Thursday, January 10, 2013

සැබෑ අවශ්‍යතාවන් සදහාවන අරගල පරදින්නේ මන්ද? (නීති විද්‍යාල ප්‍රවේශ විභාග ප්‍රශ්ණයේ යතාර්ථය)





 රගල  - අපේ රටේ පමණක් නොව ලොව පුරා මේ දිනවල කථා වන මාතෘකාවකි. ලෝක දේශපාලනය මෙන්ම අර්ථ ක්‍රමය තුළද සිදුවන බොහෝ සාධාරණ අරගල සාධණීය අවසානයකට ලගා විය. එසේම රටේ සමස්ථ සමාජයට බොහෝ වෙනස්කම් සිදු කරවීය.

පුදුමයකට මෙන් ශ්‍රී ලංකාව තුළ සිදුවන බොහෝ අරගල, සාධාරණ හෝ අසාධාරණ කුමක් වුවත් අවසන් වන්නේ අරගලයට හේතු වූ ප්‍රස්තුථය තිබුනාටත් වඩා පහළ අඩියකට ඇද දමමින්ය.

මෙය අදෘශ්‍යමාන බලවේගයක් නිසා සිදු වන්නක්ද? රට රකින සිව් වරම් දේව බලය නිසා ඇති වූවක්ද? එසේත් නැතිනම් නාථ දේව බල මහිමය නිස සිදුවන්නක්ද? මහරජගේ මහ බල පරාක්‍රමය නිසා හෝ රාජකීය වාසනා මහිමය නිසා සිදුවන්නක්ද?

තවත් පැතිකඩකින් විදෙස් කුමන්ත්‍රණ හෝ දෙමළ ඩයස්පෝරාවේ බලපෑම මත සිදුවන අරගල බැවින් සියළු අරගල වෙත පොදු මහජනයා වෛර කරන නිසා සිදුවන්නක්ද?

මෙම සිතුවිල්ල කරා යොමු වීමට ආසන්නතම හේතුව වූයේ 2012 ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ සිදු වූවායැයි සැක කරන (මමද තදින්ම සැක කරමි) වංචාව අරඹයා සිදුවන සිදුවීම් මාලාවයි.

මෙහිදී මතක් කළ යුතුම කාරණය නම්, දෙමළ මාධ්‍යය සමත් ප්‍රතිශතය අසාමාන්‍යය ලෙස 2011 සහ 2012 වසර වල වැඩිවීම සාධාරණ සැකයකට බදුන් වීමයි. මේ වනවිට වැල්ලවත්ත, දෙමළ මාධ්‍යයෙන් නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සදහා ඉගැන්වූ උපකාරක පන්තියක සිසුන් හට ප්‍රශ්ණ පත්‍රය කලින් ලැබුණු බව සමහර මාධ්‍යයවල පළවී ඇත. එහි ඇත්ත නැත්ත නොදනිමි. කෙසේ වුවත් මෙතෙක් කල් ප්‍රථිපල ලේඛණයේ සදහන්ව තිබූ 'නම, විභාගයට පෙනී සිටි මාධ්‍යය සහ ලකුණු' වෙනුවට මෙවර 'නම, ස්ත්‍රි/පුරුෂ භාවය සහ ලකුණු' දක්වා තිබීමට සමගාමීවම දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි ඉතා ඉහළ ප්‍රතිශතයක් සමත් වී තිබීම අතිශය සැක උපදවන තත්වයක් නිර්මාණයකර තිබේ. (ප්‍රථිපල ලේඛණය මෙතනින් බාගත කළ හැක)



මේ තත්වය මාධ්‍යවල පළවීමත් සමග මෙයට එරෙහිවන පිරිසට 'ජාතිවාදී' සහ 'අන්තවාදී' ලේබලය ඇලවීමට තවත් පිරිසක් නින්දිත උත්සහයක් ගත් අතර, ඊටම සරිලන ලෙස මෙම සත්‍යය වංචනික ක්‍රියාව තම පැවැත්ම තහවුරු කිරීමේ උපකාරකයක් ලෙස භාවිතා කිරීමට තවත් පිරිසක් මෙයට 'ජාතිවාදී' සහ 'අන්තවාදී' මුහුණුවරක් දෙන්නට ඉදිරිපත් විය.

ගැටළුව ආරම්භ වන්නේ මෙතැනදීය. මෙය සත්‍යය වශයෙන්ම අරගලයක් කොට හෝ පාලකයන්ගේ අවධානය දිනා ගත් යුතු අවස්ථාවකි. මේ අසාධාරණයට ලක් වූවෝ හුදු සිංහලයින් පමණක් නොව, සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යවලින් විභාගයට පෙනී සිටි මුස්ලිම් මෙන්ම දමිළ සිසුන් රාශියක්ද මෙහිදී අසාධාරණයට ලක් විය. හොදම උදාහරණය නම් අසාධාරණයට ලක් වූ සිසුන් එක් වී පිහිටුවා ගත් 'නීති ප්‍රවේශ ශිෂ්‍යය එකමුතුව ' නම් සංවිධානයේ සභාපති වරයාද මුස්ලිම් ජාතික 'රම්සි බාවා' නමැති අයෙකු වීමයි.

නමුත් වැරැද්ද සිදුවන්නේ මේ පණිවිඩය වෙනුවට මෙය බෞද්ධ අන්තවාදී ගැටුමක් යන මතයක් මාධ්‍යයතුළින් මෙන්ම විශේෂයෙන් අතිශය මානුෂවාදී යයි කියාගත් පිරිසක් බුකියතුළින්ද ප්‍රචාරය කිරීම තුළින්, බහුතර මහජනයා මෙන්ම පාලකයන්ද තුළද මේ සටන තුට්ටු දෙකේ අන්තවාදී ගැටුමක් යන ප්‍රතිරූපය ඇති වීමයි.

මෙම අතිශය සාධාරණ අරගලයේ අවසානය අන් සියළු අරගල වල අවසානය මෙන්ම පරාජිත අරගලයක් වීමේ ප්‍රධානතම ලක්ෂණය නම් එයට අන්තවාදී මුහුණුවර ලැබී, මහජන පිළිකුලට භාජනය වීමයි. මෙයට මෙහි සංවිධායකයන් මෙන්ම ඕනෑ දේ දහසකුත් පැත්තක තිබියදී අනවශ්‍යය දේට අත පොවන 'බොදු බල සේනා' සංවිධානයද වගකිව යුතුය. මම පෞද්ගලිකව බොදු බල සේනා තම දායකත්වය සැපයූ සමහර අවස්ථා අනුමත කරමි. (උදා. වදුරඹ සිරිවර්ධන පැන්නිම, රුවන්වැල්ලේ සෝභිත පැන්නීම, ශ්‍රමණවේශදාරී හොරු ඇල්ලීම, බෞද්ධ පුරා විද්‍යාස්ථාන රැක ගැනීමට කටයුතු කිරීම) නමුත් මෙය නම් 'අනවශ්‍යම අවස්ථාවකි'. 

මෙම අනවශ්‍ය අත පෙවීමේ උච්චතම අවස්ථාව උදාවූයේ පසුගියදා නීති විද්‍යාලයේදී ඇති වූ ගැටුමත් සමගයි. අතපය පමණක් නොව කුඩ, කඩු ලෙස හසුරවමින් භික්ෂූන් වහන්සේලා (ශ්‍රමණ ප්‍රතිරූපකයන් යන්න වඩාත් ගැලපේ යැයි සිතන්නේ මම දන්නා බුදු දහම, අවිහිංසාවාදයේ උත්තරීතර සංඛේතයක් නිසාය) ක්‍රියා කිරීම පිළිකුල් සහගත් ක්‍රියාවකි. එයින් නොනැවතී මෑතකදී නීති අධ්‍යාපනය නිම කළ නීතිවේදියෙක් හා ඇති වූ ගැටුම සාධාරණීකරනය කිරීමටද, 'මුස්ලිම් නීතිවේදියා භික්ෂූන්වහන්සේට පහරදෙයි' යන සිරස්තල යටතේ 'බොදු බල සේනා' හි නිල ෆේස්බුක් අඩවිය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන්, එයටද ආගම්වාදී ස්වරූපයක් එක් කිරීමට තැත් කිරීම ව්‍යර්ත වූයේ එම නීතිවේදියා, මුස්ලිම් ජාතිකයකු නොව, පිරිසිදු සිංහල බෞද්ධයකු (අමිල ඉන්දික නම් ඔහුගේ ෆේස්බුක් ගිණුම මෙතනින් බලන්න) බවට ඔප්පු වීමෙනි.


නමුත් මෙයට වත්මන් අධිකරණ ඇමති 'රාවුෆ් හකීම්' ගේ නම සම්බන්ධ වීම වලක්වා ගත් නොහැක්කේ ඔහුගේ අතීත ක්‍රියා කලාපය හොද නැති වීම නිසාය. මොහුගේ ක්‍රියා කලාපය ගැන දන්නා කවරෙකුට වුවද මෙවැනි සැකයක් පහළ වීම අතිශයින් සාධාරණය. එහෙත් එය හුදෙක් 'රාවුෆ් හකීම්' නැමති දේශපාලකයා සැක කිරීමකට පමණක් ලඝු විය යුතු සහ ඔහු මෙයට අත පෙවීමක් සිදුකර ඇත්නම්, එම නින්දිත ක්‍රියාකලාපයට එරෙහිව අතවශ්‍යයෙන් සටන් වැදිය යුතුය. නමුත් මෙය ඔහුට එරෙහිව සටනක් මිස කිසියම් ජාතිවාදී/ආගම්වාදී ගැටුමක් ලෙස නොගත යුතුය. මෙය කොහෙත්ම ආගම්වාදී ගැටළුවක් බවට පත් කර අන් සියළු අරගල වලට අත් වූ ඉරණම මේ අරගලයට අත් වීමට ඉඩ නොදිය යුතුය.



මෙයට සර්වසමාන නොවූවද විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන් සැබැ අවශ්‍යතාවයක් වන 'අධ්‍යාපනය වෙනුවෙන්  6%'  වෙනුවෙන් ගෙනගිය අරගලයද අනවශ්‍යය පුද්ගලයන්ගේ, එනම් මේ අරගලය මුවාවෙන් තම බඩ වඩා ගැනීමේ, පටු දේශපාලන අරමුණු මුදුන් පමුණවා ගැනීමේ මෙන්ම පෞද්ගලික තරහ මරහ පිරිමසා ගැනීමේ පරමාර්ථයෙන් සහය දැක්වීමට ඉදිරිපත් වූවන්ගේ 'අනවශ්‍යය' අතපෙවීම මධ්‍යයේ සිදු වූයේ මෙවර අධ්‍යාපනය වෙනුවෙන් රජය වෙන්කළ ප්‍රතිශතය ගිය වසරටත් වඩා අඩු වීමයි.

එසේ හෙයින් නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගැටළුව වැනි සැබෑ අවශ්‍යතා සදහාවන අරගල පරාජය වීම රට රකින දේව බලයක් නිසා සිදු වන්නක්, රාජකීය වාසනාව නිසා සිදුවන්නක් හෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණ නිසා සිදුවන්නක් බවට අප වරදවා වටහා ගතයුතු නොවේ. ඒවා පරාජය වීමේ වගකීම එම අරගලවල ස්වරූපය, අරමුණු, ආමන්ත්‍රණය මෙන්ම සහභාගීත්වය තීරණය කරන සංවිධායකයන් දැරිය යුතුය.


30 comments:

  1. මට නම් ඔය මිනිහව පෙන්නන්න බැහැ .
    ඕකා තමයි මුස්ලිම් මිනිස්සුන්ව උසි ගන්නන
    තිරිසනා තමන්ගේ පහත් වාසියට .ඕකා නැගෙනහිර
    චන්දෙදි කරපු කියපු දේවල් දැක්කනේ.ඒ වගේ එකෙක්ට
    තව තව නටන්න දෙන්නේ ඇයි ?

    අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ .ඔහොම අයට නම් ඉතින්
    කරන්න ඕනේ එකම දෙයයි ..ඒක මොකක්ද කියල තේරෙනවනේ ..
    සර්පයා දුටුවාද ආනන්ද ?

    ReplyDelete
    Replies
    1. මර්වින් ජේ. කුරේ මහත්තයාගේ දුව කුමාරි කුරේ හකීම්ගේ ගේ ඉස්සරහ ගිනි තියාගෙන මැරුණ එකේ ඉදල මිනිහ 2001 යූ. ඇන්.පී. ආණ්ඩුවට එකතු වෙන්න පගාව ගත්ත එක දක්වා පැහැදිලි සාක්ෂි තියනවා. සහන් කිව්ව වගේ මූ මුස්ලිම් මිනිස්සුන්ව උසි ගන්වන්නේ තමන්ගේ ජාතියට තියන ආදරය නිසා නෙමේ. ඒ අහිංසක මුස්ලිම් මිනිස්සු උඩින් ගිහිං ජාතිවාදය අවුස්සලා තමන්ගේ බඩ වඩා ගන්න. එහෙම නැත්නම් තමන්ගේ ප්‍රතිපත්ති සල්ලි කුට්ටි වලට පාවා දෙයිද.

      Delete
  2. බොදු බල සේනා කල අනෙක් වැඩ මම අනුමත නොකලත්, මේ වැඩේනම් අනුමත කරනවා... මෙතන පැහැදිලි අසාධාරනයක් සිඳු වෙලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. බොදු බල සේනා කියන්නේ අනවශ්‍යය දෙයක් නෙමේ. ඒත් අපි කැමති උනත් අකමැති වුනත් බොදු බල සේනා මේකට සම්බන්ධ වුන ගමන් මේ අරගලයට 'බෞද්ධ අන්තවාදී' කියන ලේබලය අලවන්න බලාගෙන ඉන්න පිරිසට හරි ලේසියි. ඒ වගේම ඒ හරහා වෙනත් ජාතීන්ගේ (දමිළ, මුස්ලිම්) සහය මේ සාධාරණ අරගලයට අහිමි වෙනවා.

      මේක ආගමික අරගලයක් විදිහට මම දකින්නේ නෑ මාතලන්, මේක පුළුල් සමාජ කතිකාවතක් ඇති වෙන්න ඕන සමාජ අරගලයක්. දිගින් දිගටම විභාග වලට මෙහෙම වෙන්නෙ ඇයි කියන එක අපි හිතන්න ඕන කාරණයක්.

      තව දෙයක් මේ වෙච්ච ගැටුම ගැන ගැටළුවක් නෑ. ඒ ගැටුම නිසා අඩුම තරමේ මේ අරගලයට මාධ්‍යය මගින් ප්‍රචාරයක් වගේම නීති විද්‍යාලය පැත්තෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණා. ඒත් ඒකට බොදු බල සේනා සහ චීවරධාරීන් සම්බන්ධ නොවී ඉන්න තිබ්බා..කියලයි මම කියන්නේ.

      Delete
    2. පහර කෑමට ලක්වූ අය සහ පර දුන් අය එකට එක්ව ඊයේ පුවත් පත් සාඛච්චාවක් පවත්වා නිවැරදි කරුණු පැහැදිලි කලා. එතන සිඳුවී තිබෙන්නේ වැරදි වැටහීමක්....

      Delete
    3. ඒක බොහොම හොද සිදුවීමක්. අමිල ඉන්දිකගේ පැහදිලි කීරීම නම් මම ඇහුවා. ඔහුගේ ප්‍රකාශය අනුව මෙය තනිකරම 'සිහිබුද්ධියෙන් ඇහුම්කම් නොදීම' පිළිබද ගැටළුවක්. පුවත් පත් සාකච්ඡාව ගැන වැඩිදුර විස්තර තියනවනම් දෙන්න පුළුවන්ද මාතලන්.

      Delete
    4. @මාතලන්

      වැරදි වැටහීමක්? ඒ කියන්නේ ඔහු මුස්ලිම් අයෙකු වූවානම් පහර දීම සාධාරණ බවද?

      Delete
    5. සදාකාලික පරක්කු රිප්ලයි වෙනුවෙන් සොරි වේවා!

      මාතලන්ට යොමු වෙච්ච ප්‍රශ්ණය නිසා, පැනලා උත්තර දුන්නෙ නැත්තේ. ඒත් මාතලන් ආපු නැති නිසා මම ම උත්තර දෙන්නම්.

      කලාමැදිරියා, මෙතන වැරදි වැටහීම කියල අදහස් වුනේ, අර නීතිවේදියට හාමුදුරුවෝ පහර දීලා තියෙන්නේ ඔහු කරපු ප්‍රකාශයක් ගැන වැරදි වැටහීමකින්, කියන එක. පහර දීමට ආගමික මුහුණුවරක් එක් වුනේ පස්සේ. මුලදී ගහන්න හේතුව වුනේ, නීතිවෙදීයා හාමුදුරුවන්ගේ සිවුරු ගලවන කථාවක් කිව්ව කියන එක. ඒක හරියට නොඇසීම ගැන ගැටළුවක් මිස, නීතිවේදියා කරපු ප්‍රකාශයේ වැරැද්දක් නෙමේ කියන එක පස්සේ ඔවුන් පිළිගත්තා.

      Delete
  3. මුකුත් කියන්න දෙයක් ඉතුරු කරලා නෑ අද...

    //(ශ්‍රමණ ප්‍රතිරූපකයන් යන්න වඩාත් ගැලපේ යැයි සිතන්නේ මම දන්නා බුදු දහම, අවිහිංසාවාදයේ උත්තරීතර සංඛේතයක් නිසාය) //

    බොදු බල සේනා මේ වෙලාවේ හැටියට අවශ්‍ය උනත් කරන්නේ නම් මහ විකාරම වැඩ.... අර වෙබ් සයිට් එකක් තියෙනවා.. ඒකේ තියෙන දේවල් වලට හැටියට මේ අයට මීට වඩා දෙයක් ලස්සනට කරන්න පුළුවන් පාරට බහින්නේම නැතුව... ඒත් ඒකේ මෙලෝ මඟුලක් අප්ඩේට් වෙලා නෑ... ඒ වෙනුවට මේ බොරුවක් ලොකු කරලා පෙන්නන්න ඒක යොදාගෙන...

    මේ හාමුරුදුවරු කරන දේවලින් වෙන්නේ මේවට විරුද්ධ අය උනත් මේ මොන විකාරයක්ද කියලා පැත්තකට වෙන එක..

    නීති විද්‍යාලයේ ප්‍රශ්නය ගැන කිව්වොත් ඒක සාදාරණ සැකයක්.. මොකද මීට කලින් නීති විද්‍යාලයෙන් අවුට් උන අය පවා කියන්නේ මේක කොහොමවත් එන්න බැරි ප්‍රතිඵලයක් කියලා... අනිත් එක ඔයා කියනවා වගේම හකීම් කියන කෙනාගේ අතීතයත් එක්ක බැලුවම මේ සැකය තවත් සාධාරණ බව පේනවා.. මේක හාමුදුරුවරු රිංගලා වැඩේ වනසන්‌ෙන් නැතුව හරියට කරන්න ඕනේ දෙයක්... මොකද එහෙම නොවුනොත් අපෙ රාට් නීතියටත් වෙන්නේ කොළඹ වරායට වෙච්ච දේ....

    ( උන දේ දන්‌ෙන් නැත්තම් මේ වෙනකොට සිකුරාදට වාරයේ වැඩක් කරගන්න බැරි වෙන තරම් ඒකේ මුස්ලිම් අය වැඩියි.. අත්‍යවශ්‍ය සේවාවක් වෙන වරායේ සිකුරාදා හවසට වැඩක් කරගන්න බෑ...විශේෂයෙන්ම කස්ටම් එක.. )

    ReplyDelete
    Replies
    1. වරායේ කථාව මම දැනගත්තෙත් අද. මේ හැමදේම හරහා ඔප්පු වෙන්නේ හකීම් මේකට සම්බන්ධබව සැක කිරීම සාධාරණයි කියල. මේ අස්සේ මේ ප්‍රශ්ණය CJ ගේ ප්‍රශ්නයත් එක්ක සම්බන්ධ කරල තමන්ගේ අභිමතය ඉෂ්ඨ කරගන්නත් පිරිසක් උත්සහ කරනවා. ඒ වගේ මතවාද වලට හිස ඔසවන්න දුන්නොත් මේ ප්‍රශ්ණෙත් එහෙමම වැලලිලා යයි.

      Delete
  4. ඔබ කියා ඇති අදහස් සම්බන්ධයෙන් සහමුලින්ම එකඟ විය හැකියි. එහෙත් එක් තැනැක් හැර,

    //යටද ආගම්වාදී ස්වරූපයක් එක් කිරීමට තැත් කිරීම ව්‍යර්ත වූයේ එම නීතිවේදියා, මුස්ලිම් ජාතිකයකු නොව, **පිරිසිදු සිංහල බෞද්ධයකු** බවට ඔප්පු වීමෙනි.//

    මේ පිරිසිදු සිංහල බෞද්ධයා කියන්නෙ කාටද? එවැන්නෙක් හඳුනා ගන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න..පිරිසිදු සිංහල බෞද්ධයා යන්න කියවූ සැනින් ඔබට එන ගැටළුව ගැන අරුමයක් නැත. නමුත් මෙහිදි මම අදහස් කලේ එය කියවූ සැනින් එන අරුත නොවේ. එය මාගේ ලිවීමේ දෝෂයකි. මා මෙහිදී අදහස් කලේ ඔහුගේ මව් හෝ පිය පාර්ශවයෙන් වෙනත් ආගමක හෝ ජාතියක සම්බන්ධයක් නැති බවයි. වැරදි වැටහීමක් ඇති වුනා නම් සමාවෙන්න.

      බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට..

      Delete
  5. ලිපියේ මූලික කාරණය සමඟ එකඟයි. අනවශ්‍ය උදවිය සමඟ එකට සිටගැනීම සමහර අවස්ථා වලදී නරකට හිටින්න පුළුවන්. කොහොම උනත් ඕනෑම අරගලයකදී මූලික අරමුණින් පරිබාහිර කරුණු වල එල්ලෙන කොටස් එකතුවෙනව. අවසානයේදී ඔවුන්ගේ සහයෝගයත් ලබාගෙන තමන්ගේ අරමුණ කරා ලංවීමට තරම් හැකියාවක් මෙහෙයවන්නන් තුල තිබියයුතුයි. මේ කාරණාව බොහොම ලස්සනට විග්‍රහ කරල තිබුන "ඉස්සර" මවුබිම පත්තරේ තිබුන AK47කියන අතිරේකයේ.

    නීති විභාගෙ නං ගැටළුවක් තියනව වගේ බැලූ බැල්මට පේනව. අපේ රටේ විභාග දෙපාර්තමේන්තුවෙන් තියන විභාග සාධාරණව තිබුනෙ කවද්ද?

    හැබෑටම මේකටත් "කාටත් ලකුණුදෙන ක්‍රමයක්" ආවනං හරි නේද?

    ReplyDelete
    Replies
    1. කාටත් ලකුණු දාන ක්‍රමය නම් නියමයි. ඒකෙන්ම පේනවා අපේ රටේ අධ්‍යාපන වෘත්තීයවේදීන්ගේ දුර දක්නා නුවණ.

      මේ උදවිය අනවශ්‍යය මේ සිද්ධියේ ස්වභාවය නිසයි. කොහොම වුනත් ඕනෑ දේටයි එපා දේටයි දෙකටම දුවන කොට ඒ උදවියගේ තියන වටිනාකම් වුනත් නැතුව යනවා.

      Delete
  6. හරි දේ වැරදි ක්‍රමයට කිරීම විරුද්ධ වාදියාට ආයුධ ලබා දීමක්ම තමා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒ ඒ දේවල් කරන ක්‍රම, ඒ ඒ දේවල් වල ස්වභාවය අනුව වෙනස් වෙන්න ඕන. කෝකටත් තෛල ගෑවහම ලෙඩේ උඩු දුවන්න පුළුවන්.

      Delete
  7. මෙයාල නැති ජාති ආගම් වාදයක් ඇති කරනවා....

    ReplyDelete
    Replies
    1. නලීන් ගේ මේ කමෙන්ටුව තමා පොදු මහජනතාවගේ කියවීම. අන්න ඒකයි භයානක.

      Delete
  8. කොහොමහරි ඕකත් ආගමික සහජීවනයට යටකරලා ෂේප් කරන්න ඉඩ තියෙනවා.

    මරා, හම්බ කිරිල්ලට හරි කැමතියි....!!!

    ReplyDelete
    Replies
    1. සදාකාලික පරක්කු රිප්ලයි වෙනුවෙන් සොරි වේවා!

      දැන් දැන් අහන්න ලැබෙන කාරණය නම් මේක ආගමික සහජීවනයට යට කරන්න බැරි වෙන බවයි. කොහොම වෙතත් මේ ගන සාර්ථක කතිකාවතක් සමාජයේ ඇති වුනා. ඒක ගැන සතුටුයි. ඒ වගේම තවමත් වැටිල තියන අන්තවාදී බැල්ම ගැන කුකුසක් තියනවා.

      Delete
  9. උඹේ මාතෘකාව දැකලා මම විස්තරේ කියවන්න කලින් හිතලා බැලුවා, ඇත්තටම ඇ‍යි එහෙම වෙන්නෙ කියලා. මට හිතුනු දෙවෙනි කාරණාව උඹේ ලිපියේ සාකච්ඡා කෙරෙනවා... පළවෙනි එක මෙහෙමයි.

    මහජනතාවට වගකීමක්, වගවීමක් නැති පාලකයො ඉන්නකොට කොච්චර අරගල කලත් වැඩක් නැහැ. කොච්චර වැරදි පෙන්නුවත්, වැරදි බව උන්ටම තේරුනත් දැන් ඉන්නේ මැර දේශපාලඥයෝ නිසා උන් ඒවා සතේකට ගණන් ගන්නේ නෑ. එස්.බී.ගෙ, මර්වින්ගෙ කතා පේන්නෙ නැද්ද? තමන්ගේ තීරණ වලට, තමන්ගේ පාලනය යටතේ තියන ආයතන පිළිබඳ වගකීමක් තියා ඒ ගැන හැඟීමක්වත් පාලකයන්ට නැහැ... ලංකාවේ දේශපාලඥයෙක් ඉල්ලා අස්වූ අන්තිම වතාව උඹට මතකද? (නාට්‍ය නොවේ) මට නම් මතක නැහැ. ෆුටා අරගලය මෑත කාලයේ ලංකාවේ ඇතිවෙච්ච සාර්ථකම අරගලේ. ඒකට විවිධ කොටස් එකතු උනාට ඒක මෙහෙයවපු වි.වි. ආචාර්යවරුන්ට පුළුවන් උනා තමන්ගේ ප්‍රධාන තේමාව යටතේ ඒ කොටස් ගොනු කරන්න. එහෙම නැතුව, ඒක ඇතුලේ එක එක කොටස් වල ඉල්ලීම් වෙන වෙනම අහුනේ නැහැ අපට. 6% කියන පොදුවේ බොහෝ පිරිසකට එකඟ විය හැකි සටන් පාඨයක් තෝරගන්න ඇත්තේ ඒ නිසා. වෙන ඕනෙම රටක මේ අරගලය ජයග්‍රාහීව නිමා වෙන්න ඉඩ තිබ්බා. ලංකාවේ උනේ නෑ (මම නං අවංකව විස්වාස කලා මේක ජයග්‍රහණය කරයි කියලා). මට නම් මේක පහදන්න වෙන විදිහක් ඇත්තෙම නෑ. ජනතාවට වග නොකියන දේශපාලනයේ ප්‍රතිපලයක්. රටේ නීතියේ උත්තරීතර තනතුර වන අගවිනිසුරුධූරයට සලකන විදිහ, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු වලට සලකන විදිහ පේනවනේ... ඉතින් මේ කොච්චර ඇරියත් තමන්ටම චන්දේ දෙන මහජනතාව ගැන උන් හිතයිද?

    අනික් කාරණේ උඹ සඳහන් කරලා තියන මේ අනවශ්‍ය මැදිහත් වීම්, එහෙම නැත්නම් අනවශ්‍ය ආකාරයෙන් සිදුවන මැදිහත්වීම්. බොදුබල සේනාව නෙමෙයි මොන සේනාව ආවත්, කතාකරන්න ඕනේ අදාල ප්‍රශ්නය ගැන... හැබැයි මෙහෙම දේකුත් වෙනවා... හාමුදුරුවරු ඇවිත් රෙද්ද උස්සගෙන කෑගහපු හැටියේ ඒකට වෙනම අර්ථයක් ලැබෙනවා, කෑ ගහන්නෙ මොක වෙනුවෙන් උනත්. බොදුබල සේනාව කියන්නේ මම නම් දකින හැටියට මිනිස්සුන්ගේ ජාතියට ආගමට තියන හැඟීම තකතීරු විදිහටම පාවිච්චි කරන සංවිධානයක්. මහජනතාව කෑලි කෑලි වලට කඩන්න පුළුවන් තැන් දැක්කහම අපේ පාලකයෝ ලස්සනට ඒකෙ ප්‍රයෝජනය ගන්නවා. මට නං හිතෙන්නේ දැන් ලංකාවේ කිසිම අරගලයක් සාර්ථක නොවෙන තරමටම මිනිස්සුන්ට එකිනෙකා ගැන තියන විශ්වාසෙ නැති කරලා. ඇපි හැමෝම හිතන්නේ අනිත් එකා මොකක් හරි කරන්නේ යටි අරමුණක් ඇතුව කියලා...

    ReplyDelete
    Replies
    1. සදාකාලික පරක්කු රිප්ලයි වෙනුවෙන් සොරි වේවා!

      ලිපිය ලියන්න පටන් ගන්න කොටම ඔය කිව්ව කාරණා දෙක තමා මගේත් හිතේ හොල්මන් කලේ. තිසරට වගෙම මටත් මුලින්ම හිතට ආවේ දේශපාලනමය කාරණේ. ඒත් හැමදාම දේශපාලනේ පට්ට ගහන මට හිතුනේ ඔය දේ ගැන ආයෙ අමුතුවෙන් මේ ලිපියේ කියන්න දෙයක් නෑ, කියල. නමුත් හකීම් සාධකය ගැන නොකියම බෑනේ.

      ෆුටා කියන්නේ මුල ඉදලම සහයෝගය දක්වපු ක්‍රියාවලියක්. ඒත් ඒක සාර්ථකව අවසන් වුනා කියන එක මම පිළිගන්නේ නෑ. හේතුව, අරගල ආයෙත් හැරෙන්න බෑ. ආයෙත් හැරෙන්න බැරි තැනකට අනුගාමිකයෝ පත් කරලා ආයෙත් හැරුණ අරගල සාර්ථක නෑ. ඒකෙන් ලැබුණ ප්‍රථිපලය මොකක්ද? ආයෙත් මේ වගේ අරගලයක් පටන් ගන්න තිබ්බ, සාර්ථක කරගන්න තිබ්බ අවස්ථාව නැති වුන එක. ඔය අරගලය වෙන මොන මුහුණුවරකින් ආයෙ ආවත් මහජන සහය නොලැබෙන එක සහතිකයි. අසාර්‍තකබවට ප්‍රධාන හේතුව පටු අරමුණු තිබ්බ පිරිස සහ ඒ අයට ගහන්න ඕන පොයින්ට් මොනවද කියල ආණ්ඩුව දැනගෙන හිටපු එක.

      /ඇපි හැමෝම හිතන්නේ අනිත් එකා මොකක් හරි කරන්නේ යටි අරමුණක් ඇතුව කියලා...// හරියට හරි. මේ තත්වෙට මහජනතාව පත් කරන්න තරම් ආණ්ඩුවේ ප්‍රචාරණ යාන්ත්‍රණය සුක්ෂමයි.

      Delete
  10. කනගාටුයි. ප්‍රමාදයට. ඊටත් වැඩිය කෝප වෙනවා මුං එකෙක් වත් මට කියන්න සුට්ටං දෙයක් වත් ඉතිරි කරල නැති එකට..

    ReplyDelete
    Replies
    1. සදාකාලික පරක්කු රිප්ලයි වෙනුවෙන් සොරි වේවා!

      කියෙව්වනේ ඒ මදෑ. දේශකයාගේ අදහස් නියෝජනය වුනා කියන්නේ, ඒ ප්‍රකාශ එක්ක දේශකයා එකගයි කියන එකනේ. අපි බලාගෙන ඉමු මොනවද වෙන්නේ කියල. අවශ්‍ය ක්‍රියාකාරකම් කීපයක් නම් කළා.

      Delete
  11. කවුරු කරත් මෙවැනි කුජිත වැඩ වැරදියි.මොන කඩඉමක විභාගයක් වුවද දක්ෂතාවය මත මිස තව කෙනෙකුගේ උදව්වක් මත ජය අත් කර දිම අනාගතය අන්ධ කිරීමකි.ඒ මන්ද යත් මේ ආකාරයට විභාගය ජය ගන්නො අනාගතේ නායකයෝ වෙති.ඔවුන් මුළු අනාගතයම අඳුරු කරයි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. සදාකාලික පරක්කු රිප්ලයි වෙනුවෙන් සොරි වේවා!

      බොහොම ස්තුතියි ගයනි මේ ඉසව්වේ ගොඩ වැදුනට.

      හොර ප්‍රථිපල වලින් විනාශය වෙන්නේ අපේ දරුවන්ගේ කාලය වෙනකොට, ඒ හොරය මේ වගේ මහා පරිමාණ වෙනකොට, ඊට අනුලෝමව විනාශයේ තරම භයානක වේවි. ඒ වගෙම හිතන්න තියන අනිත් කාරණය සැබැවින්ම විභාගයට මහන්සි වී ජය ගත් දරුවන්ට මේ මගින් සිදුවිය හැකි නියත අසාධාරණය.

      සා/පෙ. විද්‍යාව ප්‍රශ්ණ පත්‍රයට වෙච්ච දේ සහ දුන්න ලැජ්ජ නැති විසදුම මතකනේ.

      Delete
  12. බොදු බල සේනා නම වගේම වැඩ කරන්න යන්නෙත් "සිව සේනා " වගේ . මේ ප්‍රශ්නයට ඔවුන් මැදිහත් වුනාම වෙන්නේ අත්‍යාවශ්‍ය කාරණය යටපත් වෙන එක බවට මාත් එකඟයි . ප්‍රශ්නය තේරුම් ගත්තට උත්තර හොයන විදිහ වැරදියි කියන පාඨය ලංකාවේ බෝහෝඅ දේට ගැලපෙනවා

    ReplyDelete
    Replies
    1. බුවාගේ අදහස හරියට හරි. දෙයකට විසදුම් දෙන කොට අනවශ්‍යය විදිහට කල් යවන එකත්, අනවශ්‍යය විසදුම් ගන්න එකත් කියන දෙකම භයානකයි.

      අපේ පැත්තේ ඩොකෙක් ඉන්නවා 'වන් ෂොට්' කියල. බෙහෙත් ගත්තහම වේල් දෙකෙන් ලෙඩේ හොදයි, හැබැයි උදේට ඇස් අරින්නත් අමාරුයි. කාලයක් බෙහෙත් ගත්තොත් වකුගඩු අළුතෙන් දාන්න වෙනවා. වන් ෂොට් ප්‍රයෝජනවත් වෙන අවස්ථා නැතුව නෙමේ. ඒත් හැම වෙලේම මිනිහ හම්බ වෙන්න යනවා කියන්නේ විනාශයක්.

      Delete
    2. @ The Modern Patriot

      " ජහබාර් " එහෙම නෙවේ නේද එයාගේ
      නම ?ඒ දෙන්නේ antibiotics , ලොකු වැරද්දක්
      වෙනවා ඒකෙන් .ඇත්තටම ඒ antibiotic එක ඕන
      වෙන දාට අපේ ඇඟට ඒක answer කරන්නේ නැහැ.
      ඒ වෙද්දීත් ඒක යට කරන්න ඕන දේවල් ටික ඇඟෙන්
      හැදිලා ඉවරයි..

      ලොකු සෙල්ලමක් කරේ කියල හිතුවට ඇත්තටම
      සෙල්ලම නාගෙන කියල ඒ මිනිස්සු දන්නේ නැහැ
      පේට්‍රියට් .

      Delete
  13. අන්තර්ජාලයෙන් සම්පූර්ණයෙන් පළා ගොස් මගේ වැඩක් බලාගන්ට ඇති නම් කෙතරම් සහනයක්දැයි මේ දිනයන්හි මට නොයෙක් වර කල්පනා වේ. ඒ තරමටම අන්තර්ජාලය – බ්ලොග්, ඊ-මේල්, ෆේස්බුක් සියල්ල – වර්ගවාදී වෛරයෙන් පිරී ඇත්තේය. මානවයන් අතර භේද නැති කරන්ට ඉවහල් වනු ඇතැයි අප කලෙක විශ්වාස කළ අන්තර්ජාලයම ඒ භේද වපුරන තෝතැන්නක් බවට පත්ව තියේ. මම ඒ කුණු ගොඩෙහි රැඳී සිටින්ට අකැමැත්තෙමි. නිදහස් මතධරයන් ස්ටාලින්ගේ සෝවියට් දේශයෙන් හිට්ලර්ගේ ජර්මනියෙන් නික්ම ගියාක් සේම අපටද අන්තර්ජාලයෙන් සමු ගන්ට කාලයද මේ?

    එහෙත් පළා යන්ට මත්තෙන් මගේ පාඨකයින්ට වූ පොරොන්දුව ඉටු කළ යුතුව ඇත. මවිසින් කළ සුළු සංස්කරණ කිහිපයකින් යුතුව, මේ කතාංගය පළ වන්නේ එනිසාය. (එය විකල්ප අවසානයක්ද නොදනිමි. මෙහි රචකයා, කතාවේ ලේඛකයාද සමඟ කතාවෙන් එළියට පනියි!)

    විශේෂ උපදේශයක් නොදුන් නිසා නොනමින් පළ කරමි. රචකයාට අවශ්‍ය නම් තම අනන්‍යතාව කමන්ට් එකකින් හෙළි කළ හැකිය. (ඔහු මෑතකදී බ්ලොග් එකක් පටන් ගත් බ්ලොග්කරුවෙකි.)

    - ලේඛක
    ________________________________________________

    ReplyDelete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.