යන බව දැන ගැනීමට ලැබුණු අතර, ඒ සදහා ද ඔබෙගේ කාරුණික සහයෝගය ඉදිරියේදී අපේක්ෂා කරමු.

19 comments:

  1. අස්සම නම් දැම්ම... ඒත් මට සැක, ඒකටත් බදු ගහයිද දන්නෑ...

    ReplyDelete
    Replies
    1. බදු නොගහයි කියල කියන්න අමාරුයි. කොහොම වුනත් කෙටි කාලීනව වගේම දීර්ඝකාලීනව රටට ලැබෙන ප්‍රථිලාභ ඊට වඩා වටිනවා. ස්තුතියි ඔබේ දායකත්වයට.

      Delete
  2. ඉතාමත් වැදගත් ලිපියක්.මමත් ඒ ගෘප් එකට රික්වෙස්ට් කලා.මේක ඇත්තටම හොඳ වැඩක්.පේ පෑල් මටත් වැදගත් ඒ නිසා මමත් සයින් කරන්නම්.ස්තුතියි ලිපියට සහෝ .

    ReplyDelete
    Replies
    1. හිරුහිමාවිට බොහොම ස්තුතියි. පෞද්ගලිකව විතරක් නෙමේ පොදුවේ මුළු රටටම මේක වැදගත්. ඒත් මහ බැංකුව මේ දේවල්වලට හරිම ප්‍රථිගාමීයි. ඔය මූණුපොතේ ගෲප් එකේ ඉන්න බුධාජීව සහෝදරයා බොහොම උත්සහයක් දරනවා මේ වෑයම ඉස්සරහට ගෙනියන්න.

      Delete
  3. එළ එළ.කවුද බොලේ දැනං හිටියේ ඕවා.ඊ බේ එකෙං බිස්නස් කටුවක් අටෝ ගන්ඩ අදහසක් ආවට මේක දැනගත්තේ නැත්තං සොරිම තමයි වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔය සීන් එක අපේ රාමා ගොයියටත් වෙලා තියනවා. මිනිහ සුද්දෙකුට බඩු වික්කහම තමා දැනගෙන තියෙන්න සල්ලි ගෙන්නන්න බැරි බව. පස්සේ චෙක් එකක් එවල. ඒක මාරු කරගන්න මාස 2ක් ගිහින්. හොද කට්ට.

      Delete
  4. සඳරුවගෙ දැනුවත් කිරීමට පස්සෙ මාත් අස්සන ගැහුව. දැනුමක් නං නෑ.

    ReplyDelete
    Replies
    1. කොහෙද ඉතින් රාජ්‍යය සේවය අළුත් වෙන්නේ. රාජ් සේවකයත් දන්නෑ කියනකොට (විහිළු හොදේ) උඹ කොහොම හරි අත්සන ගැහුවනේ. ඒ මදෑ. කවුරුහරි ඇහුවොත් කියපන් උඹෙත් ඊ බේ කඩ කෑල්ලක් තියනවා කියල.

      සදරු වත් ගේමට බැහැල ඉන්නේ. ඒක හයියක්.

      Delete
  5. මම සුපුන් බුධාජීව මලය ඇතුළු පිරිස පටන් ගත්ත දේට සහයෝගයක් දුන්න විතරයි. ස්තුතියි මේ දේට එකතු වුනාට. මම මේක ගෙඩිය පිටින් කොපි කරනවා..

    ReplyDelete
    Replies
    1. ඉඳුනිල් = රාමා :)

      Delete
    2. මම මුලින් ලිපියේ දැම්මේ ඉදුනිල් කියල තමා. ඒත් වැඩිපුර දන්නේ රාමා නිසා පස්සේ වෙනස් කලා.

      Delete
  6. පුළුවන් සප් එකක් මමත් දෙන්නම්

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා! දැනට ඕන දැනුවත් කිරීමයි, මේ අත්සන් ගාන වැඩි කරගන්න එකයි. මීඩියා කනෙක්ෂන් එහෙම තියනවනම් වටිනවා.

      උඹත් අත්සන ගැහුවා නේද?

      Delete
  7. අපිත් ඔන්න සහයෝගය දැක්කුවා :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන්. මම දැක්කා රාම ගේ අඩවියෙත් උඹ මේ ගැන කියල තියනවා.

      Delete
  8. මගෙත් සල්ලි වගයක් තියෙනවා පේ පැල් එකේ. මෙකෙන් යහපත් විසදුමක් ලැබුනොත් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. අපි උපරිම උත්සහ කරමු. බැරි වෙන එකක් නැහැ. ස්තුතියි මේ පැත්තේ ආවට.

      Delete
  9. එල කිරි බලමු අපිත් හරි යයිද කියලා

    ReplyDelete
    Replies
    1. උත්සහවන්තයා ජය ගනී කියනවනේ... :D

      Delete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.