Friday, March 22, 2013

අහෝ...ජිනීවා (ලබන මාර්තුව තෙක්)



ජිනීවා තියෙන්නේ දියවන්නාව පැත්තේ යැයි සිතෙන තරමට එ.ජා. මානව හිමිකම් කමිටු යෝජනාව පැන යා හැකි මාතෘකාවක සීමාවෙන් ඔබ්බට ගමන් කර ඇත. සුමාන දෙකකට පසු සහ ලබන පෙබරවාරි අවසන වනතෙක් යලි කරලියට නොඑන මාතෘකාවක් බව දැන දැනම මේ නීරස මාතෘකාව ගැන පසු විවරණයක් කිරීමට සිත් විය.

මුලින්ම මේ යෝජනාවේ අන්තර්ගත කරුණු වලින් ප්‍රධානම කාරණය වන LLRC කමිටු වාර්තාව ගන විමසා බලමු. මෙය රටේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවක් වන අතර මෙය ආරම්භයේ පටන්ම රටේ ඇති වූ හෝ ඇති විය හැකි ජනවාර්ගික ගැටළුවලට පිළිතුරක් සෙවීමේ අභිලාෂයෙන් සකස් වූවක් නොවේ. එසේ වූවා නම් ඕනෑම අයෙකුට සාක්ෂි ලබා දිය හැකි යයි රෑ ප්‍රවෘත්ති වලින් සංදර්ශණ කිරීමෙන් ඔබ්බට ගොස් මෙය සැබෑ වශයෙන්ම ජනතාව අතරට ගොස්, ජනතා අත්දැකීම් සහ අදහස් වලින් නිර්මිත වාර්තාවක් විය යුතුව තිබිණි. උතුරු නැගෙනහිර ජනවාර්ගික ප්‍රශ්ණයට පිළිතුරු සොයන මේ වාර්තාව අඩංගු වැඩිමනක් කරුණු වලට සාක්ෂි ලබා ගැනීමේ කටයුතු වලින් 80% සිදු වූයේ කොළඹ පිහිටි ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ ආයතනයේදී වීමම මෙහි වලංගු භාවය ප්‍රශ්ණයට නැගෙන අවස්ථාවකි.

ඇත්තට මුහුණ දිය යුතුය. මේ වාර්ථාව හදිසියේ සම්පාදනයට හේතු වූයේ දරුස්මාන් වාර්තාව හරහා ජාත්‍යන්තරව නැගෙමින් පැවති විරෝධය යටපත් කිරීමේ අවස්තාවාදී අරමුණ මිසක් ජනවාර්ගික ගැටළුවට පිළිතුරු සෙවීමේ අවස්ථානෝචිත අරමුණ නොවේ.

කෙසේ හෝ මෙම වාර්ථාව ජාත්‍යන්තර අවධානය දිනාගත් වාර්තාවක් බවට පත් විය. එසේ නොවුනත් එය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වාර්ථාවක් බවට පත් වූ බැවින් එය අඩු ලුහුඩුකම් පැවතියද එය ක්‍රියාත්මක කිරීමේ වගකීමක්, යුතුකමක් සහ අයිතිවාසිකමක් රජය සතු වේ. එය ඇමෙරිකාව, ඉන්දියාව හෝ යුරෝපය පමණක් නොව විපක්ෂයවත් බල කරන තෙක් කල් මැරීමට අවශ්‍ය නොවේ.

මේ වාතාවරණය තුළ ඇමෙරිකාව ප්‍රමුඛ අධෝ මුඛ කැසීම් ඇති බටහිරවාදීන්ට රටේ ස්වෛරීභාවය ප්‍රශ්ණ කිරීමට උඩගෙඩි දීමේ වටපිටාවක් ඇති කිරීමට මේ අදූරදර්ශී පාලනය 'සමත්' විය. මාධ්‍ය මර්ධනය, නිතිය හෑල්ලුවට ලක් කිරීම, ප්‍රසිද්ධ මැර ක්‍රියා, දේශපාලන පලිගැනීම් මෙන්ම එළිපිට සිදු කරන වංචා ආදිය ගැන ITN එකෙන් එහා ලෝකයක් ඇති බව දන්නා කිසිවෙකුට හෝ අප විසින් පැහදිලි කීරීම අවශ්‍ය නොවන බව දනිමි.

ඇමෙරිකාව හෝ යුරෝපයට පමණක් නොව ඉන්දියාවට පවා මේ ප්‍රශ්ණය පිටින් තම රටේ පෞද්ගලික න්‍යාය පත්‍ර සාක්ෂාත් කර ගැනීමට එහා ගිය අරමුණක් නැති බව පැහැදිලිව පෙනේ. ඇමෙරිකාව තම සුපුරුදු හෙළුවෙන් සිට හූ කියා චන්ඩි පාට් දැමීමේ න්‍යායට අවතීර්ණව ඇති අතර, ඇමෙරිකාව් බෙට්ටත් සුවද යැයි අදහන යුරෝපයට දෙමළ ඩයස්පෝරාවේ මුදල් සහ පාවෙන ඡන්ද මේ තීරණය ගැනීමට අමතර උපකාරයක් වූ බව නොරහසකි. දකුණු ආසියාව තුළ ආධිපත්‍යය පැතිරීමේ අමන ආසාවෙන් මුසපත් වී ඇති ඉන්දියාවට තමිල්නාඩුව තුළ ඇති ඡන්ද පදනම මිසක, තමිල්නාඩු ජනතාවගේ සැබෑ අදහස මේ තීරණය බලපෑම් කළ බවක් නොපෙනේ.

කෙසේ හෝ LLRC වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සහ එහි සාර්ථකභාවය පිළිබද වාර්තා කිරීමෙදී මේ රජය ජාත්‍යන්තරය නොමග යැවූ අවස්ථා අතේ පත්තු වීම හරහා ඇමෙරිකාව මතුකරන කාරණා වලට නිසැකයෙන්ම පිළිගැනීමක් ඇති වී තිබීම පිළිබදව හොදම උදාහරණය නම් යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් වෙනිසියුලාව පවා කමිටු වාර්තාවේ යෝජනා හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයට දැනුම් දීමයි.

කෙසේ වෙතත් ඇමෙරිකාවේ මේ නින්දිත උත්සහය ගිය වර මෙන්ම මෙවරද නිකම්ම නිකම් ඡන්දයක් පමණක් විනා,මේ දුර්දාන්ත පාලනය හේතුවෙන් තැලී පොඩිවී සිටින අහිංසක ශ්‍රී ලාංකිකයාට වින කරන තවත් ප්‍රයත්නයක් නොවේවායි ශ්‍රී ලාංකිකයෙක් ලෙස හදවතින්ම පතමි.

ප.ලි. කොච්චර මේ මගුල් දේශපාලන මාතෘකාවලින් එළියට පනින්න හැදුවත් බැරි හැටි...ලබන සැරේ නම් දානව වෙන සීන් එකක්..ඕං කිව්වා...

20 comments:

  1. හොරකං කළේ මං විතරක් නෙමේයියියියියියි....
    මං ගියෝ

    ReplyDelete
    Replies
    1. :-D එහෙම හරියන්නෑ මොනව හරි කියහං අයියේ...

      Delete
  2. ඉන්දියාවට වෙන කළ හැක්කක් නොමැත. කරුණානිධි සිඳුකලේ මුළු ඉන්දියාව වෙනුවෙන්ම කඩේ යාමකි. මේ සියල්ල විහිළු මිස වෙන කිසිවක් නොවේ. අපේ මානව හිමිකම් ගැන කතා කරන්නේ ඇමරිකාවයි. එයම මහා විහිළුවකි. මුස්ලිම් රටවල් ඡන්දය දුන්නේ ඇයිදැයි කියා ඇමරිකාව පවා දන්නවාය. එසේ නොමැතිව ඒ රටවලටත් අරාබි වසන්තය උදාවනවා ඇත. ආයතන තුල මෙන්ම, ලංකික දේශපාලනයේද, ළෝක දේශපාලනයේද, එක්සත් ජාතින්ගේ සංවිධානයේද රජ කරන්නේ බොරුව මිස වෙන කිසිවක් නොවේ. නමුත්, ජාති ආගම් බේදයකින් තොරව, නිදහසෙන් පසු, අපි අපේ රටේ ජනතාවට යුතුකම් ඉටුකර තිබෙනවාද.. නිසි අධ්‍යාපනයක් ලබා දී තීබෙනවාද... ප්‍රෞඩ අතීත කාමයක ගැලී ස්වයං වින්දනයේ හෙදීමෙන් පලක් වෙද, සියළු ජනතාවට ප්‍රෞඩ වත්මනක් උදා වූ දිනෙක ලක් මාතාව සුරතාන්තයට පත් වනු ඇත. එතෙක් මේවා දෙස බලා සිනහසෙනවා හැර. හඬා වැලපීමෙන් කිසිඳු වින්දනයක් ලැබිය නොහැක.

    ReplyDelete
  3. මාතලන් වගේ මමත් කියන්නෙ ඔන්න ඔහෙ සුදියේ ඉමු ඒ අවුරුද්ද. සෑහෙන යමක් එන්නෙ අවුරුදු තුනකින්. එතකොට එහෙට මෙහෙට දුවලා මොනව හරි කරමුකො.....

    ReplyDelete
    Replies
    1. මහ වෙදනා කියන කතාව ගැනත් යම් අදහසක් තිබ්බ නිසාම තමා මම අන්තිම ඡේදය මේකට එකතු කලේ. ඇමෙරිකාව ගිය සැරේ කරපු දේම මේ සැරේ කලත්, ගිය වතාවේ භය වුන තරම් දෙයක් සිද්ධ වුනේ නෑ. දරුස්මාන් එළි බහින කොට විදුලි පුටු ගැන මතක් කරලා භ්ය කරපු උදවිය කලේ මිනිස්සුන්ව රූකඩ කරපු එක. මේ සති දෙකට විතරක්වත් මේ ගැන කතා කරමු. ඒත් කෝ 'ඇත්තම' විසදුම්.

      Delete
  4. ශ්‍රි ලංකාවට එරෙහිව මානව හිමිකම් චෝදනාවක් ගෙන එන ඇමරිකාවට මෙන්ම ඉන්දියාවටද මානව හිමිකම් පිලිබඳ සැබැ වුවමනාවක් ඇත්තේ නැත . ඉන්දියාවට බලය බෙදීමක් ගැන කැසිල්ලක් තිබුනත් ඇමරිකාවට එහිද ප්‍රශ්නයක් ඇතැයි මා සිතන්නේ නැත .යුධ අපරාධ පරීක්ෂණයක් වලකා ගැනීමට රජය විසින් කල යුතුව තිබුනේ චීනය පසුපස දුවමින් ඇමරිකාව හා ඉන්දියාව කුපිත කිරීම නොව එහි විලෝමයයි . ශ්‍රි ලංකාවේ සංවර්ධන යෝජනාවන්හි ප්‍රමුඛස්ථානය ඉන්දියාවට ලබාදීමටත් , චීනය වෙනුවෙට ඉන්දියාව චන්ද්‍රිකා තාක්ෂණික කටයුතු සඳහා යොදා ගැනීමත් ඉන්දියාව ශ්‍රි ලංකාව වෙනුවෙන් පෙනි සිටීමට ප්‍රමාණවත් විය හැකිව තිබුනි එහිදී ඇමරිකානු අවශ්‍යතාවයක් වෙනුවෙන් මෙවන් ඩීල් එකක් සොයා ගැනීමට නැතත් අඩු පඩු කැඩු පලාත් සභාවෙන් බලය බෙදීම අහවර කරන්නටත් ඉඩ කඩ තිබුනි . මෙවර කෙසේ වෙතත් පසුගිය වතාවේ ඉන්දියානු සහය නොතිබුනා නම් ඇමරිකාව යෝජනාවක් ගෙන එන්නේවත් නැත . ඇමරිකාව සමඟින් සබඳතාවක් ගොඩ නගා ගැනීමේ හැකියාව තිබුනා නම් මීටත් වඩා තත්වය යහපත්ය

    ඇමරිකානු හිතවාදීන් නොවූ බ්‍රසීලය . ආජෙන්ටිනාව ආදීන් අපට විරුද්ධව ඡන්දය දෙනවා නම් , අතිජාත අවංක මිතුරෙකු වූ ජපානය නිහඬ වනවා නම් එයම අප විසින් ජාත්‍යන්තරය තුල ඇතිකරගෙන තිබෙන මතවාදයේ හොඳකම විදහා පාන්නකි .

    ReplyDelete
  5. ඇමරිකාවේ අම්මට එන්න කියාපිය කියලා මල පැනගෙන ගත්තා බලන්න චන්ද ලිස්ට් එක. කවුද අපිට එරෙහිව චන්දෙ දුන්නේ? ඇමරිකාව අපේ හතුරා අධිරාජ්‍යවාදියා කියමුකෝ. ඌ ඇරෙන්න චන්දෙ දුන්න ඔක්කොම උගේ ගැත්තෝ ද? බ්‍රසීලය චිලි එහෙම අපිට එරෙහි වන්නේ ඇයි? කසකස්තානය නියුට්‍රල් ගියේ ඇයි?

    දිග කතාවක් කොට කලොත්; ලංකාව අමරිකාවටයි ඉන්දියාවටයි බනින වෙලාවේ තමන්ගේ වැරදි හදා ගත්තනම් ඉවරනේ. මම කියන්නේ ඔය නවී පිල්ලේ, දරුස්මාන්, බ්ලේක වගේ එවුන් ඉල්ලන ඒවා කරන්න කියා නොවේ. අපේ පැහැදිලිව පෙනෙන වැරදි අපිම හදා ගැනීම. යුද්ධය වෙලාවේ ස්ත්‍රී දූෂණ වෙලා තියේනම් පරීක්ෂණ කිරීම, යුධ හමුදාව දම්මලා යාපනේ ඉන්න මිනිසුන්ට ගහන්නේ නැතුව ඉන්න, මාධ්‍යවේදී කියන එවුන්ට මේ කිසිම යුද්ධයක් නැති වර්තමානේදිවත් ගේම් නොදී ඉන්න, කුඩුකාරයින් රාජ්‍ය පාලනයට නොගැනීම, අපරාධකාරයින්ට රාජ්යාරක්ශාව නොදීම, නීතිය අධිකරණය එක්ක සෙල්ලම් නොකර ඉන්න, කුරම් ෂේක් ඝාතනය වගේ පිටට දැනෙන අපරාධ ගැන ට්‍රාන්ස්පේරන්ට් ක්‍රියාමාර්ග ගැනීම, බෝබසේ නීතිය අතට ගන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගැනීම.

    මෙසේ කළා කියා සමහරවිට ඇමරිකාව තම වෑයම නතර කරන එකක් නැහැ. [එක රඳා පවතින්නේ ඇමරිකාව අරගෙන යන ව්‍යාපාරය පස්සේ තියෙන භුමිගත සාධක මත] හැබැයි ඇමරිකානු යෝජනා වලට සහය දෙන ඇමරිකානු ගැත්තන් නොවන රාජ්‍ය ටික වත් වෙනස් වේවි. එපා ඒ රටට එහෙම කරන්න කියලා කියන පිරිස වැඩි වේවි. පහුගිය කාලේ කරපු තක්කඩි වැඩ ටිකත් එක්ක අපිට කැමැත්තක් පෙන්නන්නේ අපි වගේම තක්කඩි වන ඉරානය වැනි රටවල් පමණයි. ඔය කිව්වට රුසියාව වත් අපිට පූර්ණ ප්‍රසාදයක් දක්වනවා ද මන්දා. චීනේ නම් කරන ගේම පැහැදිලියි නේ.

    මම කියන්නේ අපි හැදිලා හිටියොත් අපි වෙනුවෙන් කවුරු හරි කතා කරයි. දයාන් වගේ බුලට් පොරකට බාර දුන්නොත් ඔහු ඒ පිරිස අගේට එකතු කරයි.

    එහෙම නැතුව අමරිකාවටයි ඉන්දියාවටයි බැන්නට වැඩක් නැහැ. උන්ට ඇත්තෙන්ම ඇහෙන්නෙවත් නැහැ. අනික භාණ්ඩ වර්ජනය කරලත් වැඩක් නැහැ උන්ට දැනෙන්නේවත් නැහැ [ඇත්තෙන්ම අපිටයි දැනෙන්නේ]

    අනික රාජ්‍ය තාන්ත්රිකත්වය තුල සදාචාර හොයන්න එපා. Morals and principles are only within the saliva of diplomacy [මගේ කියමනක්. ගූගල් කලාට හොයා ගන්න බැහැ]

    ReplyDelete
    Replies
    1. මම දුටු ඉතාම වටිනා කාලෝචිතම කමෙන්ට් එක මේ කාරණය සම්බන්ධව.

      Delete
    2. දුකාගේ සුප්‍රසිද්ධ කියමන අනුව යමින්... ( සති දෙකයි මහත්වරුනී සති දෙකයි..) සද්ද නැතුව යන්නත් හදලා, මේ කමෙන්ට් එකට වැටක් ගහන්න හිතුවා...

      හැබැයි අර යාපනේ මිනිස්සුන්ට යුධ හමුදාව දම්මලා ගහන කතාව ගැන නම් මට සාදාරණ සැකයක් තියෙනවා... යාපනෙන් හමුදාව සම්පූරණයෙන් අයින් කරන්න පුළුවන් තත්වයක් තාම නෑ කියලා මාධ්‍ය වලින් යට ගහන සමහර දූෂමාන ආරංචි වලින් හිතෙනවා... විශේෂයෙන් ප්‍රභා මැරුනේ නෑ කියලා තරුණ අවදිකිරීම් කරලා, ආයිමත් ප්‍රශ්නේ ඇඳගන්න දඟළන අය ඉන්නවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ.. බොහොම අමුතු විඩියෝ ක්ලිප්ස් එහෙම තියෙනවා ( ලු) බොහෝ දෙමළ තරුණයන්ගේ ෆොන් වල.... මේවා යාපනේ විතරක් නෙවෙයි.. රත්නපුරේ පැත්තේ වතු වලත් තියෙනවා... ( මේ කිව්වේ හමුදාව සාමාන්‍ය මිනිස්සුන්ට ගහනවා කියලා තිබ්බ නිසා... මොකද ඔය ඇමරිකාවේ නීති වලින් එකක් නේද හමුදාව යාපනෙන් සම්පූර්ණයෙන් අයින් කරගන්න කියන එක..)

      Delete
    3. හිරු ඕක තමා පොයින්ට් එක. උතුරේ තියෙන හමුදා කඳවුරු ඉවත් කිරීම ඇමරිකන් හා පිල්ලේ ඇතුළු බර ගානක ඉල්ලීමක්. හැබැයි හරි නම ඒක උන්ගේ ප්‍රශ්නයක් නොවේ ඒක අපේ අයිතියක්. ඒ තීන්දුව අපියි ගන්න ඕනේ. අනික අපිට එහෙම අයින් කරන්නත් බැහැ, ඔබ හේතු දුන්නා වගේම.

      හැබැයි අපි හිතුවොත් මේ මිඉසුන්ට ගහන කතාව ඇත්ත කියලා, මම හිතන්නේ ඔබත් එකඟ වේවි එය වැරදියි කියා. ඇත්තෙන්ම ගහන්නේ කොටින්ටත් නෙවෙයිනේ. ඔය චෝදනා කරන සමහරක් පහර දීම් උනා කියන්නේ ගමේ ගොඩේ පොඩි වලි වලට, ආණ්ඩුවට ප්‍රතිවාදී දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් වීමට, ආණ්ඩුවේ තක්කඩියෙකුට ඕනේ කිසියම් ජාවාරමකට හරස් කැපීමට. මේක මහා හිඟන වැඩක්.

      අනික මෙවනි අවස්ථා දකුණේ උනාම අපිට සාධක තියෙනවා ආණ්ඩුව විසින් තම මැරයන් හා සමහර විට හමුදාවම දම්මලා ගහපු හැටි ගැන. දකුණේ හා උතුරේ වෙන හිඟන පහර දීම් වල වෙනසක් නැහැ. ඒ නිසා මම හිතනවා මේ චෝදනාවේ තරමක අත්තක් තියෙනවා කියා.

      වැදගත් ප්‍රශ්නය වන්නේ අපි දන්නවද ජිනීවා වල අපිට එරෙහි විසි පහෙන් කීයක්‌ මේ කඳවුරු ඉවත් කිරීමට පක්ෂ ද, කීයක්‌ මේ පහරදීමට විරුද්ධව දුන්නද කියලා.

      ඒ රටවල් විසිපහ අස්සේ මාර ස්වාධීන අය ඉන්නවා. ඇමරිකානු විරෝධීන් ඉන්නවා. අපි බලන්න ඕනේ මේ මිනිස්සුත් අපිට එරෙහි වන්නේ ඇයි කියන එක.

      වෙන්න ඕනේ කොන්ද නවන එක නොවේ, ආණ්ඩුව ගලව ගත්තු සම්මත සදාචාරයේ ඇඟලුම් නැවත පැළඳ ගන්න එක. ඊට පස්සේ කොන්ද කෙලින් තියාගෙන බලන්න ඕනේ අපිට සහය ගන්න. මම කියන්නේ අපි කල යුත්තේ යෝජනා පිළිගන්න එක නොවේ. යහපත් ක්‍රියාවකින් මධ්‍යස්ත රටවල් දිනාගෙන ඊළඟ වටයේ යෝජනාව පැරදවීම. මේ රටවල් ලිස්ට් එක බැලුවම ඒක අමාරු නැහැ කියා හිතෙනවා. තක්කඩි පාලනය වෙනුවට යහපාලනයක් කලොත්.

      එහෙම නැතිනම් ඉතින් කොහොමත් ඇප නැති වේවි.

      Delete
  6. බොහොම අගේ ඇති අදහසක් හ්ම් !

    ReplyDelete
  7. මෙතනදී අපි එකිනෙකාගේ අරමුණු දිහා බැලුවොත් මේ සංකීර්ණ ප්‍රශ්නය සරල වෙනවා.

    1. ඇමරිකාවට ඇති කැසිල්ල: අධිරාජ්‍යවාදය සහ යටත්විජිතවාදය
    2. ඉන්දියාවට ඇති කැසිල්ල: තමිල්නාඩුව
    3. තමිල්නාඩුවට ඇති කැසිල්ල: තමිල් ඊළම සහ ප්‍රභා මැරූ ලේවල පළිය ගැනීම
    4. පකිස්ථානයට ඇති කැසිල්ල: ඉන්දියාවට ගේම දීම සහ ලෝක ප්‍රජාව ඉදිරියේ ඉන්දියාවේ රෙදි ගැලවීම (නැතිව අපට ආදරයකට නොවේ)
    5. චීනයට ඇති කැසිල්ල: ඉන්දියාවට එරෙහි සටනේදී ආවස්ථික සහ උපායමාර්ගික මිතුරකු ලෙස ශ්‍රී ලංකාවේ ඇති වැදගත්කම
    6. අනිකුත් මුසල්මානු රටවලට ඇති කැසිල්ල: පකිස්ථානයට සපෝට් එක දීම
    7. අනිකුත් සමාජවාදී රටවලට ඇති කැසිල්ල: ලංකාවේ ආධිපත්‍යය තහවුරු කරගැනීමේ ලා චීනයේ වායාම සාර්ථක කිරීමට දායක වීම.


    මේ මගේ මතය. හරි වැරැද්ද ඔබ තීරණය කරන්න.

    ReplyDelete
    Replies
    1. දෙකේම ලොකුම කැහිල්ල චීනෙ . ඔය දෙක එක සැරේ නැති කරගන්න පුලුවන් . මධ්‍යම ආණ්ඩුවේ කැහිල්ල නැතිවෙනවා නම් තමිල්නාඩුවට කොච්චර කැහුවත් අපිට කමක් නෑ , පකිස්ථානේ කැහිල්ල අදාල නැ ඉන්දියාවට කහන්නේ නැත්නම් . මුස්ලිම් රටවල් වලට කැහිල්ල මානව හිමිකම් (අනුන්ගේ මානව හිමිකම් ගැන කථා කරන්න බැ )

      Delete
  8. ලබන අවුරුද්දේද මේ තොවිලය හොදට නටමු.අන්තිමේදී නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ

    ReplyDelete
  9. ලබන මාර්තුවේදි ලැබෙන්නෙ හොදටම නිවිච්ච ඇල් වතුර....

    ReplyDelete
  10. වීදුරු ගෙවල් කෝටියයි.. :P

    ReplyDelete
  11. //කෙසේ හෝ මෙම වාර්ථාව ජාත්‍යන්තර අවධානය දිනාගත් වාර්තාවක් බවට පත් විය. එසේ නොවුනත් එය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වාර්ථාවක් බවට පත් වූ බැවින් එය අඩු ලුහුඩුකම් පැවතියද එය ක්‍රියාත්මක කිරීමේ වගකීමක්, යුතුකමක් සහ අයිතිවාසිකමක් රජය සතු වේ. එය ඇමෙරිකාව, ඉන්දියාව හෝ යුරෝපය පමණක් නොව විපක්ෂයවත් බල කරන තෙක් කල් මැරීමට අවශ්‍ය නොවේ.//

    ටික දවසකින් බ්ලොග් පැත්තේ එන්න බැරි වුනා මේ පෝස්ට් එකත් මිස් වෙලා... ඇමරිකාව යෝජනාව ගෙනාවට අකමැති එවුන්, නිකමටවත් රජයට කියන්නෙ නෑ උඹලම ගෙනාපු මේ වාර්ථාව ක්‍රියාත්මක කරපල්ල ඇමරිකාව කියනකම් ඉන්න නැතුව කියලා.

    පොඩි කාලෙ මාත් ටිකක් ඔය වගේ... ගෙදර මට පවරලා තියන වැඩ කරන්න හිතනකොටම අම්ම සමහර වෙලාවට බනිනවා කෝ උඹ දැන් මේ වැඩේ කලාද කියලා.. එතකොට මට මල පැනලා අර කරන්න ගිය වැඩේ කරන්නෙම නෑ... අපේ රජ උන්නාන්සෙලගෙත් පොඩි කාලෙ පුරුදු වෙන්න ඇති ඔය තාම තියෙන්නෙ.

    ReplyDelete
  12. සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළු
    පැතුම් ඉටු වන බතින් බුලතින් වාසනාවෙන් සපිරිණු
    නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!

    ReplyDelete
  13. ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.